Pages

Sunday, November 3, 2013

මුල් කාලයේදී දෙමළ මිනිසුන් සියල්ලන්ම මැරුවේ දෙමළ අයමයි. ආමි එක හරි සිංහල මිනිස්‌සු හරි ඒ අයව මැරුවේ නැහැ - ආනන්ද සංගරි

අප ඔහු හමුවීමට යන විට සිය නිවසේ උඩු මහලේ අපගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඔහු සිටින බව අපට පවසන ලද්දේ, නිවසේ සිටි ඔහුගේ සහායකයා විසිනි. තරප්පු පේළිය දිගේ අප යන විට ආනන්ද සංගරී මහතාගේ නිවසේ උඩු මහලේ දී අපගේ නෙත ගැටුණේ බුදු පිළිමයකි. එය ගෞරවාන්විත ආකාරයට තැන්පත් කර තිබූ අතර විදුලි බුබුළකින් ද ආලෝකවත් කර තිබිණි. ඔහුගේ කන්තෝරු කාමරයට අප ගොඩවැදුණු විට, ඔහු අපව සාදරයෙන් පිළිගත් අතර ඔහුගේ කාමරයේ වීදුරු අල්මාරියක්‌ තුළ බුදු පිළිම වහන්සේලා කිහිපනමක්‌ තැන්පත් කර තිබිණි. දේශපාලන සාකච්ඡාවට පෙර මෙම පිළිම වහන්සේලා ගැන මුලින්ම අපි ඔහුගෙන් විමසුවෙමු.

"මේ බුදුපිළිම වහන්සේ මට දුන්නේ මල්වත්තේ නායක හාමුදුරුවෝ, මේ පිළිම වහන්සේ දුන්නේ අස්‌ගිරියේ නායක හාමුදුරුවෝ" ආදි ලෙස පිළිම වහන්සේලා සිව් නමක්‌ පමණ ගැන ඔහු අපට ප්‍රකාශ කළේය. "මේ කරඬුව දුන්නෙත් මල්වත්තේ හාමුදුරුවෝ, මේ බලන්න...... මේ කරඬුව ඇතුළේ තියෙන්නේ.... දළදා වහන්සේ වහපු ලේන්සුවක්‌.." ඔහු සිය වීදුරු අල්මාරියේ තිබූ රන්වන් පැහැති. යටි පැත්ත අත්ලක්‌ පමණ විශාල කරඬුවක්‌ විවෘත කර අපට පෙන්වීය. "මම ගිය සතියට ඉස්‌සෙල්ලා සතියේත් ගියා, අස්‌ගිරියේ නායක හාමුදුරුවෝ බැහැදකින්න... උන්වහන්සේ මාත් එක්‌ක හරිම යාළුයි..... " .

ඒ අපගේ හමුවේ සතුටු සාමීචියේ කොටසකි. මේ ද්‍ර. එ. වි. පෙ. නායක ආනන්ද සංගරී හා අප අතර සිදුවූ දේශපාලන සාකච්ඡාවයි.

ප්‍රශ්නය - ඉලංකෙයි තමිල් අරසුකච්චි, උතුරු පළාතේදී විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබා ගත්තා. එය ඔවුන් පවා අපේක්‍ෂා නොකළ දෙයක්‌. ඔබ තමයි, අද සිsටින වැඩිම දේශපාලන අත්දැකීම් සහිත දෙමළ නායකයා. මෙතරම් ජයග්‍රහණයක්‌ ඉලංකෙයි තමිල් අරසු කච්චි ලබද්දීත් ඔබ පරාදයි.......... මේ ගැන මුලින්ම අපි කතා කරමු...

පිළිතුර - මේකට මට ටිකක්‌ දිග පිළිතුරක්‌ දෙන්න වෙනවා. මොකද මේක එදා ඉඳලාම බල තණ්‌හාවෙන් තනතුරු ලෝභයෙන් හිටපු අය කරපු දෙයක්‌. ඔය ඉන්න, මාවෛයි සේනාධිරාජා හැමදාම තනතුරුවල කෑදර එක්‌කෙනෙක්‌. එයා මේ පැත්තේ සභාපතිකමට නම දාගත්තෙත් හැමෝටම හොරෙන්. ඒ වගේ අය මාව වුවමනාවෙන්ම පරාජය කළා. 2002 දී දෙමළ දේශපාලන නායකයෝ ඔක්‌කොම ප්‍රභාකරන් හම්බු වෙන්න කිලිනොච්චි ගියා.

ඒ වෙලාවේ ප්‍රභාකරන් මාත් එක්‌ක කතා කළා. පළමුවැනි රැස්‌වීමටත් ප්‍රභාකරන් ආවා. ඊළඟ ඒවාට ආවේ තමිල් සෙල්වම්. එයා මම කියපු කිසිම කතාවකට කන්දුන්නේ නැහැ. එයාට ඕනේ දේමයි කරන්න ඕනේ කියලා කිව්වා. එදා මම තීන්දුවක්‌ ගත්තා, ආයෙත් මේ හමුව සඳහා මම යන්නේ නෑ කියලා. මම ආයෙ කවදාවත් ගියේ නැහැ. ඒත් මේ කට්‌ටිය එල්. ටී. ටී. ඊ. ය එක්‌ක වැඩ කරන්න ගත්තා. මම ඒ අය එක්‌ක වැඩ කරන්නෙ නැති කොට ඒ ගොල්ලෝ දෙමළ ජාතික සංවිධානයෙන් ඉල්ලුවා. පසුගිය කාලයේ ඉඳලා..... හැමෝම කිව්වා දෙමළ නායකයෝ ටික එකට එකතු වෙන්න කියලා. ඒ නිසා මමත් කල්පනා කළා, මොකටද අප බේදභින්න වෙන්නේ, එකතු වෙමු කියලා........ 

මම තමයි, යාපනය දිස්‌ත්‍රික්‌කයෙන් කිලිනොච්චිය වෙන් කරලා, වෙනම දිස්‌ත්‍රික්‌කයක්‌ හදලා ගත්තේ. කිලිනොච්චිය කියන්නේ මගේ ගම. ඔය ප්‍රභාකරන්ගේ තාත්තාව මම හොඳට දන්නවා. එයාවත් ළමා කාලයේදී මට මතකයි. ඒ නිසා මම යාපනයෙන් ඡන්දය ඉල්ලන්නේ නැතිව, කිලිනොච්චියෙන් ඡන්දය ඉල්ලුවා. මේ කට්‌ටියට ඒක හරි පහසුවක්‌ වුණා. ඒ ගොල්ලෝ කරපු දේ කිලිනොච්චියේදී ඒ ගොල්ලන්ගේ තුන්දෙනෙක්‌ව නම් කරලා ඒ අයට විතරක්‌ ඡන්දය දෙන්න කිව්වා. ඒ අයට ඕනේ වුණේ ආසන හතරම ජය ගන්න නෙමෙයි. මායි මගේ අයවයි පරද්දලා ඒ ගොල්ලන්ගේ තුන්දෙනාව දිනවන්න....

මේ බලන්න.... (උතුරු පළාත් සභා මැතිවරණයට ඉලංකෙයි තමිල් අරසුකච්චි මගින් මුද්‍රණය කරන ලද අත් පත්‍රිකාවක්‌ පෙන්වයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් අත දිගු කරගෙන සිටින ප්‍රධාන ඡායාරූපයක්‌ එහි තිබේ. පහළින් අපේක්‌ෂකයින් තිදෙනෙක්‌ගේ ඡායාරූප තිබේ.)

මේ ශ්‍රීධරන් කවුද... එයා එල්. ටී. ටී. ඊ. යෙන් පුහුණුව ලබපු කෙනෙක්‌. එයා හිට්‌ලර් වගේනේ මේ අත දික්‌ කරගෙන ඉන්නේ..... මේ අය හැමතැනම කිව්වේ මේ තුන්දෙනාට විතරක්‌ ඡන්දය දෙන්න කියලා.

මට එක රැස්‌වීමකටවත් කතා කළේ නැහැ. එහෙම කරලා මාව පරාජය කළා. මේ ගොල්ලෝ මාව පරද්දන්න ඕනේ හින්ද ආණ්‌ඩුවට එක ආසනයක්‌ දීලයි වැඩේ පටන් ගත්තේ. අපි එකතුවෙලා ඡන්දය ඉල්ලුවා නම් කිලිනොච්චියේ සීට්‌ හතරම දිනන්නේ අපි. මේ අයට ඕනේ වුණේ මාව පරද්දලා. ඒ තුන්දෙනාව විතරක්‌ දිනවන්න....... 

මට ඒ කාලේ මාවෛයි සේනාධිරාජා කතා කරලා කිව්වා... දෙහිවල පැත්තේ ළමයෙක්‌ ඉන්නවා ඔෆිස්‌ එකේ වැඩට ගන්න කියලා..... · මාත් ගත්තා.... එක දවසක්‌ පත්තරේ යනවා ප්‍රවෘත්තියක්‌, මාව මරන්න කොටියෙක්‌ කොළඹ ඇවිල්ලා ඉන්නවා කියලා. එදා ඉඳන් මේ ළමයා ආවේ නැහැ. පස්‌සේ බලනකොට මේ ළමයා, දෙහිවල ඉන්නවා කියපු ලිපිනයේ කවුරුත් නැහැ.

මට එහෙම කරපු අයට මාව ඡන්දයෙන් පරද්දන එක ලොකු දෙයක්‌ද?

ඩයස්‌පෝරාවේ එක රැස්‌වීමකට මාව එක්‌කගෙන යන්නේ නෑ. ඒ ගොල්ලෝ තනියෙන් ගිහිල්ලා සල්ලි අරගෙන එනවා.

ප්‍රශ්නය - මහ ඇමැති විග්නේශ්වරන්ට ලැබුණු ජයග්‍රහණය තුළින් උතුරට වැඩක්‌ කරන්න පුළුවන් කියලා ඔබ හිතනවාද... ඇමැතිකම් බෙදා ගැනීමට යැමේදී මෙම පිරිස්‌ අතර සමගිය නැති වුණා. මේ නිසා අද වන විට ඉලංකෙයි තමිල් අරසුකච්චි බේදභින්න වී ගිය පක්‍ෂයක්‌ වෙලා.

පිළිතුර - විග්නේශ්වරන් මහත්මයා නීතියෙන් පිට වැඩ කරන කෙනෙක්‌ නෙමෙයි. එයා නීතියටයි වැඩ කරන්නේ. ඔය අනිත් අය වගේ පිස්‌සු කරන්න යන්නේ නැහැ. විග්නේෂ්වරන් මහත්තයා මහ ඇමැති අපේක්‍ෂක කරනවා කියලා මට කිව්වේ නැහැ. ඒ අය ගන්න තීන්දු අපිට කියන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මම මේ ගැන මන්නාරමේ බිෂොප්ට ද ලියුමක්‌ යෑව්වා. මන්නාරමේ බිෂොප් තමයි අපිව එක තැනකට ගෙනැල්ලා කතා කළේ. එතුමා තමයි, මහන්සිවෙලා ඡන්දයට වැඩ කළේ. අපි එක්‌සත්වෙලා ඉන්න ඕනේ විදිහ ගැන අවවාද කරන්නේත් එතුමා තමයි. ඒ නිසා මම එතුමාට මේක ලියලා යෑව්වා.

ප්‍රශ්නය - මන්නාරමේ බිෂොප්තුමාට විශාල ශක්‌තියක්‌ හිමිවෙලා තියෙනවා, දෙමළ පක්‌ෂ මෙහෙයවීමට. ඒ ඇයි......? 

පිළිතුර - මන්නාරම කියන්නේ ශක්‌තිය වැඩි පළාතක්‌. ඒ පළාතේ මහජන නියෝජිතයෝ ගොඩක්‌ කැතලික්‌. ඒ නිසා එයාට බලයක්‌ තිබෙනවා.

ප්‍රශ්නය - මන්නාරමේ බිෂොප්තුමාගේ මෙම දේශපාලන හැසිරීම ඔබ අනුමත කරනවාද?..... එල්. ටී. ටී. ඊ. සංවිධානයට පවා විටින් විට චෝදනා එල්ල වුණා, පල්ලියේ සහයෝගය ලැබෙන බව. දැන් ඔබගේ පක්‍ෂයේ මෙහෙයවීමත් පල්ලියටම ලැබිලා තියෙනවා නේද?..

පිළිතුර - ඒක ඇත්ත......... එල්. ටී. ටී. ඊ. යට කැතලික්‌ සපෝට්‌ එක තිබුණා. මන්නාරම බිෂොප්ට කිව්වේ, එල්. ටී. ටී. ඊ. බිෂොප් කියලනේ.

ප්‍රශ්නය - ඔබ විසින් දෙමළ ජාතික සන්ධාන සමහරුන්ට චෝදනා එල්ල කරනවා.. නමුත් ඔබට එරෙහිවත් චෝදනා තියෙනවා. ඔබ මේ පදිංචිව ඉන්නේ රජයේ නිල නිවාසයක. ඒ වගේම ඔබ ආණ්‌ඩුවේ අවශ්‍යතාවයට වැඩ කරනවා කියලත් සමහරු කියනවා.

පිළිතුර - එල්. ටී. ටී. ඊ. එකට විරුද්ධව මම හැමතැනම කතා කළා. ඒක ඇත්ත. මම ගාන්ධිවාදියෙක්‌. මට මිනීමැරීම් අනුමත කරන්න බෑ. මම කිව්වේ එල්. ටී. ටී. ඊ. ය ප්‍රතිසංස්‌කරණය කරන්න කියලා. එහෙම කියලා මම ආණ්‌ඩුවේ කියන්නේ කොහොමද? මට ආණ්‌ඩුවෙන් ශතයක්‌ වත් දෙන්නේ නැහැ. මට එහාපැත්තේ තියෙන ගෙදර රිෂාඩ් බදියුදීන්ගේ ගෙදර. ඒක කෝටි ගණනක්‌ වියදම් කරලා ප්‍රතිසංස්‌කරණය කළා. මේ ගෙදර හැටි බලන්න.... මේක හදන්න ශතයක්‌වත් ආණ්‌ඩුව වියදම් කරන්නේ නැහැ. සල්ලි දෙනවාට වඩා මන්ත්‍රීකම් ඇමැතිකම් ආණ්‌ඩුවට දෙන්න පුළුවන්නේ. ඒවා මට දෙනවා ද ... නෑ.

ප්‍රශ්නය - යළි උතුරේ අවි අතට ගැනීමක්‌ සිදු වෙන්න පුළුවන්ද.... එදා ඔබ ඇතුළු පිරිස පාර්ලිමේන්තු වාදීන් විදිහට කටයුතු කරද්දී තමයි, එල්. ටී. ටී. ඊ. ය ඇතුළු ත්‍රස්‌ත කල්ලිs මතු වුණේ... යළිත් එවැන්නක්‌ සිදු වෙන්න උතුරේ ඉඩකඩ තියෙනවාද?.....

පිළිතුර - අවුරුදු සියයකට නම් ආයෙත් ඒ වාගේ දෙයක්‌ වෙන්නේ නෑ.

ප්‍රශ්නය - නමුත් දෙමළ දේශපාලකයන් කිසිම කෙනෙකු තවමත් තිම්පු මූලධර්ම අත හැරලා නැහැ. ඒ තුළ දේශපාලනයෙන් තොර ත්‍රස්‌තවාදයෙන් ඊළමක්‌ පිහිටුවන්න ඉඩකඩ විවර වෙලා තියෙනවා......?

පිළිතුර - දැන් ඒවා ඉවරයි. දැන් කවුරුවත් ඒවා කතා කරන්නේ නැහැ. විග්නේශ්වරන්, සම්බන්ධන් කියලා තියෙනවා, අපි එක්‌සත්ව ඉන්න කැමැතියි කියලා. රට කඩන්නේ නැතිව ෙෆෙඩරල්වලට කැමැතියි. ඒකීය රාජ්‍යයට කැමැති නැහැ කියලා. මම ඊටත් ඉස්‌සරහට ගිහිල්ලා කියලා තියෙනවා. යුනිටරිත් නැතිව ෙෆෙඩරලුත් නැතිව ඉන්දියන් ව්‍යවස්‌ථාව වගේ අපිත් ව්‍යුහයක්‌ හදා ගමු කියලා. අපි එතැනටම ඇවිල්ලා තියෙනවානේ...... අතුරලියේ රතන හාමුදුරුවෝත් ඒ කාලේ මගේ යෝජනාවට කැමැති වුණා. 

ප්‍රශ්නය- නමුත් උතුර හා නැගෙනහිර පළාත් සාම්ප්‍රදායික දෙමළ නිජභූමිය කියන එක මේ සියලුදෙනා පිළිගන්නවා.

පිළිතුර - ඒක වැරදි නැහැ. ඒත් ඒ ගැන මම වැඩිය කතා කරන්න කැමැති නැහැ.

ප්‍රශ්නය - ඔබ මොකද හිතන්නේ වත්මන් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ගැන. 

පිළිතුර - එයා ඉස්‌සර හොඳ එක්‌කෙනෙක්‌. මම ජනාධිපතිතුමාට ලියුමක්‌ ලිව්වා. ඔයාගේ ප්‍රතිපත්තිය තමයි, මහින්ද චින්තනය. නමුත් දැන් වෙන අයගේ චින්තනය ඔයාගේ ඇතුළට ඇවිල්ලා ඔයාගේ චින්තනය වගේ යනවා කියලා. ඒක තමයි, ඔය ප්‍රශ්නයට උත්තරේ.

ප්‍රශ්නය - ජිනීවාවලට ගිහිල්ලා ආණ්‌ඩුවට විරුද්ධව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ ජාත්‍යන්තරය පමණක්‌ නොවෙයි. දෙමළ නායකයොත් ඊට එකතුවෙලා ඉන්නවා......

පිළිතුර - මම ප්‍රභාකරන් කියන මෝඩයාට කිව්වා, දැන් අවි අතහරින්න. ඔයාට යුද්ධය දිනන්න බැහැ කියලා. අන්තිම දවස්‌වල මම එයාට ලිව්වා. ලක්‍ෂ තුනහමාරක ජනතාවගේ ශාපය ඔයාටයි. ඔයාගේ පරම්පරාවටයි ඔයාගේ පිරිසටයි, ඔයාට සහයෝගය දෙන අයටයි යනවා කියලා. 

මම ජනාධිපතිතුමාටත් ඒ වෙලාවේ ලියුමක්‌ ලිව්වා. දැන් ඔයා දිනුම්. මේ යුද්ධය නවත්වන්න. දැන් කාවවත් මරන්න එපා. ඔයාගේ පිටරට යාළුවන්ට කතා කරලා, උතුරේ මිනිස්‌සුන්ට උදව් කරන්න කියන්න කියලා.

මම දෙමළ සන්ධානයටත් ලිව්වා. ඕගොල්ලෝ මේ ජනතාවගේ ජීවිත බේරා ගන්න. මන්ත්‍රීකම්වලින් ඉවත්වෙලා හරි උතුරට ගිහිල්ලා මේ ජීවිත බේරා ගන්න. නැත්නම් ඒ අයටත් මේ ශාපය එල්ල වෙයි කියලා මම කිව්වා. දැන් මේ ගොල්ලෝ ආණ්‌ඩුවට වැරදි දානවා. මෙච්චර මිනිස්‌සු මැරුණා නම් පළමුවැනි වැරදිකාරයෝ ටී. එන්. ඒ. කට්‌ටියයි. පස්‌සේ තමයි ආණ්‌ඩුව. දැන් ටී, එන්. ඒ. එක ආණ්‌ඩුවට විතරක්‌ වැරදි කියනවා.... ඒක ලේසි වැඩක්‌නේ.........

ආනන්ද සංගරී මහතා අප සමඟ සාකච්ඡාව පවත්වන මේසය පිටුපසින් පොත් අල්මාරියකි. එහි ඉහළින් අමිර්තලිංගම්, ජී. ජී. පොන්නම්බලම්, චෙල්වනායගම්, සිව සිත්තම්පරම්ගේ ඡායාරූප තිබේ. ඒ සියල්ලටම ඉදිරියෙන් ගාන්ධිගේ ප්‍රතිමාවකි.

උතුරට ආණ්‌ඩුව සංවර්ධනය ඇති කළා. ඒක හොඳයි. කවුරු හරි ජාතිවාදය ඇති කරලා, එක එක්‌කෙනාගේ උරුමය පැහැර ගන්න හදනවා නම් ඒක නතර කරන්න ඕනේ. ජනාධිපතිතුමා එක පාරක්‌ නිදහස්‌ උත්සවයේදී කිව්වා. සංගරී, ඩග්ලස්‌ වගේ දේශපාලනය කරනවා නම් අපි කතා කරන්න ලෑස්‌තියි කියලා. අපි මේවා කතා කරගෙන කරමු. මම අනුමත කරන්නේ අවිහිංසාවාදී මාර්ගය.

දැන් බලන්න, දෙමළ නායකයන් ටික වයසට ගිහිල්ලා. අලුත් දෙමළ නායකයෝ නැහැ.

ඔහු සිය කතාව කරගෙන යයි. අපි තවත් ප්‍රශ්නයක්‌ ඔහුට ඉදිරිපත් කළෙමු.

ඔබ වසර ගණනාවක්‌ හිටියේ සිංහල මිනිසුන් අතරේ. ඔවුන්ගෙන් ඔබට කිසිදු හිංසාවක්‌ වුණේ නැහැ. ඔබට ජීවිත තර්ජන තිබ්බේ දෙමළ සංවිධානවලින්...... මේ රටේ දෙමළ ජනතාවටත් ඒ තත්ත්වයම නිර්මාණය කරගෙන සිංහලයන් සමග වාසය කළ හැකියි. ඊට වැඩි විසඳුමක්‌ මේ තත්ත්වයට තිබෙනවාද.......

ඇත්ත ..... මුල් කාලයේදී දෙමළ මිනිසුන් සියල්ලන්ම මැරුවේ දෙමළ අයමයි. ආමි එක හරි සිංහල මිනිස්‌සු හරි ඒ අයව මැරුවේ නැහැ.

මේ පොත කියවන්න.... (ඔහු අපට පොතක්‌ දෙයි) මේකේ සියලු විස්‌තර තියෙනවා. මේක කියවලා ඔයා මට කෝල් එක්‌ක දෙන්න... 

ඔහු ලබා දුන් පොතේ පෙරවදන නිමාවන්නේ මෙසේය. 

'අතීතයේදී සිංහල, දෙමළ, මුස්‌ලිම් අප සියලුදෙනාම එකිනෙකාට සහයෝගය දෙමින් එකිනෙකාගේ නිවෙස්‌වලට යමින් ඉතා කුලුපග මිත්‍රත්වයකින් යුතුව විසූ බව මතක්‌ කර දෙන්නේ එවැනි දේශයක්‌ යළි බිහි වීම ඉතා අවශ්‍ය බවද ප්‍රකාශ කරමිනි.

එසේම තර්ජන නිසා පමණක්‌ නොව වයස්‌ගත වීම නිසා ද මරු මුවට ළංවී සිටින මම මිය යන්නට පෙර සමගි සම්පන්න ජනතාවකින් යුතු ජාති කුල ආගම් බේද නොමැති ශ්‍රී ලංකාවක්‌ දකින්නට ලැබේවා යෑයි දෙවියන්ගෙන් අයෑද සිටිමි.'

මීට හිතවත්, වී. ආනන්ද සංගරී, නායක, ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ

සාකච්ඡා කළේ- මනෝඡ් අබයදීර 
http://www.divaina.com/2013/11/03/politics02.html

0 comments: