Pages

Saturday, November 16, 2013

පොදු රාජ්‍ය මණ්‌ඩලය නඩු අහන්න යන්න එපා - මහ සමුළුවේ නව සභාපති මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කරයි

පොදු රාජ්‍ය මණ්‌ඩලය සිය සාමාජික රටවලට නිසි ලෙස සමීප වීමට නම් ජනතාවගේ අවශ්‍යතාවලට පිළියම් යොදන ආයතනයක්‌ වනවා මිස විනිශ්චය මණ්‌ඩලයක්‌ නොවිය යුතු යෑයි ඊයේ කොළඹදී ආරම්භ වූ 22 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ නව සභාපති පදවියට පත් වූ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

මෙම මහ සමුළුව කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

පසුගිය සිව් වසරේදී ශ්‍රී ලංකාවේ කිසිම ප්‍රදේශයක බෝම්බ පිපිරීම් හෝ ත්‍රස්‌ත ප්‍රහාරයන් සිදු නොවූ බවත්, ජනාධිපතිවරයා සිය සමාරම්භක දේශනයේදී අවධාරණය කළේය.

ආරක්‍ෂා විය යුතු වැදගත්ම මානව හිමිකම වන්නේ ජීවත්වීමේ හිමිකම බවත්, එය 2009 වසරේ සිට ශ්‍රී ලාංකිකයන්ට හිමිව ඇති බවත් ජනාධිපතිවරයා කීවේය.

මෙහිදී තවදුරටත් කතා කළ ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්‌ඩලයට යොමුවන බහුපාර්ශ්වික න්‍යාය පත්‍රයන්ට එරෙහිව සාමූහිකව එක්‌විය යුතු බවද කියා සිටියේය.

පොදු රාජ්‍ය මණ්‌ඩලයේ පාරම්පරික චාරිත්‍රයන් අර්බුදයකට ලක්‌ නොකළ යුතු බව ද කී ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ සාමාජික රටවල් ශක්‌තිමත් කළ යුතු බව ද කීවේය.

අපි අනිත් අයගේ වැරදි ගැන අවධානය යොමු කිරීම හෝ කුමක්‌ සිදු කළේද හෝ සිදු නොකළේ කුමක්‌ ද යෑයි සෙවීමට ක්‍රියා නොකළ යුතු යෑයි ජනාධිපතිවරයා තවදුරටත් කීවේය.

අපගේ රාජ්‍යයන් තුළ ශ්‍රේෂ්ඨතම වත්කම ජනතාව බවත්, ජනතාව හා ජනතාවන් අතර සම්බන්ධතාවයන්ගෙන් ආර්ථික සංවර්ධනය නැංවිය හැකි බවත් ජනාධිපතිතුමා පැවැසීය.

බහුපාර්ශ්වික න්‍යාය පත්‍රයන්ට එරෙහිව අපි එක්‌ව ක්‍රියාකරමු යෑයි ද ජනාධිපතිවරයා පැවැසීය.

ජනාධිපතිවරයා එහිදී කළ සම්පූර්ණ කතාව මෙසේය.

විසිදෙවැනි පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ ආරම්භක උත්සවයට ඔබ සාදරයෙන් පිළිගනිමි. වේල්ස්‌ කුමරුනි, කෝන්වෝල් ආදිපාදතුමියනි, රාජ්‍ය නායකවරුනි, විදේශ ඇමැතිවරුනි, සම්භාවනීය විදේශීය නියෝජිතයන්ගේ ආර්යාවනි, දූත මණ්‌ඩල සාමාජිකයිනි, විශේෂ ආරාධිතයිනි, ශ්‍රී ලංකාවට පැමිණි ඔබ සැම පිළිගැනීම මට ඉමහත් සතුටකි.

පොදු රාජ්‍ය මණ්‌ඩලයේ නායකත්වය හොබවන දෙවැනි එළිසබෙත් මහ

රැජන නියෝජනය කරමින් පැමිණි වේල්ස්‌ කුමරුනි, ඔබ අප දේශයට ආගන්තුකයකු නොවේ. කුමරුනි, ඔබේ නාමයෙන් ඇති පදනම මෙරට සමාජ සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට අරමුදල් සම්පාදනය කර ඇත. ඔබතුමා අප රටේ කරන චාරිකාවේ දී අත් විඳින සොඳුරු මතකයන් සිය රට ගෙන යනු ඇතැයි මම විශ්වාස කරමි. මෙවර පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායක සමුළුව සාර්ථක කර ගැනීමට දුන් සහයෝගය පිළිබඳව ඉවත්ව යන ඔස්‌ටේ්‍රලියාවේ සභාපතිතුමාට ස්‌තුතිය පුද කිරීමට මම කැමැත්තෙමි.

සමුළුව පැවැත්වීම ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්‌ථාවක්‌ වනවා සේ ම සමස්‌ත ආසියාවටම ගෞරවයක්‌ වන්නේ විසිහතර වසරකට පසුව චොගම් සමුළුව යළි මෙම මහාද්වීපයට පිවිස ඇති බැවිනි. නූතන පොදු රාජ්‍ය මණ්‌ඩලයේ ආරම්භක සාමාජිකයන් අටදෙනාට අයත් වන ශ්‍රී ලංකාවට මේ සමුළුවේ සත්කාරක දේශය වීමට ලැබීම ඉමහත් ගෞරවයකි. ශ්‍රී ලංකාවේ පශ්චාත් ගැටුම් යුගයේ දී තිබූ සංකීර්ණ ප්‍රශ්නවලදී පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සාමාජික ජාතීන් දැක්‌වූ සහාය සහ අවබෝධය ගැන මම කෘතඥ වෙමි. ඔවුන් මගේ රට කෙරෙහි දැක්‌වූ විශ්වාසය පොදු රාජ්‍ය මණ්‌ඩලයේ ජනතාවගේ උපරිම යහපතට හේතු වන ලෙස මෙම සංවිධානය මෙහෙයවීමට මට ලැබුණ සවියකි.

දශක තුනකට ආසන්න ත්‍රස්‌තවාදයේ ශාපය නිසා මගේ ජනතාවට දිගු කලක්‌ අහිමිව තිබූ සාමය, ස්‌ථාවරත්වය සහ අලුත් ආර්ථික ඉඩ ප්‍රස්‌ථා සහිත නව යුගයකට ශ්‍රී ලංකාව දැන් පිවිසෙමින් සිටී. 2009 දී ත්‍රස්‌තවාදය අවසන් කිරීමෙන් ශ්‍රේෂ්ඨතම මානව අයිතිය එනම් ජීවත්වීමට ඇති අයිතිය අපි සහතික කළෙමු. ගත වූ සිව් වසර තුළ ශ්‍රී ලංකාවේ කොතැනක හෝ ත්‍රස්‌තවාදයට සම්බන්ධ එකදු සිදුවීමක්‌ හෝ නොවූ බව ප්‍රකාශ කිරීමට මම සතුටු වෙමි.

අපේ ජාතීහු අද සමාජ ආර්ථික අස්‌ථාවරත්වය නිසා උද්ගත බහුවිධ ගෝලීය අභියෝග රැසකට මුහුණ පා සිටිති. අප කැමැත්තෙන් පිළිගෙන ඇති වටිනාකම් ආරක්‍ෂා කිරීම පිණිස මේ අභියෝග ඵලදායී ලෙස ජය ගැනීමේ මාර්ග පොදු රාජ්‍ය මණ්‌ඩලයේ අපි සාමූහිකව හඳුනාගත යුත්තෙමු. මෙවර පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායක සමුළුවේ තේමාව ලෙස "සමානාත්මතාව සමඟ වර්ධනය - පරිපූර්ණ සංවර්ධනය" යන්න ශ්‍රී ලංකාව යෝජනා කළේ අපේ ජනතාවන්ගේ ජීවිත කෙරෙහි සෘජුවම බලපාන්නා වූ වර්ධනය හා සංවර්ධනය සමඟ බැඳුණු දැවෙන ප්‍රශ්න නිරාකරණය හදිසි අවශ්‍යතාවක්‌ ලෙස හඳුනාගත් බැවිනි.

මේ තේමාව සමස්‌ත පොදු රාජ්‍ය මණ්‌ඩලයට පෘථුල ලෙස අදාළ බවත්, ධනය සහ ආර්ථික ප්‍රතිලාභ බෙදීයැමේ වත්මන් විෂමතා විශේෂයෙන් සලකන කල ආර්ථික සංවර්ධනයෙහි සමානාත්මතාවට ඇති වැදගත්කම හුවා දක්‌වන බවත් අපි විශ්වාස කරන්නෙමු. පරිපූර්ණ සංවර්ධනය සමාජ ප්‍රගමනය ප්‍රවර්ධනය කරන අතර, සහශ්‍රක සංවර්ධන අභිමතාර්ථ සාක්‌ෂාත් කර ගැනීමට දායක වෙයි.

වත්මන් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය වන "මහින්ද චින්තන ඉදිරි දැක්‌ම" ආර්ථික හා සමාජ ප්‍රතිලාභ සමාජයේ සෑම ස්‌ථරයකටම අත්වන බව සහතික කරමින් අපේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ සහ විශේෂයෙන් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කරනු වස්‌ ඉදිරියට ගෙන යන්නා වූ නිශ්චිත උපාය මාර්ග ඇතුළත් කොට ගනී.

පහළ මධ්‍ය ආදායම් රටක්‌ වුවද, ශ්‍රී ලංකාව සහශ්‍රක සංවර්ධන අභිමතාර්ථවලට ඇතුළත් සමාජ දර්ශක සමූහයක්‌ සාක්‌ෂාත් කර ගැනීමට සමත්ව ඇති බව මා සඳහන් කරන්නේ සතුටිනි. 2007 දී 15.2% ක්‌ වූ ශ්‍රී ලංකාවේ අන්ත දරිද්‍රතාව සහශ්‍රක අභිමතාර්ථවල මධ්‍ය ඉලක්‌ක ඉක්‌මවා යමින් 2012 වන විට 6.5% දක්‌වා පහත වැටිණි. අපේ ජනතාවගේ සියලු අවශ්‍යතා සපුරාලන අතර, රජය පශ්චාත් ගැටුම් අවධියේ ප්‍රතිසංවර්ධනය හා ප්‍රතිසන්ධානය අරභයා පූර්ව ක්‍රියාකාරී ප්‍රවේශයක්‌ ගත්තේය.

වේල්ස්‌ කුමරුනි, සහෝදර රාජ්‍ය නායකයිනි, උතුමනි, මිතුරනි,

දුෂ්කර අභියෝගයනට මුහුණ පා සිටින්නා වූ අප අපෙන්ම ප්‍රශ්න කිහිපයක්‌ ඇසිය යුතුය.

පළමුවනුව, මූලික පහසුකම්, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, ඵලදායී සේවා නියුක්‌තිය, ආහාර සහ සුරක්‍ෂිත පානීය ජලය ලබා ගැනීමේ පහසුව, දිළිඳුකම හා සාගින්න පිටුදැකීම, දේශපාලන වුවමනාවන් තරම් වැදගත් නැතැයි අපට යථාර්ථවාදීව ප්‍රකාශ කළ හැකි ද?

දෙවනුව, පොදු රාජ්‍ය මණ්‌ඩලය තම සාමාජිකයන්ට ආර්ථික ප්‍රතිලාභ නෙළා ගැනීමට හැකිවන පරිදි සංවර්ධන අභිමතාර්ථ ජය ගැනීම සඳහා සාමූහිකව ක්‍රියාකළ යුතු නොවෙන්නේ ද?

තුන්වනුව අප 'පොදු ධනය' ගැන කතා කිරීමට පෙර 'පොදු දිළිඳුකම' පිළිබඳ ගැටලුව විසඳීමට වඩාත් වෙහෙසී ක්‍රියා කළ යුතු නොවන්නේ ද?

පොදු රාජ්‍ය මණ්‌ඩලයේ අපි ප්‍රමුඛතාවක්‌ සේ ගෙන අපේ සාමාජික ජාතීන්ගේ බහුතරය මුහුණ පා සිටින සංවර්ධන අභියෝග කෙරෙහි අවධානය යොමු කළ යුතුය. පොදු රාජ්‍ය මණ්‌ඩලයේ ඉරණම මෙහෙයවන පිරිස ආර්ථික, සමාජ ගැටලු නිරාකරණය සඳහා ප්‍රායෝගික විධික්‍රම ගැන ගැඹුරින් කල්පනා කිරීමේ ප්‍රබල අවශ්‍යතාවක්‌ ඇතැයි මම දකිමි.

මෙය පොදු රාජ්‍ය මණ්‌ඩලයේ වටිනාකම සහ අදාළ බව බොහෝ සෙයින් වර්ධනය කිරීමට ඉවහල් වනු ඇත.

ස්‌තීS්‍රන් සහ ළමයින්ගේ අභිවෘද්ධිය කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම අවශ්‍ය වෙයි. එසේම සන්නිවේදන තාක්‍ෂණයේ ශක්‍යතාව මෙන්ම අවදානම් පාර්ශ්වය කෙරහි ද දැනුවත් වී සිටීම ප්‍රමුඛ අවශ්‍යතාවකි.

ආර්ථික ප්‍රමුඛතා මුල්තැන ගන්නා නමුදු අපේ ජාතීන් සතු ශ්‍රේෂ්ඨතම ධනය ජනතාව බව අප අමතක නොකළ යුතුය. මානව ප්‍රාග්ධනයේ ගුණාත්මක අගය ශක්‌තිමත් කිරීම ධරණීය වර්ධනය අත්කර ගැනීම රටවලට උපකාරී වෙයි. පොදු රාජ්‍ය මණ්‌ඩලයට අයත් ජාතීන් ඇතුළත වඩා පුළුල් ජනතා සම්බන්ධතා මෙන්ම පොදු රාජ්‍ය මණ්‌ඩලයේ පරමාර්ථ අපේ ජනතාවන්ගේ ඉතා දුරස්‌ථ කණ්‌ඩායම් වෙත ගෙන යැම ද එකසේ වැදගත් ය.

2013 පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායක හමුව සංවර්ධන අභිමතාර්ථ සාක්‌ෂාත් කර ගැනීමෙහිලා පොදු රාජ්‍ය මණ්‌ඩලය ලබා ඇති ප්‍රගතිය තක්‌සේරු කිරීමට අපට අවස්‌ථාව සලසා දෙයි. පොදු රාජ්‍ය මණ්‌ඩලය සාමාජික රටවලට අදාළ ආයතනයක්‌ ලෙස දිගටම පැවතීමට නම් සංවිධානය දඬුවම් දෙන හෝ තීන්දු දෙන මෙවලමක්‌ බවට පත්වීමට ඉඩ නොදී සිය ජනතාවන්ගේ අවශ්‍යතාවන්ට සංවේදී ලෙස ප්‍රතිචාර දැක්‌විය යුතු ය.

පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සාම්ප්‍රදායයන් සහ ඒකමතිකභාවය විකෘති කරමින් බහු පාර්ශ්වික න්‍යාය පත්‍ර සංවිධානයට හඳුන්වාදීමට එරෙහිව අප සාමූහිකව ක්‍රියා කළ යුතුය. සංවිධානයේ ශක්‌තිය රැඳී තිබෙනුයේ හවුල්කාරීත්වයේ ජීව ගුණයෙන් යුතුව එකිනෙකාට උපකාර කිරීමෙන් සාමාජික රටවල් එකට තබා ගැනීමෙනි. පොදු රාජ්‍ය මණ්‌ඩලය සුවිශේෂ ආයතනයක්‌ වනුයේ එවිටය.

උතුමනි, අප කොළඹ දී කරන සාකච්ඡා, පිළියම්, නිර්දේශ කරන හා භේදකාරී එකක්‌ වෙනුවට හවුල්කාරීත්වයෙන් සහයෝගයෙන් සහ එක්‌සත් භාවයෙන් සලකුණු වූ අලුත් පොදු රාජ්‍ය මණ්‌ඩලයක ජනතාවන් උදෙසා වැඩිම ප්‍රායෝගික ප්‍රතිලාභ අත්කර දීමට ඉවහල් විය යුතුය.

සංවිධානයේ සියලු සාමාජිකයන් පිළිගන්නා වූ වටිනාකම් සහ අභිලාශයන් ඇතුළත් පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ප්‍රඥප්තිය පසුගිය දෙසැම්බරයේ අනුමත කර ගන්නා ලදී. අප දැන් නව යුගයක්‌ උදා කරමින් සිටින නිසාත්, ශ්‍රී ලංකාවේ ජනයා අදහන සියලු ආගම් උතුම් මානව වටිනාකම් සුරකින ලෙස උගන්වන නිසාත් වත්මන් ශ්‍රී ලංකාවේ අපට ඒවායේ අඛණ්‌ඩ වලංගුතාවක්‌ පවතී.

අවසාන වශයෙන් බුදුන් වහන්සේගේ ධර්ම පාඨයක්‌ උපුටා දැක්‌වීමට කැමැත්තෙමි.

"න පරේසං විලෝමානි - න පරේසං කතාකතං
අත්තනෝව අවෙක්‌ඛෙය - කතානි අකතානිච"

"අනුන්ගේ රළු පරළු කතාත්, අනුන් කළ නොකළ දේත් නො සෙවිය යුතුය. තමා(ගේ) ම කළ නොකළ දේ සෙවිය යුතුය.

ඵලදායී සහ නිර්මාණශීලී සංවාදයක්‌ අපේක්‍ෂා කරමින්, අප රටේ රැඳී සිටින කාලය ඔබ සියලු දෙනාට සොඳුරු හා ආශ්වාදජනක වේවා යි මම ප්‍රාර්ථනා කරමි.

ඔබ සැමට උතුම් රත්නත්‍රයේ පිහිට ලැබේවා! ස්‌තුතියි!

කීර්ති වර්ණකුලසූරිය, චතුර පමුණුව. අනුර බාලසූරිය
http://www.divaina.com/2013/11/16/news01.html

0 comments: