Pages

Tuesday, October 1, 2013

ටීඑන්ඒ ඉඩම් පොලිස්‌ බලතල ඉල්ලයි

උතුරු පළාත් සභාවට ඉඩම්, පොලිස්‌ බලතල ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වී සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය (ටී එන් ඒ) තීරණය කර ඇත. එහෙත් පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ ඉඩම් බලතල හිමිවන්නේ මධ්‍යම රජයට පමණක්‌ බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ පිළිබඳ පැවති නඩු විභාගයකින් පසුව තීන්දු කරන ලදී.

දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවට තේරී පත්ව සිටින මහ ඇමැති ඇතුළු ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීමෙන් පසු ලබන සති අන්තයේදී ඉහත සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.

උතුරු පළාත් සභාව දෙමළ ජාතික සන්ධානය ජයග්‍රහණය කිරීමෙන් පසු ප්‍රථම වතාවට රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවැත්වෙන මෙම සාකච්ඡාව තීරණාත්මක එකක්‌ වනු ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක්‌ සෙවීම සඳහා රජය විසින් පත්කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය මෙතෙක්‌ සහභාගි නොවූව ද රජය සමඟ පවත්වන සාකච්ඡාවෙන් පසු එම සන්ධානය තේරීම් කාරක සභාවට සහභාගි වනු ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එහෙත් මේ සාකච්ඡාවේදී රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිදු එකඟතාවකට නොඑන බව එම ආරංචි මාර්ග පළ කළේය.

උතුරේ ප්‍රාන්ත පොලිසියක්‌ ස්‌ථාපිත කිරීම සඳහා උතුරු පළාත් සභාව කරන ඉල්ලීමට රජය එකඟ වුවහොත් පොලිස්‌ දෙපාර්තමේන්තුව කැබලි කීපයකට කැඩෙන බව පොලිස්‌පති නලින් ඉලංගකෝන් මහතා දැනටමත් අනතුරු අඟවා තිබේ.

මේ අතර ද්‍රවිඩ සන්ධානය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එක්‌කර ගැනීම සඳහා රජය ක්‍රියා කරන අතර එහිදී උතුරේ ජනතාව නඟාසිටුවීම සඳහා කළයුතු යෝජනා රජය ද්‍රවිඩ සන්ධානය වෙත යොමුකරනු ඇත.

මේ අතර ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීමක්‌ වූ උතුරින් හමුදාව ඉවත් කිරීමේ යෝජනාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එකහෙළාම ප්‍රතික්‍ෂේප කර ඇත.

එහෙත් ඉන්දීය වානිජ නාවික කටයුතු ඇමැති ජී. කේ. වාසන් පවසන්නේ උතුරින් හමුදාව ඉවත් කිරීම සඳහා ඉන්දීය රජය වාතාවරණයක්‌ සකස්‌ කරන බවය.

කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන
http://www.divaina.com/2013/10/01/news01.html

0 comments: