Pages

Monday, September 30, 2013

ඉඩම් බලතල පිළිබඳ දෛවෝපගත නඩු තීන්දුව

උතුරු පළාත් සභාව දිවුරුම් දීමටත් පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවකින් පළාත් සභාවලට රජයේ ඉඩම් සම්බන්ධ කිසිදු බලයක්‌ නැතැයි තීරණය වීම සැබවින්ම දෛවෝපගත සිද්ධියකි. මෙය කිසිසේත්ම සැලසුම් කර කරන ලද්දක්‌ නම් නොවන බව ඉතාමත්ම පැහැදිලිය. පහසුව සඳහා "සෝලෙයිමුත්තු රාසු" නඩුව හැටියට හැඳින්විය හැකි මෙකී නඩුව අවුරුදු 18 ක්‌ පමණ උසාවි පද්ධතිය තුළ ඒ මේ අත ගිය පැරණි නඩුවකි. මෙය මුලින්ම උසාවියට ගියේ 1995 දීය. ඒ අවස්‌ථාවේදී රාජ්‍ය වැවිලි සංස්‌ථාව ඔවුන්ට අයත් ඉඩමක අනවසරයෙන් පදිංචි වී සිටි සෝලෙයිමුත්තු රාසු නම් පුද්ගලයකු එම ඉඩමෙන් ඉවත් කර ගැනීම සඳහා නුවරඑළිය මහෙස්‌ත්‍රාත් උසාවියේ නඩු පැවරුවේය. මහෙස්‌ත්‍රාත්වරයා මෙම අනවසර පදිංචිකරු ඉඩමෙන් ඉවත් විය යුතු බවට තීන්දුවක්‌ දුන්නේය. එවිට සෝලෙයිමුත්තු රාසු නමැති මෙම පුද්ගලයා මධ්‍යම පළාතේ මහ අධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කරමින් මහෙස්‌ත්‍රාත් උසාවියේ නියෝගය නිශ්ප්‍රභා කරන මෙන් ඉල්ලා සිටියේය. එවිට රාජ්‍ය වැවිලි සංස්‌ථාව මධ්‍යම පළාතේ මහ අධිකරණය වෙත 1996 පෙබරවාරි මාසයේදී කරුණු දක්‌වමින් පවසා සිටියේ අදාළ ඉඩම රජයේ ඉඩමක්‌ බවත් එහි සිටින අනවසර පදිංචිකරුට ඉන් ඉවත්වන මෙන් නොතීසි නිකුත් කර ඇත්තේ රජයේ ඉඩම් (භුක්‌තිය පවරා ගැනීමේ) 1979 අංක 7 දරන පනත යටතේ බවත් එම නිසා මෙකී අනවසර පදිංචිකරුට මහ අධිකරණය වෙත ඒ සම්බන්ධයෙන් පෙත්සමක්‌ ඉදිරිපත් කිරීමට අයිතියක්‌ නැති බවත්ය.

1979 අංක 7 දරන රජයේ ඉඩම් (භුක්‌තිය නැවත පවරා ගැනීමේ) පනත ඉතාමත්ම ප්‍රායෝගික නීතියකි. ඕනෑම රජයේ ආයතනයකට තමා යටතේ පවතින රජයේ ඉඩමක අනවසරයෙන් පදිංචිවී සිටින ඕනෑම කෙනකුට ඉන් ඉවත්වන්නැයි කියමින් නොතීසියක්‌ නිකුත් කළ හැක. එවිට අනවසර පදිංචිකරු එම ඉඩමෙන් මසක්‌ ඇතුළත ඉවත් විය යුතුය. ඔහු ඉවත් වූයේ නැත්නම් අදාළ රජයේ ආයතනයට මහෙස්‌ත්‍රාත් උසාවියේ නඩුවක්‌ ගොනු කළ හැක. කරුණු විමසීමෙන් පසු මහෙස්‌ත්‍රාත්වරයාට අදාළ පුද්ගලයාව ඉඩමෙන් ඉවත් කිරීමේ නියෝගයක්‌ නිකුත් කළ හැකි අතර එම නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වුවහොත් බලහත්කාරය යෙදවීමට ද පොලිසියට එම පනතින්ම බලය පවරා ඇත. එමෙන්ම මෙවැනි කාරණයක්‌ සම්බන්ධයෙන් මහෙස්‌ත්‍රාත්වරයා නිකුත් කරන ඉවත් කිරීමේ නියෝගයකට එරෙහිව ඉහළ උසාවියකට ඇපෑලක්‌ ඉදිරිපත් කිරීමට ද නොහැක. 1979 අංක 7 දරන රජයේ ඉඩම් (භුක්‌තිය නැවත පවරා ගැනීමේ) පනතේ මෙකී විධිවිධාන පමණක්‌ වුවත් රාජ්‍ය වැවිලි සංස්‌ථාවේ නඩුව ජය ගැනීමට ප්‍රමාණවත් විය.

නමුත් රාජ්‍ය වැවිලි සංස්‌ථාව මධ්‍යම පළාත් මහ අධිකරණය වෙත ගොස්‌ එම අධිකරණයට මෙකී නඩුව ඇසීමට බලයක්‌ නැතැයි කියමින් මූලික විරෝධතා ගොනු කළ අවස්‌ථාවේදී ඔවුන් කියා සිටි තවත් කාරණයක්‌ වූයේ රජයේ ඉඩම් නමැති විෂය පළාත් සභා බලතල ලැයිස්‌තුවට ඇතුළත් නොවන නිසා මධ්‍යම පළාත් මහ අධිකරණයට රජයේ ඉඩම් සම්බන්ධ නඩුවක්‌ ඇසීමට බලය නැති බවයි. (ඇත්තවශයෙන්ම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ ඇති පළාත් සභා බලතල ලැයිස්‌තුවේ "රජයේ ඉඩම්" පළාත් සභාව යටතට එන බවක්‌ කොතැනකවත් සඳහන් වන්නේ නැත.) මධ්‍යම පළාත් මහ අධිකරණය අවුරුදු කිහිපයක්‌ මෙම නඩුව ඇසීමෙන් පසු 2000 නොවැම්බර් මාසයේදී තීන්දු කර සිටියේ රජයේ ඉඩම් නමැති විෂය පළාත් සභා යටතට වැටෙන්නේ නැති නිසා එකී අධිකරණයට සෝලෙයිමුත්තු රාසු නමැති මෙම අනවසර පදිංචිකරුගේ පෙත්සම ඇසීමට බලයක්‌ නැති බවයි. ඊට ටික දිනකට පසු සෝලෙයිමුත්තු රාසු මධ්‍යම පළාත් මහ අධිකරණයේ තීන්දුවට එරෙහිව ඇපැල් උසාවියේ නඩුවක්‌ ගොනු කළේය. ඇපැල් උසාවිය ද අවුරුදු 12 ක පමණ කාලයක්‌ මුළුල්ලේ මෙම නඩුව ඇසීමෙන් පසු 2012 අගෝස්‌තු මාසයේදී තීන්දුවක්‌ ලබාදුන්නේය. එම තීන්දුවෙන් කියවුණේ රජයේ ඉඩම් නමැති විෂය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ පළාත් සභා බලතල ලැයිස්‌තුව යටතට වැටෙන නිසා පළාත්බද මහ අධිකරණ වලට රජයේ ඉඩම් සම්බන්ධ නඩු ඇසීමට බලයක්‌ තිබෙන බවයි.

ඇපැල් උසාවියේ මේ තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමගම රාජ්‍ය වැවිලි සංස්‌ථාව ශේ්‍රෂ්ඨාධිකරණයට ඇපෑලක්‌ ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ඇපැල් උසාවියේ මේ තීන්දුව නිශ්ප්‍රභා කරන ලෙසය.

පසුගිය සතියේ අග විනිසුරු මොහාන් පීරිස්‌, විනිසුරු කේ. ශ්‍රීපවන් හා විනිසුරු ඊවා වනසුන්දර නමැති තුන් කට්‌ටුව විසින් වෙන වෙනම නඩු තීන්දු තුනක්‌ ප්‍රකාශයට පත් කරමින් ඉතා පැහැදිලිව සඳහන් කර සිටියේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනයට අනුව රජයේ ඉඩම් මධ්‍යම ආණ්‌ඩුවට අයත් විෂයක්‌ මිස පළාත් සභාවලට අයත් විෂයක්‌ නොවන බවයි. ඔවුන් මෙම තීන්දුව සනාථ කිරීමට ගෙන හැර දැක්‌වූ කරුණු පහත සඳහන් ආකාරයට සම්පිණ්‌ඩනය කළ හැක.
  •  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ මධ්‍යම ආණ්‌ඩුවේ බලතල ලැයිස්‌තුවේ "රජයේ ඉඩම් හා මුහුදු වෙරළ" යන්න ඉතා පැහැදිලිව සඳහන් කර ඇත. (මේ ආකාරයට රජයේ ඉඩම් මධ්‍යම ආණ්‌ඩුවේ බලතල ලැයිස්‌තුවේ පැහැදිලිව සඳහන් වුවද එවැන්නක්‌ පළාත් සභා ලැයිස්‌තුවේ සඳහන් වන්නේ නැත.)
  •  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 154 (ජී) (7) වගන්තියට අනුව මධ්‍යම ආණ්‌ඩුවේ බලතල ලැයිස්‌තුවේ ඇති කිසිදු විෂයක්‌ සම්බන්ධයෙන් පළාත් සභාවකට නීති සම්පාදනය කිරීමට නොහැකි බව කියවෙයි. ඒ අනුව පළාත් සභාවලට "රජයේ ඉඩම් හා මුහුදු වෙරළ" සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක්‌ ගත නොහැක.
  •  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ ඉඩම් සම්බන්ධයෙන් කාරණා සඳහන් වන දෙවන උපලේඛනයේ ආරම්භක වාක්‍යයෙන් කියවෙන්නේ රජයේ ඉඩම් ජනරජයට අයිති බවත් එම ඉඩම් පැවරීම කළ හැක්‌කේ ජනාධිපතිවරයාට පමණක්‌ බවත්ය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 33 (ඩී) වගන්තියෙන් රජයේ ඉඩම් පැවරීම ජනාධිපතිවරයාට අයිති බලයක්‌ බව තහවුරු කර ඇත. එම නිසා රජයේ ඉඩම් සම්බන්ධ සියලු බලතල අයත් වන්නේ ජනරජයට මිස පළාත් සභාවලට නොවේ.
  •  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ පළාත් සභා බලතල ලැයිස්‌තුවේ 18 වන විෂය "ඉඩම්" වුවත් එහි සඳහන් වන පරිදි පළාත් සභාවලට අයිති ඉඩම් බලතල කාරණා කීපයකට පමණක්‌ සීමා වෙයි. එනම් ඉඩම් පිළිබඳ අයිතීන් යන කාරණය, ඉඩම් මත පදිංචි කරවීම, ඉඩම් පැවරීම, ඉඩම් භාවිතය හා සංවර්ධනය යන කාරණාය. නමුත් මේ බලතල ක්‍රියාත්මක කිරීම ද මධ්‍යම ආණ්‌ඩුවට අයත් බලතල ලැයිස්‌තුවට අනුකූලව සිදුවිය යුතු බව පළාත් සභා ලැයිස්‌තුවේ අංක 18 දරන මෙකී ඉඩම් පිළිබඳ වාක්‍යයෙන්ම කියවෙයි. එමෙන්ම පළාත් සභා ලැයිස්‌තුවේ අංක 18 දරන ඉඩම් පිළිබඳව මේ ඡේදයෙන් පෙන්නුම් කරන පරිදි එම ඡේදයේ සඳහන් කාරණා සම්බන්ධයෙන් පමණක්‌ පළාත් සභා වලට බලතල ඇති බවත් ඉන් ඔබ්බට කිසිදු බලයක්‌ ඔවුන්ට හිමිවිය යුතු නැති බවත් පැහැදිලි වේ. එනම් පළාත් සභා වලට ඉඩම් සම්බන්ධයෙන් ඇති බලතල, ඉඩම් අයිතිය යන කාරණාද (මෙයින් අදහස්‌ වන්නේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වැන්නක්‌ බව පැහැදිලිය) පදිංචි කරවීම, ඉඩම් පැවරීම, භාවිතය හා සංවර්ධනය යන කාරණා පමණි.
  •  13 වන සංශෝධනයේ "රජයේ ඉඩම්" හා "ඉඩම්" යන්න තැන් දෙකක සඳහන් වෙයි. ඒ අතරින් සමස්‌ත රජයේ ඉඩම් ගැන සඳහන් වන්නේ මධ්‍යම ආණ්‌ඩුවේ බලතල ලැයිස්‌තුවේ පමණි. පළාත් සභා වලට අවශ්‍ය වුවහොත් ඉඩම් ලබාදෙන්නේ මේ මධ්‍යම ආණ්‌ඩුවට අයත් ඉඩම් සංචිතයෙනි. රජයේ ඉඩම් නමැති විෂය පළාත් සභා වලට පවරා නොතිබීමෙන් ජන රජයට අයත් ඉඩම් පළාත් සභාවලට නොපැවරීමේ ෙච්තනාව පිළිබිඹු කරයි.
  •  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ ඉඩම් පිළිබඳ දෙවන උපලේඛනයේ 1.1 ඡේදයට අනුව පළාත් සභා බල ප්‍රදේශයක්‌ තුළ මධ්‍යම ආණ්‌ඩුවට ඔවුන්ට සම්බන්ධ විෂයක්‌ සඳහා රජයේ ඉඩමක්‌ භාවිත කිරීමට අවශ්‍ය වුවහොත් ඔවුන් ඒ සම්බන්ධයෙන් අදාළ පළාත් සභාව "කන්සලට්‌" කළ යුතු බව කියවෙයි. "කන්සල්ට්‌" යන වචනයෙන් අදහස්‌ වන්නේ විමසා සිටීමක්‌ යෑයි දළ වශයෙන් කිව හැක. අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා පැහැදිලි කලේ "කන්සල්ට්‌" යන වචනයෙන් පළාත් සභාවේ "අනුමැතිය" ගතයුතු බවත් අදහස්‌ වන්නේ නැති බවයි. එමෙන්ම මේ ආකාරයට පළාත් සභාව කන්සල්ට්‌ කළ යුතු යෑයි කියා තිබුණත් රජයේ ඉඩම් අයත් වන්නේ ජනරජයට යන කාරණය ඉන් වෙනස්‌ වන්නේ නැත.
  •  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ ඉඩම් පිළිබඳ දෙවැනි උපලේඛනයේ 1.2 ඡේදයට අනුව යම් කිසි පළාත් සභාවකට එම පළාත් සභාවට අදාළ යම් කිසි කාරණයක්‌ සඳහා රජයේ ඉඩමක්‌ අවශ්‍ය වුවහොත් එම ඉඩම ඔවුන්ට ලබාදිය යුත්තේ මධ්‍යම ආණ්‌ඩුව විසිනි. පළාත් සභාවකට රජයේ ඉඩමක්‌ පාලනය කිරීමට හා භාවිත කිරීමට බලයක්‌ ලැබෙන්නේ ඔවුන්ට එම ඉඩම මධ්‍යම ආණ්‌ඩුවෙන් පවරා දුන් පසුව පමණි. රජයේ ඉඩම් පළාත් සභා යටතට වැටෙන්නේ නැති බවට එයින්ද පැහැදිලිය.
  •  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ දෙවන උපලේඛනයේ 1.3 ඡේදයට අනුව යම්කිසි පළාත් සභා බල ප්‍රදේශයක්‌ තුළ තිබෙන රජයේ ඉඩමක්‌ රටේ පුරවැසියකුට හෝ ආයතනයකට පවරා දීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එසේ කළ යුත්තේ පළාත් සභාවේ උපදෙස්‌ මත බව යෑයි සඳහන් වුවද පළාත් සභාවක්‌ විසින් දෙන එකී උපදෙස්‌ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා බැඳී සිටින්නේ නැත. (ජනාධිපතිවරයාට යම් පළාත් සභා බල ප්‍රදේශයක්‌ තුළ තිබෙන රජයේ ඉඩමක්‌ තමාට කැමති අයෙකුට පැවරිය හැක්‌කේ පළාත් සභාවේ උපදෙස්‌ මත "පමණක්‌" යෑයි කොතැනකවත් සඳහන් වන්නේ නැත. ජනාධිපතිවරයාට මෙසේ ඉඩම් පැවරිය හැක්‌කේ පළාත් සභාවේ උපදෙස්‌ මත "පමණක්‌" යෑයි කියා නැති වාතාවරණයක්‌ තුළ ජනාධිපතිවරයාට ඉඩම් පැවරිය හැක්‌කේ පළාත් සභාවේ උපදෙස්‌ මත පමණක්‌ යෑයි කියා ව්‍යවස්‌ථාවේ ලියා නැති නීතියක්‌ නීතිගත කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැහැදිලිවම ප්‍රතික්‍ෂේප කර ඇත.) මේ සම්බන්ධයෙන් පළාත් සභාවක්‌ දෙන උපදෙස්‌ බාර ගැනීමට ජනාධිපතිවරයා බැඳී නොසිටින නිසා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 33 (ඩී) වගන්තිය අනුව රජයේ ඉඩම් ඕනෑම කෙනෙකුට පැවරීමට ජනාධිපතිවරයාට ඇති අයිතිය කිසිදු සීමා කිරීමකින් තොරව පවතින බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වෙයි.
  •  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ දෙවන උපලේඛනයේ තුන්වන ඡේදයට අනුව ජාතික ඉඩම් කොමිසමක්‌ තිබිය යුතු අතර රජයේ ඉඩම් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරනු ඇත්තේ මේ ජාතික ඉඩම් කොමිසම විසිනි. පළාත් සභාද මේ ජාතික ඉඩම් කොමිසමෙන් සම්පාදනය වන ප්‍රතිපත්තීන් වලට අනුකූල විය යුතුය. මෙයින්ද පැහැදිලි වන්නේ රජයේ ඉඩම් මධ්‍යම ආණ්‌ඩුවේ විෂයක්‌ මිස පළාත් සභා වල විෂයක්‌ නොවන බවයි.
  •  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ශ්‍රීපවන්, හිටපු විනිසුරු මාක්‌ ප්‍රනාන්දු දුන් තීන්දුවක්‌ උපුටා දක්‌වමින් පවසා සිටියේ යම්කිසි විෂයක්‌ අයත් වන්නේ මධ්‍යම ආණ්‌ඩුවේ ලැයිස්‌තුවටද නැතිනම් පළාත් සභාවේ ලැයිස්‌තුවටද යන්න එම ලැයිස්‌තු දෙස බැලීමෙන් පමණක්‌ තීන්දු කළ නොහැක. අදාළ ලැයිස්‌තුවල විෂයයන් විස්‌තර කර ඇති ආකාරය සම්පූර්ණ නොවීමට ඉඩ ඇත. එම නිසා උසාවිය හැමවිටම මධ්‍යම ආණ්‌ඩු ලැයිස්‌තුවේත් පළාත් සභා ලැයිස්‌තුවේත් සමගාමී ලැයිස්‌තුවේත් ඇති විෂයන් එකිනෙකා සමඟ ගැටෙන්නේ නැති ආකාරයට නිර්වචනය කළ යුතු බව පවසා සිටියේය.
  •  එමෙන්ම ශ්‍රීපවන් විනිසුරුතුමා පෙන්වා දුන් තවත් කාරණයක්‌ වූයේ ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ ඉඩම් පිළිබඳ දෙවැනි උපලේඛනයේ සඳහන් ආකාරයට ජනාධිපතිවරයා යම්කිසි පළාත් සභා ප්‍රදේශයක්‌ තුළ තිබෙන රජයේ ඉඩමක්‌ තමාට කැමැති අයෙකුට පැවරීමේදී පළාත් සභාවෙන් දෙන උපදෙස්‌ පිළිපැදීමට බැඳී නොසිටියත් ඔහු පාර්ලිමේන්තුවෙන් සම්පාදනය කර ඇති නීතිවලට පමණක්‌ අනුකූලව එම පැවරීම සිදුකළ යුතුය. ශ්‍රීපවන් විනිසුරුතුමා එයින් ගම්‍ය කර ගත්තේ පළාත් සභාව යනු පාර්ලිමේන්තුවට පහළින් පිහිටි සීමිත ව්‍යවස්‌ථාදායක බලයක්‌ පමණක්‌ ඇති ආයතනයක්‌ බවයි.
  •  විනිසුරු ඊවා වනසුන්දර මහත්මියද සඳහන් කර සිටියේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ පළාත් සභා බලතල ලැයිස්‌තුවේ 18 වන ඡේදයෙන් "ඉඩම්" ගැන සඳහන් වුවද ඒ යටතට "රජයේ ඉඩම්" අයත් නැති බව පැහැදිලි වන බවයි. එතුමියගේ මතය වූයේද රජයේ ඉඩම් ජනරජයට පමණක්‌ අයිති බවත් මේ ඉඩම් පැවරීමට ජනාධිපතිවරයාට ඇති බලතල කිසිදු ආකාරයකින් සීමා කර නැති බවයි.
දෙමළ ජාතික සන්ධානයේ ඉඩම් බලතල පිළිබඳ සිහිනය බොඳ වී ගියේ ඒ ආකාරයටය. මෙහි වඩාත්ම සැලකිය යුතු කාරණය වන්නේ 13 වන සංශෝධනයට අනුවම රජයේ ඉඩම් සහමුලින්ම අයත් වන්නේ මධ්‍යම ආණ්‌ඩුවට බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබීමයි. උතුරු පළාත් සභාව දිවුරුම් දීමට ඔන්න මෙන්න තියා තිබියදී අහඹු සිද්ධියක්‌ ලෙස මෙවැනි තීන්දුවක්‌ ප්‍රකාශයට පත්වීම සැබවින්ම දෛවෝපගතය. උතුරේ මහ ඇමැති ධුරයට පත්වීමට නියමිත සී. වී. විග්නේශ්වරන් මහතාද මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිශ්චයකාරයකු වීමද දෛවෝපගත සංසිද්ධියක්‌ බව කිව හැක.

සී. ඒ. චන්ද්‍රප්‍රේම - වම් ඉවුර
http://www.divaina.com/2013/09/30/feature01.html

සබැඳි ලිපි -
[
රජයේ ඉඩම් අයිතිය පළාත් සභාවලට නෑ - ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5504.htmlපලාත් සභාවලට ඉඩම් බලතල නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_26.html
]

0 comments: