Pages

Tuesday, September 24, 2013

පළාත් සභා ක්‍රමය වෙනස්‌ කළ යුතු බව මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලි වෙනවා - මඑපෙ

ප්‍රායෝගික ඌනතා සහ දෝෂවලින් පිරී ඇති මෙම පළාත් සභා ක්‍රමය වෙනස්‌ කළ යුතු බව පශ්චාත් මැතිවරණ ප්‍රතිඵල අධ්‍යයනය කිරීමෙන් පෙනී යන බව මහජන එක්‌සත් පෙරමුණ සඳහන් කරයි.

එහෙයින් මෙම පළාත් සභා ක්‍රමය වෙනස්‌ කොට ජනතාවට ප්‍රතිඵලදායි හා රටේ සංවර්ධනයට ඉවහල් වන දිස්‌ත්‍රික්‌කය පදනම් වූ මැතිවරණ ක්‍රමයකට යායුතු බව තම පක්‌ෂය නැවත වරක්‌ අවධාරණය කරන බව එම පක්‌ෂයේ ප්‍රධාන ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කරුණාතිලක දිසානායක මහතා සඳහන් කරයි.

මෙවර පළාත් සභා මැතිවරණයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය මධ්‍යම සහ වයඹ පළාත් සභා දෙකෙහි විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලැබීමෙන් පෙන්නුම් කර ඇත්තේ රජය දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ සහ මාතෘභූමිය බේරා ගැනීමේ ප්‍රතිපත්ති පොදු මහජනතාව අනුමත කර ඇති බව සහ ජනාධිපතිතුමා හා රජය කෙරෙහි තබන ලද විශ්වාසය තහවුරු කිරීමක්‌ බවත් හෙතෙම පවසයි. 

උතුරේ ආයුධ ගත් පිරිස ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය තබමින් මැතිවරණ ප්‍රවාහයට එක්‌ව ඇති බව මෙම මැතිවරණයෙන් විද්‍යමාන වන බවත් ඒකීය රාජ්‍ය තුළ සාමයෙන් හා සංහිඳියාවෙන් යුතුව කටයුතු කිරීමට උතුරේ ජනතාව තුළ ඇති කැමැත්ත හා අවශ්‍යතාවය ඉහළ ප්‍රතිශතය ඡන්ද ප්‍රකාශ කිරීම තුළින් පෙන්වා දී ඇති බවත් පැවසූ කරුණාතිලක දිසානායක මහතා, ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරාජය කරමින් දේශපාලන හා ආර්ථික ස්‌ථාවරත්වය ඉදිරියට ගෙන යැමට මෙම පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල රජයට ශක්‌තිය වී ඇති බවත් කීවේය.

මාතෘ භූමියට එරෙහිව කටයුතු කිරීම් පිළිබඳවත් එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රතිපත්තියක්‌ නැති අවලාදවලට පිළිතුරක්‌ මහජනතාව මෙම මැතිවරණයේදී ප්‍රකාශ කර ඇතැයිද එම අදහස්‌වලට අනුගතවූ පක්‌ෂද එම ෙ€දවාචකයට ගොදුරුව ඇතැයි හෙතෙම පැවැසීය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කරවීමට හා එහි සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යැමට පක්‌ෂ භේදයෙන් තොරව පොදු මහජනතාව දී ඇති සහයෝගයට මහජන එක්‌සත් පෙරමුණේ අප ප්‍රණාමය පුදකර සිටින බවත් කරුණාතිලක දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

සිරිමන්ත රත්නසේකර 
http://www.divaina.com/2013/09/24/news19.html

0 comments: