Pages

Thursday, September 26, 2013

මානව හිමිකම් භාරකරුවන් ලෙස පෙනී සිටින රටවල් සංවර්ධනය වන රටවල්වල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම කනගාටුවක්‌ ජනපති එ.ජා. මහ මණ්‌ඩලය හමුවේ කියයි

මානව හිමිකම් භාරකරුවන් ලෙස පෙනීසිටින ඇතැම් රටවල් සංවර්ධනය වන රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමේ ප්‍රවනතාවක්‌ අන්තර්ජාතික ක්‍ෂේත්‍රයේ දක්‌නට ලැබීම කනස්‌සල්ලට හේතුවක්‌ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයේ 68 වැනි සැසිය අමතා ප්‍රකාශ කළේය.

මෙහි ප්‍රතිඵල වශයෙන් ප්‍රචණ්‌ඩත්වයට හා ව්‍යාකූලත්වයෙන් සලකුණු වූ බලහත්කාරී දේශපාලන වෙනස්‌කම්වලට තුඩුදෙන කැළැඹීම් අපි ලොවපුරා දිගටම දකින්නෙමුයි යෑයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවර එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේ පැවැත්වෙන මහා මණ්‌ඩල 68 වන සැසිවාරය පෙරේදා (24දා) ඇමැතූ ජනාධිපතිවරයා රටවල් මත පනවා ඇති තහංචි සහ ආර්ථික සම්බාධක වැනි ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග කනස්‌සල්ල උපදවන බවත් පැවැසීය.

මෙවැනි පියවර සුවිශේෂයෙන් ඉලක්‌ක කරනු ලැබුවනට පමණක්‌ නොව කිසිදු සාධාරණයක්‌ නැතිව මනුෂ්‍ය වර්ගයාගෙන් විශාල පිරිසකට දුක්‌ පීඩා පමුණුවන බවත්, ආර්ථික දුෂ්කරතා ජය ගැනීමට සහ ආර්ථික ඉඩප්‍රස්‌ථා පූර්ණව අත්කර ගැනීමට දරන උත්සාහය වෙනුවෙන් තමා නැවත වරක්‌ කියුබානු ජනතාව සමග සහයෝගයෙන් නැගී සිටින බවත් සඳහන් කළේය.

දශක තුනක්‌ පුරා පැවැති බෙදුම්වාදී ත්‍රස්‌තවාදය අවසන් කොට සංවර්ධනය හා ප්‍රතිසන්ධානය සමග බැඳුණු ගැටලු ආමන්ත්‍රණය කිරීමට ශ්‍රී ලංකාව සමත්වීම ගැන තමා ආඩම්බර වන බවද ජනාධිපතිවරයා පැවසීය.

උතුරු පළාතේ ජනතාවට පළාත් සභාව සඳහා ස්‌වකීය නියෝජිතයන් තෝරා ගැනීමට තුන් දිනකට පෙර පැවැති මැතිවරණයේදී ලැබුණු අවස්‌ථාව මේ සම්බන්ධ වැදගත් සිදුවීමක්‌ බවත් සියවස්‌ කාලක පමණ ඇවෑමෙන් එය කරන්නට ලැබීම තමනට නීත්‍යනුකූල තෘප්තියක්‌ ගෙන දෙන කරුණක්‌ බවත් ජනාධිපතිවරයා කීවේය.

දේශපාලන බලගැන්වීම සහ ප්‍රතිසන්ධානය විෂයෙහි සලකන කල මේ පියවරෙහි තීරණාත්මක වැදගත්කම ගැන සැකයක්‌ තිබිය නොහැකි බවත් ශ්‍රී ලංකා වාසී සමස්‌ත ජනතාවගේ යහපත උදෙසා මේ ප්‍රයත්නය සහ ඒවායේ සාර්ථකත්වයට සහයවීම අන්තර්ජාතික ප්‍රජාවගේ වගකීම බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

පැහැදිලිව දක්‌නට ඇති ප්‍රගතිය සහ එක්‌සත් ජාතීන්ගේ යාන්ත්‍රණය සමග ස්‌ථිරසාර සහභාගිත්වය නොසලකා ශ්‍රී ලංකාව කෙරෙහි දක්‌වන අසමානුපාතික අවධානය ගැනත් බහුපාර්ශ්වික රාමුව මගින් කෙරෙන අසමාන සැලකීම ගැනත් බොහෝ රටවල් මවිතයට පත්ව තිබෙන බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා මේ විරාමයක්‌ නැති හඹා යැමේ පදනම ද ප්‍රශ්න කරන බවත්, භාවිත ප්‍රමිතීන්ගේ සුසංගභාව සහතික කරනුවස්‌ එක්‌සත් ජාතීන්ගේ ක්‍රමය නිර්භයව ක්‍රියා කළ යුතු බව තමාගේ පිළිගැනීම බවත් කීවේය.

එසේ කළ විට ස්‌වකීය න්‍යාය පත්‍ර සාක්‌ෂාත් කරගැනීමට උනන්දුවන පාර්ශ්වයන් විසින් එක්‌සත් ජාතීන්ගේ ක්‍රමය අයුතු ලෙස භාවිත කරන බවට පවසන සැකය සඳහා ඇති ඉඩකඩ නැතිව යනු ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

http://www.divaina.com/2013/09/26/news03.html

0 comments: