Pages

Sunday, November 10, 2013

කෑලි වී යන මිනිසුන් මෙනෙහි වෙමින්, පිස්සෙකු වී සිටින ඩ්‍රෝන් ක්‍රියාකරුවාගේ පාපොච්චාරණය

බ්‍රැන්ඩන් බ්‍රියන් ඇමරිකානු ගුවන් හමුදාවේ සේවයකර විශ්‍රාම ලැබූවෙකි.

බ්‍රැන්ඩන් සුවිශේෂ වන්නේ ඔහු ඇමරිකානු නියමුවන් රහිත ඩ්‍රෝන් යානා මෙහෙයවූ ගුවන් හමුදා නිලධාරියකු නිසාය.

ඇෆ්ගනිස්‌ථානයේ තලේබාන්වරුන්ට එරෙහිව ඔහු ඩ්‍රෝන්යානා මෙහෙයවූයේ ඇමරිකාවේ නෙවාඩා ගුවන් හමුදා කඳවුරේ සිටය. වසර හයක සේවයෙන් පසුව ඔහු 2011 දී ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ අතර සිය සේවා කාලය තුළ ඔහු ක්‍රියාත්මක කළ ඩ්‍රෝන් ප්‍රහාරවලින් පුද්ගලයන් 1626 දෙනෙක්‌ මරුමුවට පත්වී ඇත. 21 වැනි සියවසේ ඇමරිකානු ඝාතන යන්ත්‍රය ලෙසද ඔහු විරුදාවලිය ලබා ඇත. වයස 21 දී ඩ්‍රෝන් ක්‍රියාකරුවකු වූ හෙතෙම අද මානසික රෝගියකු බවට පත්ව ඇත්තේ තමන් විසින් කළ ඩ්‍රෝන් ප්‍රහාරවලින් මිනිසුන් කෑලි කෑලිවලට කැඩී මිය යනවා දැකීම නිසාය.

බ්‍රැන්ඩන් සිය අත්දැකීම් මාධ්‍යයට හෙළි කර ඇති අතර එය ඇමරිකානු සඟරාවක "Confession of a Drone Warrior" මැයෙන් පළවී ඇත.

ඇත්තෙන්ම මෙම ලිපිය අනුව සිය අතීත ක්‍රියාමාර්ග එනම් ඩ්‍රෝන් ප්‍රහාර ක්‍රියාත්මක කිරීම ගැන හෙතෙම බලවත් පශ්චත්තාපයට පත්වී ඇති බව නම් පැහැදිලිය.

2007 වසරේදී ඇෆ්ගනිස්‌ථානයේ හින්දුකුෂ් ප්‍රදේශයේ එල්ල කළ ප්‍රහාරයක්‌ ගැන හෙතෙම සිය මතකය අවදිකර ඇත. එහි මාර්ගයක පුද්ගලයන් තිදෙනකු ගමන්කරමින් සිට ඇති අතර මොවුන් ආයුධ රැගෙන යන තලේබාන් සාමාජිකයන් තිදෙනකු බවත් මේ අයට ප්‍රහාර එල්ල කළ යුතු බවටත් ඉහළින් උපදෙස්‌ ලැබී තිබිණි. ඩ්‍රෝන් යානයේ 'Hellfire' මිසයිල එල්ල කළ පසු ඒ ප්‍රහාරයට ලක්‌වූවන් ඉතා හොඳින්ම ඔහුට තමා ඉදිරිපිට ඇති තිරයේ නිරීක්‍ෂණය කළ හැකිය.

මිසයිල ප්‍රහාරය එල්ල කළාට පස්‌සේ දුමක්‌ නැග්ගා. දෙන්නෙක්‌ කෑලි කෑලිවලට කැඩිලා ඉන්නවා මම දැක්‌කා. අනෙක්‌ පුද්ගලයාගේ දකුණු කකුල කැඩිලා වෙන්වෙලා තිබුණා. ඔහු ඒ කැඩිලා වෙන්වෙච්ච කකුල් කෑල්ල අල්ලගෙන පෙරළුනා. ලේ හැම තැනම ගලාගෙන ගියා. ඇත්තෙන්ම ඔහුට මැරෙන්න ගොඩක්‌ වෙලා ගියා. ඒක මම බලා හිටියා. ඒක මට අමතක කරන්න බැහැ. ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු තමා අධික ලෙස බීමත්කමට ඇබ්බැහිවූ බවත් විශාදියෙන් පෙළෙන බවත් මේ හිටපු ඩ්‍රෝන් ක්‍රියාකරු පවසයි.

එක්‌ අවස්‌ථාවක ඇෆ්ගනිස්‌ථානයේ මැටි ගැසූ නිවසකට ප්‍රහාරයක්‌ එල්ල කිරීමට ඔහුට අණ ලැබුණු අතර එය හොඳින් නිරීක්‍ෂණය කිරීමේදී එතැන කුඩා දරුවකු සිටින බව ඔහුට පෙණින. මේ බව තම ඉහළ නිලධාරීන්ට ප්‍රකාශ කළද එහිදී ඔහුට දැනුම් දුන්නේ එතැන සිටින්නේ බල්ලකු බවත් වහා ප්‍රහාර එල්ල කළ යුතු බවයි.

බ්‍රැන්ඩන්ගේ මේ හෙළිදරව් කිරීමත් සමඟම ඇමරිකාව ක්‍රියාත්මක කරන ඩ්‍රෝන් ප්‍රහාර ගැන බලවත් විවේචනයක්‌ මතුවී තිබුණද එරට ආරක්‍ෂක බලධාරීන් පවසන්නේ මේ ප්‍රහාර නීති විරෝධී නොවන බවයි. ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාර මගින් යුද අපරාධ සිදුවී ඇති බව ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය මෙන්ම වෙනත් මානව හිමිකම් සංවිධානද ප්‍රකාශ කර ඇතත් මේවා ඇමරිකානු රජය මගින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කර ඇත.

වරදත්ත අකලංක
http://www.divaina.com/2013/11/09/forign01.html

0 comments: