Pages

Monday, September 23, 2013

අනුරාධපුර යුගයේ වගාව සඳහා ජලය සැපයුවේ පරාක්‍රම සමුද්‍රය මෙන් 50 ගුණයක්‌ විශාල ජලාශයකින්

මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය

'අනුරාධපුර යුගය වන විට වැව් නිර්මාණය වුණේ කඳු දෙකක්‌ අතරින් වසර දහස්‌ ගණනක්‌ පුරා ජලය ගලාගිය නිම්නයක්‌ හරස්‌ කරලයි. මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, මාදුරුඔය.... වැනි වැව් එයට උදාහරණ සපයනවා. ඒ වැව් වල බැම්ම කිලෝමීටරයක්‌ දෙකක්‌ පමණ කෙටි දුරයි තිබෙන්නේ. නමුත් එවැනි ස්‌වාභාවික නිම්නයකින් තොරව පළමු වතාවට වැවක්‌ පිහිටුවන්නේ පරාක්‍රම සමුද්‍රයයි. පරාක්‍රම සමුද්‍රය බිහිවෙන 'සුදුකන්ද' පාමුල තිබෙන අඹන් ගඟ නිම්නය තමයි අපි එතෙක්‌ දකින 'වැව් තාක්‍ෂණය' අනුව හරස්‌ කළ යුතු නිම්නය. නමුත් පරාක්‍රමබාහු රජතුමා එහෙම කරන්නේ නැහැ. එතුමා නිම්නයක සහයෝගය ලබන්නේ නැතිව, (අද අපේ මිමි වලට අනුව) මුහුදු මට්‌ටමෙන් අඩි 200 සමෝච්ච රේඛාව යා වෙන විදිහට ස්‌වභාවිකව පිහිටි උස්‌ බිම් යා කරමින් ඉතා දිගු බැම්මක්‌ බඳිනවා. මෙය තවත් එක්‌ 'වැවක්‌' නොවී 'සමුද්‍රයක්‌' ලෙසින් දැක්‌වෙන්නත් මේ දිගු බැමි අතර එකතුවූ ජල තලය හේතුවෙන්න ඇති. අද පරාක්‍රම සමුද්‍රයේ ධාරිතාව අක්‌කර අඩි 110000 යි. මින්නේරි වැව අක්‌කර අඩි 95,000 යි. එතකොට අක්‌කර අඩි 15,000 ක තරම් සුළු ධාරිතා වෙනසක්‌ තමයි පරාක්‍රම සමුද්‍රයේ අද තිබෙන්නේ. ඉතින් ඒ තරම් සුළු වෙනසකට 'වැවක්‌' කියන සංකල්පයෙන් මිදී 'සමුද්‍රයක්‌' කියන නම තැබෙයිද? මෙය සමුද්‍රයක්‌ වන්නේ සැබැවින්ම එය එදා තිබූ වැව්වලට වඩා විශාල ජලතලයක්‌ සහිතවූ නිසයි.

ඉන්දිකගේ විග්‍රහයට පදනමක්‌ ඇති බව පැහැදිලිය. එහෙත් මේ සා ජලස්‌කන්ධයක්‌ රඳවාගෙන තිබූ ඔහු කියන පරාක්‍රම සමුද්‍රයෙන් වගාව සඳහා ජලය ලබා නොගත්තේ යෑයි ඔහුගේ මතය මට මහත් පැනයක්‌ විය.

'පරාක්‍රමබාහු රජතුමා සිය මාලිගා භූමිය තනන්නේ මුහුදු මට්‌ටමෙන් අඩි 200 මට්‌ටමේ සිට පහතටයි. මගේ මතයේ හැටියට පරාක්‍රම සමුද්‍රය ඉදිවීමේ මූලික අරමුණුවලින් එකක්‌ වන්නේ මාලිගා භූමිය ඇතුළු නගරයට ජලය සපයාගැනීමයි. පරාක්‍රම සමුද්‍රයට එකතුවෙන ජලය ඇළ මාර්ග ඔස්‌සේ නගරය තුළට රැගෙනවිත් නගරය දූපත් ආකාරයට පවත්වාගෙන ගියාය කියන්න සාධක සියල්ල මම පෙන්වනවා. නිකමට හිතන්න අද අපට පුළුවන්ද පරාක්‍රමබාහු මාලිගා භූමියේ දවල් කාලයට පැයක්‌ එළිමහනේ රැඳිලා ඉන්න. මේ වගේ කර්කාශ්ඨ භූමියක පරාක්‍රමබාහු වැනි රජ කෙනෙක්‌ මාලිගාවක්‌ තනයිද? එදා මේ කර්කශ බව සන්සිඳවලා සුන්දර මාලිගා භූමියක්‌ පවත්වාගෙන ගියේ, නඩත්තු වුණේ නගරය පරාක්‍රම සමුද්‍රයේ ජලයෙන් පුරවලා, එය දූපත් රාජධානියක්‌ ලෙසින් පවත්වාගෙන යැමෙනුයි. නගරයේ ඉදිකිරීම් සලකා බැලු විට මෙය ආයාසයකින් තොරව හඳුනාගත හැකි කරුණක්‌. අද අක්‍රියව ඇති නෙළුම් පොකුණ වැනි පොකුණු සක්‍රිය වුණේ මෙලෙස ජලය රඳවාගැනීමෙන් කියන එක මම භෞතික විද්‍යාත්මක සාධක සහිතව පෙන්වලා තිබෙනවා. ඒ වගේම පරාක්‍රම සමුද්‍රයෙන් වගාව සඳහා ජලය නිකුත් නොකරපු තවත් ප්‍රධාන හේතුවක්‌ වුණේ මෙය නාවික පරිවහනය සඳහා සක්‍රියව තබාගැනීමටයි. ඒ වගේම පරාක්‍රම සමුද්‍රයේ පැරණි සොරොව් දෙස විචාරශීලීව බැලුවහම පෙනෙන කරුණක්‌ තමයි ඒ සොරොව් වල පතුළ පිහිටලා තිබෙන්නේ වැවේ පතුළට වඩා සැලකිය යුතු ඉහළකින් කියන එක. වගාව සඳහා යොදාගන්නා වැවක නම් සොරොව්වේ පතුළ වැව් පතුළට සමාන්තරව තිබෙනවා අවසාන ජලබිඳත් වගාව වෙනුවෙන් යොදාගත හැකි විදිහට. නමුත් පරාක්‍රම සමුද්‍රයේ එසේ නොවෙන්නේ ඉහත කාරණා පෙරදැරිව එය ඉදිකළ නිසා බව දැන් පැහැදිලි ඇති නේද?'

ඉන්දික විසින් දක්‌වන අවධානයට යොමුවිය යුතු කරුණක්‌ වන්නේ පරාක්‍රම සමුද්‍රයට රැස්‌ව නගරයට ජවයක්‌ වෙමින් ගලාගිය ජලකඳ සහ අතිරේක වැසි ජලය සහමුලින්ම රඳවාගත් පරාක්‍රම සමුද්‍රය මෙන් 50 ගුණයක්‌ විශාල ජලාශයක්‌ නගරයට පහළින් පිහිටා තිබුණාය යන්නය.

අද පරාක්‍රම සමුද්‍රයේ ජලයෙන් වැවෙන අක්‌කර 35,000 ක වගාබිම් ප්‍රමාණය එදා පෙරදිග ධාන්‍යාගාරය බවට පත්ව පිටරටටද සහල් යෑවීම සඳහා ප්‍රමාණවත් වීද? එසේනම් එදා මෙයට වඩා අතිශයින් විශාල අස්‌වැන්නක්‌ ලැබිය යුත්තේමය. ඒ වගාව සඳහා ජලය සැපයුවේ පරාක්‍රම සමුද්‍රය මෙන් 50 ගුණයක්‌ විශාල අදාළ ජලාශය බව ඔහු පවසයි. එකී ජලාශය පිහිටා තිබූ ඉසව් සහ එම පිහිටීමේ වත්මන් ශේෂයන් මේවා යෑයිද ඔහු පෙන්වාදෙයි. එදා අහසින් වැටුණු සෑම වැසි බිඳක්‌ම රඳවාගත්තේද, එමගින් යල, මහ, මැද ලෙසින් කන්න කිහිපයක්‌ පහසුවෙන්ම වගාකිරීමට අවස්‌ථාව සලසා දුන්නේද, නගරයට ඉතා ප්‍රබල ජල දුර්ගයක්‌ ලෙසින් ක්‍රියා කළේද, එම ආරක්‍ෂක ස්‌ථාවරත්වය සහ ආර්ථික ස්‌ථාවරත්වය මතින් පරාක්‍රමබාහු රජතුමාගේ රාජ තේජස ආසියාව සිසාරා පැතිර යැමට හේතුවූයේද මේ වාරි සැලැස්‌ම සහ නගර නිර්මාණය බවට ඉන්දික නුවන් මානවඩු පවසයි.

එදා ඉතිහාස ලියෑවිලිවල එන පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකළ පරාක්‍රම සමුද්‍රය, පරාක්‍රම සාගරය සහ පරාක්‍රම තටාකය නම් ජලාශ තුනෙන් අනෙක්‌ ජලාශ දෙකට සිදුවූයේ කුමක්‌දැයි සොයාගෙන ගියහොත් ඉන්දික විසින් පවසන මේ 50 ගුණයක්‌ විශාල මහා ජලාශය හිතළුවක්‌ නොවීමට බොහෝ ඉඩකඩ ඇත.

එසේම අද හැම වැසි සමයකම ජලයෙන් යටවන සෝමාවතිය එදා එම පීඩාවට ලක්‌නොවීමට පැහැදිලි හේතුවක්‌ද මේ විග්‍රහයේම සඳහන්ය. මේ සඳහා කඩිනම් විසඳුමක්‌ සොයා යන රජයට, මහවැලි ගඟ ගැඹුරු කිරීම ආදී ඉක්‌මන් පියවර වෙත යැමට ප්‍රථම මේ ඉතිහාසය විචාරීමද අගනේය.

ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2013/09/22/feature03.html

මුල් ලිපිය -
[
පැරණි පරාක්‍රම සමුද්‍රය, දැන් මෙන් 3 ගුණයක් විශාලයි.පරාක්‍රම සමුද්‍රය මෙන් 50 ගුණයක්‌ විශාල ජලාශයක්‌ එයට පහළින් තිබුනා.http://denethharinna.blogspot.com/2013/09/50.html
]

0 comments: