Pages

Tuesday, November 12, 2013

තාක්ෂණය ගණිකා වෘත්තියේ යෙදවීම නොහොත් තාක්ෂණය ඉදිරියේ ආත්මය වෙන්දේසි වීම

සැබැවින්ම අද වන විට තාක්‍ෂණය දියුණුය. එමතුද නොව විද්‍යාවද එපමණටම දියුණුය. මානවයෝ වන අප එදාට සාපේක්‍ෂව අද වන විට බොහෝ සෙයින් ඉදිරිගාමී අයවලුන් වී ඇති බැව් කීම අතිශයෝක්‌තියක්‌ නොවේ. පෙරදා මෙන් නොව අද අසුරු සැණින් ලොව වටා යා යෑකිය. එහෙත් එදා සැබැවින්ම එය සිහිනයකි. ලොව එහා කොනේ වන දෙයක්‌ මෙහා කොනටත්, මෙහා කොනේ වන දෙයක්‌ එහා කොනටත් දැන ගැනීමට තිබූ හැකියාව ඉතා අල්ප මට්‌ටමේ එකක්‌ව තිබිණි. ආසන්නතම උදාහරණයක්‌ ගනිමු. මළගමක්‌ සිදුවූ කල ටෙලිග්‍රෑමයක්‌ යෑවුවහොත් සිදුවූයේ කුමක්‌ද? අදාළ පුවත යවන්නේ අවම වශයෙන් මියගිය තැනැත්තාගේ අවසන් කටයුතු සිදුකරන දිනයේදී හෝ අදාළ ඥතියා මළගමට පැමිණෙනු ඇතැයි සිතාගෙනය. එනමුදු සිදුවන්නේ කුමක්‌ද? අවසන් කටයුතු සිදුකරන දින කෙසේ වතුද සත්දින දානය ද දී දවස්‌ තුන හතරක්‌ ගෙවී ගිය තැන අර මළගමට සහභාගි විය හැකි වටාපිටාවක්‌ ඉහත කී ඥතියාට නිර්මාණය වීමය. එහෙත් අද එසේ නැත. අද සෑම තැනම ජංගම දුරකථනය. ජනගහනය මෙන් දෙගුණයක්‌ ජංගම දුරකථන ඇතැයි ද පවසනු ඇසේ. ඒ අනුව අද දවසේ දී ඕනෑම සිදුවීමක්‌ සිදුවූ සැණින් රට හතර දිග් භාගයේ කොතැනකට වුවද ජංගම දුරකථනයෙන් දැනුම් දිය හැක. ලොව කොතැනක සිදුවන දෙයක්‌ ගැන වුවද තොරතුරු සැණින් ජංගම දුරකථනයට ගලා එයි. එමතුද නොව කෙටි පණිවුඩද යෑවිය හැක. එයිනුන් නොනැවතී විද්යුත් තැපෑල භාවිත කරමින්ද පණිවිඩ යෑවීමේ හැකියාවක්‌ අද වන විට විවර වී තිබේ.

මඳකට විමසා බලනු මැන. මෙය වූ කලී දියුණුවම නොවේද? සත්තකින්ම එය නම් දියුණුවමැයි. එය වූ කලී අප අපේක්‍ෂා කළ දියුණුවකි. සරලවම පවසතොත් එය වනාහී මිනිසාගේ ඉදිරි පැවැත්ම උදෙසා අවැසි වන්නාවූ දියුණුවකි. එහෙත් පැනයකි. මේ දියුණුව අද වන විට අප භාවිත කරමින් සිටින්නේ කවරක්‌ සඳහා ද? සිහි නුවණින් යුතුව විමසා බැලුවහොත් පෙනී යන්නේ තාක්‍ෂණයේ සේම විද්‍යාවේද දියුණුව සමඟ අත්වැල් බැඳගෙන අපි සැවොම මිනිසත්කම් වඩවා ගැනීම වෙනුවට කෙමෙන් කෙමෙන් ඇදී යමින් සිටින්නේ තිරිසන් යුගයක්‌ කරාම බවයි. කළ යුත්ත පසෙක තබා නොකළ යුත්තක්‌ ම සිදු කරමින් මිනිසත් කමට නිගා ගෙනදීමට දතකමින් සිටින බවයි.

ජංගම දුරකථන අප අතට පත් මුල් කාල වකවානුව ගැන ඔබට කුඩා හෝ මතකයක්‌ තිබේද? එදා ජංගම දුරකථනය තරමක විශාල එකක්‌ විය. බොහොමයක්‌ දෙනා එය හැඳින්වූයේ "ගඩොල් බෑය" කියාය. එහෙත් අද? ඇත්තෙන්ම අද වනවිට එය ප්‍රමාණයෙන් කුඩාවී ඇත. එමතුද නොව අති නවීන පහසුකම් වලින්ද අනූන වී ඇත. ජංගම දුරකථනයකින් අපේක්‍ෂා කරන මූලිකම කාරණය ඇමතුමක්‌ ලබා ගැනීමය. ලැබෙන ඇමතුමකට පිළිතුරක්‌ ලබාදීමය. කෙටි පණිවිඩයක්‌ යෑවීමය. ඉහත කී කරුණු කාරණාවලින් පමණක්‌ම නවතිනු වෙනුවට තව බොහෝ දේද සිදු කළ හැකි ජංගම දුරකථන අද වෙළෙඳපොළ තුළ තිබේ. එයද හොඳ දෙයකි. එහෙත් යහපත් සුසංවාදී සන්නිවේදනයකට භාවිත කළ හැකි මේ උපකරණය අද බොහෝමයක්‌ පිරිස්‌ භාවිත කරමින් සිටින්නේ කවරක්‌ සඳහාද? බොහෝමයක්‌ පිරිස්‌ "සන්නිවේදනය" යන්න පවා හරිහැටි වටහා නොගන්නේ ඉන් කළ යුත්ත සේම නොකළ යුත්තද කරමින් සිටින අතර, එයනම් සැබැවින්ම රිළවුන්ට දැළිපිහිය හසුවීමක්‌ මැයි.

සැබැවින්ම කුමක්‌ද මේ "සන්නිවේදනය"? එය වූ කලී වඩාත් යහපත් වූ නිවේදනයයි. අප සැමගේ පැවැත්ම උදෙසා සාධනීය බලපෑමක්‌ එල්ල කරන්නාවූ නිවේදනයයි. සත්තකින්ම එය බාල, මහලු, වැඩිහිටි කොයි කාටත් යහපත පිණිස පවතින්නක්‌ම විය යුතුය. එහෙත් අද කුමක්‌ද සිදුවෙමින් පවතින්නේද...? අද සිදුවෙමින් පවතින්නේ එහි අනෙක්‌ පසයි. අනවශ්‍ය ඇමතුම් ලබාදීම ඔස්‌සේ මිනිසුන් අපහසුතාවයට ලක්‌කිරීම අද බහුතරයක්‌ දෙනාගේ විනෝදාංශයක්‌ව ඇති සෙයකි. එය සිදු කරන්නවුන් නම් ඉන් අතිමහත් තෘප්තියක්‌ද ලබන සැටියකි. එහෙත් මෙය කොපමණ නම් බිහිසුණු ක්‍රියාවක්‌ද? එතුළින් සිදුවන්නේ අනෙකක්‌ නොව මිනිසුන් මානසිකව ඇද වැටීමට ලක්‌වීමයි. පවුල් ඒකක තුළ ගැටුම් ඇතිවීමට පවා වටාපිටාවක්‌ සකස්‌ වීමයි. සැබැවින්ම එය විය යුත්තක්‌ද? නැත. නොවිය යුත්තකැයි යනුවෙන් අපි කොතෙක්‌ නම් අවධාරණය කොට සිටියද එයම සිදුවෙමින් පවතින්නේ කවර අභාග්‍යයක්‌ නිසාදැයි සිතා ගැන්මද අසීරුය.

පෙරදීද කී විලසින්ම අද ජංගම දුරකථනය වනාහී අතිශයින්ම දියුණු තාක්‍ෂණික මෙවලමකි. ඉන් අන්තර්ජාලයට පිවිසිය හැක. එමතුද නොව හඬපටිගත කිරීම, ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම සේම ගුවන් විදුලියට සවන් යොමු කිරීමද සිදු කළ හැක. අපේ තරුණ තරුණියෝද ජංගම දුරකථනය භාවිත කරමින් අන්තර්ජාලයට පිවිසෙති. ඇත්තෙන්ම එය කොතරම් නම් හොඳ ක්‍රියාවක්‌ද? එහෙත් විමසිය යුතු පැනයක්‌ ද තිබේ. ඒ අනෙකක්‌ නොව ඔවුන් අන්තර්ජාලයට පිවිස කරන්නේ සහ සොයන්නේ මොනවාද යන්නයි. බොහොමයක්‌ දෙනා එතුළින් ගවේෂණය කරන්නට හුරුව සිටින්නේ තම අනාගතය අඳුරෙන් අඳුරටම ඇද දමාගන්නා දේවල්ය. එයිනුත් නොනැවතී මුදා හරිමින් සිටින්නේද සමාජයට අයහපතම කැඳවන දේවල්ය. ඊට ආසන්නතම උදාහරණයක්‌ මෙලෙස ඉදිරිපත් කරමි. මෙය මා දේශනයකදී අසා දැනගත් එකකි.

එක්‌තරා පෙම්වතෙක්‌ හා පෙම්වතියක්‌ සිටියහ. මේ දෙපළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝය. තරුණිය තුළ තරුණයා කෙරෙහි තිබුණේ සැබෑම ආදරයකි. එහෙත් තරුණයා සැබෑ ආදරවන්තයකු නොවූයේය. හේ අවස්‌ථාවාදියකු විය. දිනක්‌ මේ වංක ප්‍රේමවන්තයා මනුෂ්‍යත්වයට කිසි ලෙසකින් නොගැලපෙන තිරශ්චීන ක්‍රියාවක්‌ සිදුකළේය. කුමක්‌ද ඒ? ඒ අනෙකක්‌ නොව ආදරය දක්‌වන මුවාවෙන් තම පෙම්වතිය නිරුවත් කොට තමාගේ වූ ජංගම දුරකථනයෙන් ඇගේ නග්න සිරුර වීඩියෝගත කිරීමයි. තරුණිය ඊට කොතෙක්‌ විරුද්ධ වුවද මේ අවලමා තමා ඒවා කිසිවෙකුටත් නොපෙන්වන බව පවසමින් තරුණියගේ විශ්වාසයද දිනාගෙන ඇත. සිද්ධියෙන් පසු ගතවූයේ දින කිහිපයකි. දිනක්‌ මේ කුපාඩියා අර තරුණියට යම් අයුතු යෝජනාවක්‌ සිදුකොට ඇත. එහෙත් ඒකා බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රතිචාරයක්‌ තරුණියගෙන් නොලැබී ගිය හෙයින් සිදු කළේ අනෙකක්‌ නොව තරුණියගේ නිරුවත් ඡායාරූප සියල්ලම (තම ජංගම දුරකථනයෙහි වූ) අන්තර්ජාලයට මුදා හැරීමය. කවුරු කවුරුත් තම තමන්ගේ හෘද සාක්‍ෂිය මඳකට අවදි කර බලනු මැන. තාක්‍ෂණය අයිතිකර ලෙස භාවිත කිරීම තුළින් මිනිසුන්ගේ මානව අයිතීන්ද උල්ලංඝනය වන වටපිටාවක්‌ නිර්මාණය වෙමින් පවතින බැව් කීමට මීටත් වඩා උදාහරණ කුමටද? එමතුද නොව මිනිසාගේ යහපත උදෙසා යෑයි කියමින් හඳුන්වා දුන් තාක්‍ෂණික මෙවලම් මිනිසාටම පාරාවළල්ලක්‌ වන බැව් කියන්නට මේවා හොඳම උදාහරණ නොවේද? අද බොහෝමයක්‌ පාසල් දැරියෝ ජංගම දුරකථනයක්‌ තමන් සන්තක කරගැනීම වැනි සරල කරුණක්‌ අරභයා මුළු ආත්මයම වුව සළෙලෙකුට දන්දීමට සූදානම් වී සිටිත්. සැබැවින්ම ඒ වූ කලී කවර නම් ෙඛේදවාචකයක්‌ද?

එදා මෙන් නොව අද පරිගණකයක්‌ නැති ගෙදරක්‌ වෙතොත් ඒ ඉතා කලාතුරකිනි. එමෙන්ම අද මෙරට වැසියන්ගේ පරිගණක සාක්‍ෂරතාවද ඉතා ඉහළ මට්‌ටමක පවතින බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. පරිගණකය හරහා අන්තර්ජාලයට පිවිසිය හැක. සැබැවින්ම අන්තර්ජාලය වූ කලී අනෙකක්‌ නොව දැනුම් ආකරයකි. එය විශ්ව කෝෂයක්‌ බඳු එකකි. එතුළින් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට, වෙනත් ගවේෂණ සිදුකරන විද්‍යාර්ථින්ට සේම ව්‍යාපාරික ක්‍ෂේත්‍රවල නියෑළෙන්නවුන්ද තම දැනුම තීව්‍ර කරගනුවස්‌ උකහා ගත හැකි දැනුම් සම්භාරය අතිමහත්ය. එහෙත් අවාසනාවට ඇත්තම ඇත්ත කතාවක්‌. කවදත් මිනිසත්කමට නිගාගෙන දෙන ගෙන අවකල් ක්‍රියා කරන ඇතැම් අවලමුන් කිසිත් හිරිතිකයකින් තොරවම සුපුරුදු අවකල් ක්‍රියාවල නිරත වෙති. ඉනික්‌බිති තම හපන්කම් ලොව හමුවේ ප්‍රදර්ශනය කරන අරමුණින් දො ඔවුහු ඒවා අන්තර්ජාලගත කරති. ඔවුන්ට අවැසි වන්නේ එපමණකි. ඉන් මඳක්‌ එහාට ගොස්‌ තම ක්‍රියාකරකම් මනුෂ්‍යත්වයට කොතෙක්‌ නම් උචිතද, එතුළින් සමාජයට සිදුවන හානිය කොතරම්ද යනාදිය ගැන විමසා බැලීමක්‌ ඔවුනට අවැසි වන්නේ නැත. සියල්ල අවසන කුමකින් කුමක්‌ සිදුවේවිද? සිදුවන්නේ මෙයයි. රටේ අනාගතය වන පාසල් සිසු සිසුවියෝ හා තරුණ පරපුර මේ අසැබි වෙබ් අඩවිවලට රිංගාගෙන එදසුන් නැරඹීමට පෙළඹෙති. ඉනික්‌බිති මනස්‌කදම්භ විකෘති කොටගෙන තම අම්මා, සොයුරා සේම සොයුරියද නාඳුනන තිරශ්චීනයන් රැළක්‌ සේ හැසිරීමට කටයුතු කරති. මෙලෙසින් අප හමුවෙහි දිග හැරෙන්නේ අනෙකක්‌ නොව තාක්‍ෂණය වැරදි සහගත ලෙස භාවිත කිරීමේ ආදීනවම නොවේද? දිනපතා ජනමාධ්‍ය පරිශීලනය කිරීමේදී මේ බැව් සපථ කරන පුවත් ඕනෑවටත් වඩා නෙත ගැටෙනා අතර, එය සමාජ හරපද්ධතීන්ගේ සෝදාපාළුව මොනවට විදහාපාන කැඩපතක්‌ම වැන්න.

දැන් අපි වෙනතකට හැරෙමු. අපි දැන් ඇඟිල්ල දිගු කරන්නට සූදානම් වන්නේ අවකල් ක්‍රියාකාරකම්වල නියෑළෙමින් තාක්‍ෂණික මෙවලම් ඔස්‌සේ ඒවා සමාජ ගත කරන්නා දෙසටය. ඔවුන් ඉඳුරාම එක්‌ දෙයක්‌ සිතිය යුතුමය. ඒ කුමක්‌ද? ඒ අනෙකක්‌ නොව තමන් මෙලෙසින් සිදු කරන්නේ මුළු මහත් සමාජයක්‌ම වනසාලන පාප කර්මයකට දායක වීමක්‌ බවය. ඊටත් වඩා තම ආත්ම ගරුත්වය අමු අමුවේම කෙළෙසා ගැනීමක්‌ බවය. තවද රටට සේම ලෝකයාටද වැරදි පූර්වාදර්ශ සැපයීමක්‌ම බවය. මේවා නරඹා නොමඟ යන්නේ කවර රටක වුවද අනාගතය භාර ගැනීමට සිටින දරු පරපුරය. එය කොතරම් නම් බිහිසුණු ප්‍රතිඵල ගෙන දෙන්නක්‌ විය හැකිද?

දැන් අපි එහි අනෙක්‌ පස ගෙන හැර බලමු. අද වන විට විද්‍යාව සේම තාක්‍ෂණයද අතිශයින්ම දියුණුවී ඇති අතර, ඒවා ජනදිවියේ පැවැත්ම උදෙසා අත්‍යවශ්‍යම අංගද වී ඇත. එහෙත් එය එසේ වූවායෑයි කියා අපි කවුරුන් වුව පමණ ඉක්‌මවා තාක්‍ෂණයේ වහලුන් බවට පත්විය යුතුද? කොහෙත්ම නැත. අවශ්‍යම දේ කුමක්‌ද? අනවශ්‍ය දේ කුමක්‌ද? යන්න තෝරා බේරාගැනීමේ හැකියාවක්‌ කවුරු කවුරුත් සන්තකයේ තිබෙනවා නම් යෙහෙකි. මන්ද අපි යම් දෙයක්‌ දෙසට එක්‌ ඇඟිල්ලක්‌ දිගු කරද්දී අපටත් නොදැනීම ඇඟිලි හතරක්‌ම අප දෙසට දිගුව පවතින බැවිනි.

අමිල දොළපිහිල්ල
http://www.divaina.com/2013/11/12/feature04.html

0 comments: