Pages

Sunday, September 29, 2013

එජාපයත්, ජවිපෙත් හාන්සි කර සන්ධානය හිරිවැට්‌ටු ඡන්ද ප්‍රතිඵල | සීරුවෙන් සිටින්නැයි දකුණට කියන විග්නේශ්වරන්!


උතුරේ ඡන්ද ප්‍රතිඵලය ආණ්‌ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත හා දේශපාලන සදාචාරය පිළිබඳ සාක්‌ෂියක්‌ ලෙස මේ වන විටත් සමහරු ඉදිරිපත් කරති. තවත් සමහරුන්ගේ මතය වී ඇත්තේ මෙම ප්‍රතිඵලය ආණ්‌ඩුවට පමණක්‌ නොව දකුණේ ජනතාවටද පාඩම් එකක්‌ නොව කීපයක්‌ම උගන්වා තිබෙන බවය. ඇත්තටම උතුරේ ජනතාව විසින් දෙන ලද තීන්දුව අප දැඩි අවධානයකින් විමසා බැලිය යුත්තකි. මේ ප්‍රතිඵලය උඩ දමමින් සිහින මවන දෙමළ ඊළාම්වාදීන්ට හෝ ජාත්‍යන්තරයේ හොර ගල් අහුලන මානව හිතවාදී වෙස්‌ මුහුණු කාරයන්ට හෝ මෙම ප්‍රතිඵලය දේශපාලන තුරුම්පුවක්‌ ලෙස භාවිත කිරීමට කිසිම අවස්‌ථාවක්‌ නොදිය යුතු බවද කිව යුතුය.

ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්‍ෂ පාලනයේ සංවර්ධන ක්‍රියාවලියේ අර්ථවත් ප්‍රතිපාදන උතුරට ලැබිණි. උතුරු වසන්තය හුදු දේශපාලන පාඩමක්‌ ලෙස අර්ථ දැක්‌වීමට කිසිවෙකුට නොහැකිය. ප්‍රභාකරන්ගේ කුරිරු යුද්ධය විසින් වනසන ලද භෞතික සම්පත් රැසක්‌ම ආණ්‌ඩුව විසින් යළිත් උතුරේ ජනතාවට ලබා දී ඇත. මංමාවත් ගොඩනැඟිලි සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් දුම්රිය මාර්ග යනාදී සාධනීය අංග රැසක්‌ ඒ උතුරු වසන්ත තෑගි මල්ලේ තිබුණි. එහෙත් ආණ්‌ඩුවට උතුරේ ජනතාව දැක්‌වූ ප්‍රතිචාරය කුමක්‌ද?

අප ඒ ප්‍රශ්නයට නිවැරැදිව පිළිතුරු ලබා නොගත හොත් යළිත් වන්නේ මහා විපතකි. උතුරේ ඡන්ද ප්‍රතිඵලය තිස්‌ වසරක්‌ තිස්‌සේ පීඩනයට පත්ව, සිය ඉරණම පිළිබඳ කිසිදු විශ්වාසයකින් තොරව ජීවත් වූ ජනතාවගේ හෘදය සාක්‌ෂිය බව අප තේරුම් ගත යුතුය. මේ ආණ්‌ඩුව උතුරට දුන් භෞතික ජීවිතයට වඩා වෙනස්‌ ආධ්‍යාත්මික ජීවිතයක්‌ උතුරේ ජනතාව අපේක්‍ෂා කරන බව ඒ සමස්‌ත ප්‍රතිඵලයේ අරුතය.

සැප්තැම්බර් 21 වැනිදා උතුරේ ජනතාව එක්‌ හඬින් කියා සිටියේ අපේ ජීවිත වෙනස්‌ කිරීමේ යතුර දෙමළ සන්ධානයට ලබා දී තිබෙන බව නොවේද? දකුණේ අපට විග්නේශ්වරන් පෙනුණේ කොළඹින් ආනයනය කළ මධ්‍යම පාන්තික හාන්සිපුටු දේශපාලනඥයෙක්‌ ලෙසය. එහෙත් උතුරේ ජනතාවට විග්නේශ්වරන් යනු නළලේ අළු ගා ගත් වේට්‌ටිය අඳින දෙමළ බුද්ධිමත් නායකයෙකි. දෙමළ නායකයන් අතර සිටින ආනන්ද සංගරීට වඩා විශ්වාසවන්ත නායකයෙකි. කිළිනොච්චියට තරග කළ ආනන්ද සංගරීට ඡන්ද 2896 ක්‌ ලැබෙද්දී යාපනයට තරග කළ විග්නේශ්වරන්ට ඡන්ද 132,225 ක්‌ ලැබිණි. දෙමළ සන්ධානයෙන් තරග කළත් දෙමළ ජනතාව ඔහුට ලබා දුන්නේ හය වැනි ස්‌ථානයයි.

මේ හැම දෙයක්‌ම ඉතා නිහඬව සිදුවී තිබේ. ඒ හැම ක්‍රියාවකම අප තේරුම් ගත යුතු දෙයක්‌ද තිබේ. 1959 ප්‍රකට සිංහල දෙමළ කෝලහලයේදී මෙන්ම 1983 අලඡ්ජී දෙමළ සංහාරය දියත් වූ කළු ජූලියේ තුවාලද දෙමළ ජන සිත් තුළ තවම සුවපත් වී නැති බව අප තේරුම් ගත යුතුය.

ඇත්ත වශයෙන්ම ප්‍රභාකරන් නැඟ සිටියේ ඒ ඓතිහාසික තුවාලවලට එකම ප්‍රතිකාරය ඊළම බව ජනතාවට ඒත්තු ගන්වමින්ය. එහෙත් උතුරේ දෙමළ ජනතාව ප්‍රභාකරන්ට අවනත වූයේ තුවක්‌කුවට බියෙන් බවද, අප මතක තබා ගත යුතුය. ප්‍රභාකරන් සිය හමුදාව ශක්‌තිමත් කළේ ජනතාවගේ දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන යමින් වුවද කාලයත් සමග ඔවුහු සයනයිඩ් කරලේ විප්ලවයට ආදරය කරන්නට ද වූහ. ඒ කාලය තුළ ප්‍රභාකරන් තමන්ට තර්ජනයක්‌ විය හැකි දෙමළ නායකයන් සියල්ලන්ම ඝාතනය කරවීය.

අද දෙමළ සන්ධානයේ නායකයන් වී සිටින කිසිවෙක්‌ එදා ප්‍රභාකරන්ට විරුද්ධව වචනයක්‌ හෝ කතා නොකළහ. ප්‍රභාකරන්ට විරුද්ධ වී නම් ඒ ආනන්ද සංගරී වැනි සුළුපිරිසකි. දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් වන්නියට කැඳවා උපදෙස්‌ දෙන ලද්දේත් තමිල් සෙල්වම් විසිනි. තිස්‌ අවුරුදු යුද සමය තුළ මේ නායකයන් වැඩිපුරම සිටියේ කොළඹ හෝ පිටරටවලය. ඔවුන්ගේ දරුවෝද ප්‍රභාකරන්ට අසු නොවූහ.

දෙමළ සන්ධාන නායකයන් යළි උතුරට පා තබන්නේ රාජපක්‍ෂවරුන් විසින් ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීමෙන්ද පසුවය. ප්‍රභාකරන් නිහඬ කර උතුරේ ජනතාවට නිදහස ලබා දුන් රාජපක්‍ෂවරුන්ට ඒ ජනතාව දිනා ගැනීමට නොහැකි වූ බව උතුරේ මේ ප්‍රතිඵලයේ සමුදයාර්ථය බව අප තේරුම් ගත යුතුය.

ජනාධිපති මහින්ද උතුරට ගිය අවස්‌ථාවල දෙමළ ජනතාවගේ මුහුණුවල පිපුණේ අව්‍යාජ සිනහවකි. ඔවුන් මැදින් ඇවිද යන ඔවුන්ගේ බසින් අමතන මේ සිංහල රාජ්‍ය නායකයා ගැන ඔවුහු අවංකවම සතුටු වූහ. එහෙත් ඔහුගෙන් අපේක්‍ෂා කළ ජීවිතය පෙරළා තමන්ට නොලැබුණු බව සහතික කළේ යළිත් පැරැණි දෙමළ සන්ධානය පිළිබඳ බලාපොරොත්තුවක්‌ තබමින්ය. දෙමළ නායකයන් කොළඹින් විග්නේශ්වරන් උතුරට ගෙන යන්නේත් ඔන්න අලුත් නායකයෙක්‌ ඇවිල්ලා යන්න තහවුරු කිරීමටය. එසේම ඔහු දේශපාලනයෙන් කුජීත වූ අයෙක්‌ද නොවූහ. උතුරේ ජනතාවගේ අපේක්‍ෂාවන් දැල්වීමට ඔහු ව්‍යවස්‌ථාව තුළ තිබෙන ප්‍රතිපාදන අනුව කටයුතු කරන බවද දැනටමත් ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබඳව හෙට දවසේ අපට කතා කළ හැකිය.

දකුණට සාපේක්‍ෂව බලන විට උතුරේ ඡන්දය දෙමළ ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන්ම දියත් වූවක්‌ බවද අපට පිළිගැනීමට සිදු වේ. දකුණේ මෙන් දේශපාලන ඥතියෝද වෙනත් වෙනත් ජාවාරම්කරුවෝද ඒ දේශපාලන ලැයිස්‌තුවලින් මතු නොවූහ. දකුණේ පළාත් සභා වරිග සභා බවට පත්ව තිබෙන බව ජ. වි. පෙ. නිතර කියයි. එසේම උතුරේ ජනතාවට දේශපාලන දන්සැල් හෝ වෙනත් මානසික හෝ භෞතික අල්ලස්‌ නොලැබුණු බවද අප තේරුම් ගත යුතුය.

උතුරේ ජනතාව අපේක්‍ෂා කළ මහින්ද රාජපක්‍ෂගෙන් ඔවුන්ට නොලැබුණ දේ විග්නේශ්වරන්ගෙන් ලබා ගත හැකිද? මගේ අදහස වන්නේ අද තිබෙන අතිශය සියුම් සංවේදීම ප්‍රශ්නය එයයි. විග්නේශ්වරන්ලාත් රාජපක්‍ෂවරුනුත් අතර ඇතිවන සහනසීලී සුහද පිළිවෙතකින් එම අපේක්‍ෂාවන් ඉටුකර ගත යුතුය. උතුර යනු දෙමළ නිජබිමක්‌ නොව මේ රටේ ඒකීය රාජ්‍යයේ පළාතක්‌ බව තවමත් සමහර දෙමළ නායකයෝ නොපිළිගනිති. විග්නේශ්වරන් දැනටමත් කියා තිබෙන පරිදි ව්‍යවස්‌ථානුකූලව ක්‍රියාකරමින් දකුණේ ජනතා මනස තුළට ඇතුළුකර තිබෙන විචිකිච්ඡාවන් දුරලීම මෙහිදී ඉතා වැදගත්ය.

දකුණේ ජනතාව උතුර දෙස සැක මුසුව බලන්නා සේම උතුරේ ජනතාවද දකුණ දෙස සැක මුසුව බලන බව ඇත්තය. ඒ දෙතැන්හිම වරද ජාතිවාදය වපුරූ දේශපාලනඥයන්ගේය. එසේම තමන්ට හිසරදයක්‌ හැදුනත් තවමත් සම්බන්ධන්ලා දුවගෙන යන්නේ ඉන්දියාවට හා බටහිරටය. ඔවුන්ගේ දේශපාලන භාවිතය තුළ ඔවුන්ගේ මනස නිතරම දකුණට හා රටට විරුද්ධව බව පෙනුණු දෙයකි. විග්නේශ්වරන් පටන්ගත යුත්තේම ඒ ඇදය දිග හරිමින්ය. තම දෙමළ ජනතාව තුළ තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්‍ෂාවන් මිස වෙනම බෙදී වෙන්වී ජීවත්වීමේ සිහිනයක්‌ නොවන බව තේරුම් ගැනීම ද මෙහිදී ඉතා වැදගත් වනු ඇත. දෙමළ ඩයස්‌ පෝරාවේ හා බටහිරයන්ගේ ඊළාම් ලණුවලින් ප්‍රවේශම් වීමටද ඔහු වගබලා ගත යුතුය. ඒ කටයුත්ත හරියටම ඉටු වුවහොත් උතුරේ තරුණයන්ට යළිත් තුවක්‌කු සංස්‌කෘතිය තෝරා ගැනීමට අවශ්‍ය වන්නේද නැත. ප්‍රභාකරන්ගේ ෆැසිස්‌ට්‌වාදයේ පීඩනයෙන් ජීවිතයම වධයක්‌ වූ ඒ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී මාවත ඉල්ලා සිටින බව මේ ඡන්ද ප්‍රතිඵලය තිරසරව කියා සිටියි.

උතුරේ ඡන්ද ප්‍රතිඵලය පිළිබඳ දැනටමත් ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව දක්‌වන උනන්දුව ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන් ප්‍රකාශ වී තිබේ. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා ඡේන් සැකී නමින් සඳහන් එයින් ඉල්ලා ඇත්තේ රජය උතුරේ පාලනයට සහාය දිය යුතු බවය. ඇත්තටම ඇමරිකාවට එබඳු ප්‍රකාශයක්‌ කිරීමේ වුවමනාව කුමක්‌ද? මෙයින් පෙනෙන්නේ ඇමරිකාව වැනි රටවල් තවමත් උතුර ගැන දක්‌වන උනන්දුවත් ඔවුන්ගේ අධිපති මානසිකත්වයත් මිස අන් දෙයක්‌ නොවේ. ඇමරිකාවේ මෙබඳු ප්‍රකාශ මේ ආණ්‌ඩුවේ විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක මෙන්ම දිනේෂ් ගුණවර්ධන වැනි ඇමැතිවරුන් අවුස්‌සන සුළුලුය හැකිය.

http://www.divaina.com/2013/09/29/politics03.html

සබැඳි ලිපි -
[
විග්නේෂ්වරන්, උතුර සහ ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_29.htmlඋතුරේ ඡන්ද ප්‍රතිඵලය නිවැරැදිව කියවිය යුතුයි!http://denethharinna.blogspot.com/2013/09/blog-post_7045.html(උතුරේ) මැතිවරණ ප්‍රතිඵල කියවීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1455.htmlකොළඹ ආණ්‌ඩුව උතුරෙන් පලවා හැරීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9566.html
විග්නේෂ්වරන් එල්ලුන ස්‌වයංපාලන හොල්මන! - TNA උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංෂිප්තය
http://denethharinna.blogspot.com/2013/09/blog-post_11.html
ඊළාම් විස කැවූ දෙමළ සන්ධාන මැතිවරණ ප්‍රකාශනයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_10.htmlටී. එන්. ඒ. ප්‍රකාශනයට පක්ෂ බහුතරයක්‌ විරුද්ධයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9.htmlඅප ඔවුන් හමුවිය යුත්තේ නන්දිකඩාල් කලපුවේදීමද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_5902.htmlද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක්‌ ගොඩනැගීමේ අරමුණයි - අනුර කුමාර දිසානායකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.htmlඉඩම් - පොලිස්‌ - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම ස්‌වයං පාලනයක්‌ ටීඑන්ඒ ඉල්ලයි. "ෆෙඩරල් ක්‍රමය යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධත් කළ යුතුයි"http://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.html
]

0 comments: