Pages

Monday, September 23, 2013

මධ්‍යම වයඹ විශිෂ්ට ජය සන්ධානයට, උතුර දෙමළ ජාතික සන්ධානයට

වයඹ, මධ්‍යම සහ උතුරු පළාත් සභා තුන වෙනුවෙන් පෙරේදා පැවැති මැතිවරණයෙන් මධ්‍යම හා වයඹ පළාත් සභා දෙක එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනු ලැබීය.

එමෙන්ම පළාත් සභා ක්‍රමය ඇති කිරීමෙන් පසුව ප්‍රථම වරට පැවැති උතුරු පළාත් සභා මැතිවරණය හතරෙන් තුනකට ආසන්න බලයකින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට දෙමළ ජාතික සන්ධානය (ඉලංකෙයි තමිල් අරසු කච්චි) සමත් වී තිබේ.

පළාත් සභා ඉතිහාසයේ එක පක්‍ෂයක්‌ මෙලෙස අති බහුතර බලයක්‌ ලබාගත් හා වැඩිම ඡන්දදායක ප්‍රතිශතයක්‌ ඡන්දය ප්‍රකාශ කළ ප්‍රථම අවස්‌ථාව මෙවර උතුරු පළාත් සභාවෙන් වාර්තා වෙයි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය පළාත් තුනෙන්ම ඡන්ද 1504273 ක්‌ ලබා මන්ත්‍රී ධුර 77 ක්‌ හිමිකරගෙන ඇත. එක්‌සත් ජාතික පක්‍ෂය ඡන්ද 590888 ක්‌ ලබා ගනිමින් මන්ත්‍රී ධුර 28 ක්‌ හිමිකරගෙන ඇති අතර දෙමළ ජාතික සන්ධානය (ටී එන් ඒ) උතුරට පමණක්‌ තරග කොට ඡන්ද 353595 ක්‌ ලබා මන්ත්‍රී ධුර 30 ක්‌ හිමිකරගෙන ඇත. මීට මාස පහකට පමණ පෙර ලියාපදිංචිය ලැබූ සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය ඡන්ද 91523 ක්‌ හිමිකරගෙන මන්ත්‍රී ධුර 15 ක්‌ ලබාගැනීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ද මෙවර පළාත් තුනෙන්ම ඡන්ද 52409 ක්‌ ලබා මන්ත්‍රීධුර 4 ක්‌ හිමිකරගෙන ඇත.

ජනතා විමුක්‌ති පෙරමුණ පසුගිය පළාත් සභා මැතිවරණයේදී මෙන් මෙවර ද එක මන්ත්‍රී ධුරයක්‌ හිමිකර ගත් නමුත් පළාත් දෙකින් ලබාගත් ඡන්ද ප්‍රමාණයේ මෙවර සුළු අඩුවීමක්‌ සිදුව ඇත. එමෙන්ම තෙවැනි බලවේගය ලෙස සිටි එම පක්‍ෂය මධ්‍යම පළාත් සභාවේ හත්වැනි ස්‌ථානයටත් වයඹ පළාත් සභාවේ පස්‌වැනි ස්‌ථානයටත් පහළට ගොස්‌ ඇති අතර ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, කඳුරට ජනතා පෙරමුණ එම පක්‍ෂයට වඩා ඉදිරියට පැමිණ ඇත.

මෙවර මහනුවර දිස්‌ත්‍රික්‌කයේ මහනුවර ආසනය එක්‌සත් ජාතික පක්‍ෂය විසින් ජය ලබා ඇති අතර මධ්‍යම හා වයඹ පළාත් දෙකෙහි සෙසු සියලුම ආසන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය විසින් ජයග්‍රහණය කර ඇත. නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ නුවරඑළිය මස්‌කෙළිය ආසනය වැඩි ඡන්ද ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයකින් එජාපයට වඩා සන්ධානය ඉදිරියෙන් සිටී. එමෙන්ම බොහෝ ආසන වැඩි ඡන්ද දසදහසකට වඩා පරතරයකින් එජාපයට වඩා සන්ධානය ඉදිරියෙන් සිටී.

පසුගිය මධ්‍යම පළාත් සභා මැතිවරණයට වඩා මෙවර එජනිසය ඡන්ද හැටදහසකින් පමණ වැඩි වී ඇති අතර එජාපය ඡන්ද අටදහසකින් පමණ අඩු වී තිබේ. එමෙන්ම එම පක්‍ෂයට පසුගිය මැතිවරණයට වඩා මෙවර මන්ත්‍රී ධුර හයක්‌ අඩු වී ඇත.

වයඹ පළාත් සභාවේ පසුගිය මැතිවරණයට වඩා මෙවර එජනිස ඡන්ද තිස්‌දහසකින් වැඩි වී ඇති නමුත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව තුනකින් අඩු වී ඇත. එජාපය ද ඡන්ද දහතුන් දහසකින් පමණ මෙවර අඩු වී ඇති අතර මන්ත්‍රී ධුර ප්‍රමාණය ද දෙකකින් අඩු වී තිබේ.

දෙමළ ජාතික සන්ධානය උතුරේ සියලුම ඡන්ද කොට්‌ඨාස විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනු ලැබීය. මනිපායි වැඩි ඡන්ද 25000 කින්ද, වව්නියා 25000 කින්ද, වඩුක්‌කෝඩෙයි 20000 කින් ද කිළිනොච්චිය වැඩි ඡන්ද තිස්‌දහසකින් ද නල්ලූර් වැඩි ඡන්ද 20000 කින්ද මන්නාරම වැඩි ඡන්ද 18000 කින්ද පේදුරුතඩුව, චාවකච්ෙච්රි වැඩි ඡන්ද 15000 කින් ද දෙමළ සන්ධානය ජය ගත් අතර සෑම ඡන්ද කොට්‌ඨාසයකම සියයට 80 කට වඩා ඡන්ද ලබාගැනීමට එම පක්‍ෂයට හැකි වී තිබේ.

ඡන්ද ප්‍රකාශ කිරීම ද වැඩිම ප්‍රමාණයක්‌ වන සියයට 75 ක්‌ වාර්තා වූයේ මන්නාරම දිස්‌ත්‍රික්‌කයෙනි. අඩුම ප්‍රතිශතය පුත්තලමෙන් වාර්තා වූ අතර එය සියයට 56 කි.

ඡන්ද විමසීම පසුගිය 21 වැනිදා සිදුකෙරුණු අතර ඡන්ද ගණන් කිරීම එදින සවස 6.00 ට පමණ සෑම දිස්‌ත්‍රික්‌කයකම ආරම්භ විය. ඒ අනුව මුල්ම ඡන්ද ප්‍රතිඵලය ලෙස මුලතිව් දිස්‌ත්‍රික්‌ තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රි 9.00 පමණ වන විට නිකුත් කිරීමට මැතිවරණ කාර්යාලය පියවර ගෙන තිබිණි. ඊයේ (22 වැනිදා) පෙරවරු 9.30 පමණ වන විට පළාත් තුනෙහි සමස්‌ත ඡන්ද ප්‍රතිඵල ද නිකුත් කර තිබිණි.

ඡන්ද විමසීමේ කාලය අතරතුර ප්‍රචණ්‌ඩ ක්‍රියා කිහිපයක්‌ වාර්තා වූ නමුත් ඒවා නිසි ලෙස ඡන්ද විමසීමට බාධා වූ බවට තහවුරු නොවූ බැවින් අදාළ ඡන්ද මධ්‍යස්‌ථානවල ඡන්ද ගණන් කිරීමට කොමසාරිස්‌වරයා පියවර ගනු ලැබීය.

රනිල් ධර්මසේන 
http://www.divaina.com/2013/09/23/news01.html
පසුබිම් වාර්තා - අනුර බාලසූරිය, චමින්ද සිල්වා, ලසිත දුමින්ද, සචිත්‍ර ඇල්වලගේ, ධම්මික සල්වතුර, මාතලේ - නිමල් ගුණතිලක, වව්නියාව - රතුගමගේ, නුවරඑළිය - ජයකොඩි රත්නායක, පුත්තලම - නලින් හෙන්දුරුගොඩ, මුලතිව් - ප්‍රසන්න ප්‍රදීප්, සීගිරිය - සරත් එරමිණිගම්මන, කුරුණෑගල - බණ්‌ඩාර, කටුපොත - දයානන්ද, නුවරඑළිය - ඩග්ලස්‌ නානායක්‌කාර, සිරිල් විමලසුරේන්ද්‍ර, තිවංක අබේරත්න, කුරුඳුවත්ත - ඒ. ජගත්, ගම්පොළ - සුරංග දිල්හාන්, බණ්‌ඩාර කොස්‌වත්ත - වික්‍රමරත්න ගමගේ

0 comments: