Pages

Friday, November 15, 2013

කන්ද උඩරට උඩවත්ත කැලේ සුද්දන්ගේ කනත්ත - ගැරිසන් සොහොන් බිම

ඉතිහාසය චමත්කාරජනකය. සිහිකොට උදම් අනන්නට සේම සිහිකොට පසුතැවෙන්නටද බොහෝ දෑ උගෙනීමටද ඉතිහාසය වැදගත්ය. අප එදිනෙදා අත්විඳින අත්දකින බොහෝමයක්‌ ප්‍රාක්‌තන බහුජන සිද්ධි දාමයක්‌ ඔස්‌සේ විවිධ කරුණු ස්‌මරණයට මඟ පෑදෙයි.

වසර 1822 සිට 1870 තෙක්‌ දළදා හිමි වැඩහිඳිනා බිමට ආසන්න භූමියේ ප්‍රතිසන්ධීය ලැබූ ගැරිසන් සොහොන් බිමද එවැන්නකි.

ක්‍රිස්‌තු වර්ෂ 1815 මාර්තු දෙවැනි දින මහනුවර මඟුල් මඩුවේදී රොබට්‌ බ්‍රවුන්රිග් හා රදළ ප්‍රධානීන් අත්සන් කළ ගිවිසුමෙන් පසුව උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ගේ අණසක පතුරාලිය හැකිවු දේශයක්‌ විය.

රටමැද ස්‌වාධීන රාජ්‍යයක්‌ ලෙස එකල කන්ද උඩරට පැවතීම බ්‍රිතාන්‍ය පාලනයට විශාල බාධාවක්‌ වූ නිසාම බ්‍රිතාන්‍ය හමුදාවේ ප්‍රධානියා වූ සෙන්පති ඩබ්ලිව්. ටී. ඩෝසන් කඩුගන්නාවේ ගල විද පාර තනවා උඩරටට සේන්දු වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුන්ගේ පුරසාරම් කතාබහටය. “සුද්දෝ උඩරට අල්ලා ගන්නවා නම්, උන්ට ගල විදගෙන එන්න වේවි” රාජසිංහ රජු එසේ කීවේය.

ඒ කෙසේ වුවද කන්ද උඩරටට සේන්දු වූ ඉංග්‍රීසි ජාතිකයන් තේ වගාව ආරම්භ කළ අතර වෙළෙඳාම දියුණු කිරීමට මාර්ග තැනවීය.

කන්ද උඩරට සේම මෙසිරිලක බොහෝ ස්‌ථානයන්හි අභිවෘද්ධිය සඳහා පරංගි සේනාව ක්‍රියා කළද මතු යම් දවසක සියල්ල අතහැර සිය මව්බිම කරා යළි පියමනින්නට වේ යෑයි ඔවුහු සිතන්නට ඇත.

ඔවුහු උණ්‌ඩයෙන් සටන් මෙහෙයවද්දී ජාතිමාමක හෙළයා වීර්යය පෑවේ දේශධාරී ශක්‌තියෙනි. ශ්‍රී ලාංකේය අප ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කීවද කන්ද උඩරට සුළඟ හා මුසුව හමා එන බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රාණ වායුව එදා ඔවුන්ගේ දාහය වරින් වර අපට සිහි ගන්වයි.

“සුද්දෝ දළදා පුදබිමේ සොහොනක්‌ හැදුවේ, සිංහලුන් ලව්වා වක්‍රාකාරව උන්ට වන්දවා ගන්ටයි”

“දළදා හාමුදුරුවන්ට වන්දනා කරනකොට ඒ දිසාවට නිරායාසයෙන්ම වැඳුම් පිදුම් ලැබෙන උන් හැමදාම බැලුවේ සිංහලයා යටත් කොරගන්න…”

ජාත්‍යාලයෙන් විරාජමානව සිංහ සෙයියාවෙන් හඬ නඟන හෙලයෝ එසේ කීහ. එහි වරදක්‌ නැත. සැබෑ සිංහල රුධිරයේ හඬ එයය.

බ්‍රිතාන්‍ය ජාතිකයන් හෙවත් සුද්දා මෙරට අණසක පතුරුවා ලූයේ “රැජිණ” ගේ වචනයටය. රැජිණ විසින් ශ්‍රී ලංකාද්වීපයට “ආණ්‌ඩුකාර” තනතුරද හඳුන්වා දෙන ලදී.

එවකට මෙරට බල පරාක්‍රමය විහිදුවා ලූයේ ආණ්‌ඩුකාරවරයායි. එහෙත් අද මුතු ඇටයක අගය ලොවට පාමින් බල පරාක්‍රමය විහිදුවා ලන්නේ සිංහලයෝය.

මේ සිංහල අපගේ රටේ සොහොන් තනවන්නට එදා සුද්දන්ට සිදු වූයේ කුමක්‌ද? එකදු සිංහලයෙක්‌ හෝ මිහිදන් නොකළ සෙංකඩගල උඩවත්ත කැලේ අක්‌කර තුන්කාලක මහීකඩක්‌ මත බ්‍රිතාන්‍ය ජාතිකයන් එකසිය අනූපස්‌දෙනකු මිහිදන් කෙරුවේ ඇයි? ද යන්න ප්‍රහේළිකාවකි.

ඔවුහු මිහිදන්ව ඇත්තේ අපේ සරු පොළොව නිසරු කරන්නට වෙහෙස ගත් නියාවෙන් බව කීවොත් එය නිවැරැදි වනු ඇත.

කන්ද උඩරට මහා වනාන්තරයක්‌ පරිද්දෙන් පැවැති අතර ඔවුහු මේවා හෙළි පෙහෙළි කොට වගාවට සුදුසු පරිදි සැකසූහ. මැලේරියාව, වසූරිය, කොළරාව එකල දරුණු ලෙස පැතිර ගිය අතර රෝග වසංගතයක්‌ වීමෙන් මියගියේ අයෙකු දෙදෙනකු නොවේ. පවුල් පිටින්මය. ඒ මියගිය පිරිස සියයකට අධිකය. වයස අවුරුදු තිහ, විසිපහ, විස්‌ස සේම වයස අවුරුදු දෙක තුන හතරේ පුංචි දරුවෝද වූහ.

ඒ බැව් සනාථ කරමින් අද ද ගැරිසන් සොහොන් බිමෙහි දක්‌නට ලැබෙන්නේ විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්‌ත වූ සොහොන් කොත්ය. ඒවා අනේක විධ හැඩයන්ගෙන්ද අනේක විධ ප්‍රමාණයන්ගෙන්ද සමන්විත වූයෙන් එකම කාලයක තැනූ ඒවා බව තහවුරු වෙයි.

යටත් විජිත සමයේ උඩරට ගිවිසුම සැකසීමේ පුරෝගාමී මෙහෙවර ඉටුකළේ සර් ජෝන් ඩොයිලියි. සිංහල භාෂාවද මනාව හසුරුවාලිය හැකි ඩොයිලි කලක්‌ සිංහලයන්ගේ මිතුරකුද විය. ගජමන් නෝනා ඩොයිලිට කවි ලියා එවා ඇති බවට සාක්‍ෂිද තිබේ. හෘදයාබාධයකින් වයස අවුරුදු හතළිස්‌ නවයේ දී මියගිය ජෝන් ඩොයිලි අංක 11 සොහොන් බිමෙහි නිසලව වැතිර සිටියි.

බ්‍රිතාන්‍ය රජය කලක්‌ ගැරිසන් සොහොන් බිම නඩත්තුව පිණිස පවුම් වෙන්කළේය. රැජිණ මේ මිනිසුන් සිහි කරනුයේ “හිරු නොබසින අධිරාජ්‍යයක්‌” තනන්නට උරදුන් ගාම්භීර බ්‍රිතාන්‍යය පුරුක්‌ ලෙසය.

රැජිණගේ පූර්ණ අනුග්‍රහය මත බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ගැරිසන් සොහොන් බිම නඩත්තුවට මුදල් ශාන්ත පාවුළු දෙව්මැඳුර කලක්‌ මුදල් යොදවා තිබිණ. ඔවුහු ස්‌ව සහෘද බ්‍රිතාන්‍ය ජාතිකයන්ට පණ සේ ආදරය කරති.

උසස්‌ මිනිසුන්ට කළ උපකාරය ගලක ඇඳි රේඛාවක්‌ සේය. අසත්පුරුෂයන්ට කළ උපකාරය දියෙහි ඇඳි ඉරක්‌ සේය. සඳහන් වන්නේ ප්‍රත්‍යසඪකයේය.

බ්‍රිතාන්‍යයන් හඳුන්වාදුන් නිලතල නම්බු නාම දරන්නෝ ගැරිසන් සොහොන ඉවත් කරන්නට කලක්‌ වෙර දැරුවෝය.

අද ඒ දෙසට යන මඟ කාපට්‌ අතුරා දර්ශනීය මංමාවත් ඉදිකර සොහොන් බිම පවිත්‍රකොට ගස්‌ ගෙන්වා සිටුවා උද්‍යානයක්‌ බවට පත් කර ඇත. නිදිකුම්බා උගුල්ලා උඳුපියලිය වවන්නේ සෙහොන් බිමෙහි වැතිර සිටින මළවුන්ට ගෞරව පූර්ව කිරීමට නම් අප සැබෑ හෙළයෝය. මනුස්‌සයෝය.

එදා හෙළයා සුද්දන් විශ්වාස කර සියල්ල අහිමි කරගත්හ. එදා සුද්දාට රැවටුණු අප අද සැරසෙන්නේ සුද්දා රැවටීමටද?

උපේක්‍ෂා වීරසේකර - දිවයින
http://lankacnews.com/sinhala/main-news/104655/

0 comments: