Pages

Tuesday, September 17, 2013

මහ ඇමැති අපේක්‍ෂක ධුරයට දෙමළ සන්ධානය දකුණේ අයෙක්‌ ඉදිරිපත් කිරීම යාපනයේ උගත් බුද්ධිමත් ජනතාවට කළ නිගාවක්‌ - ජනපති

උතුරු පළාත් සභාවේ මහ ඇමැති අපේක්‍ෂක ධුරයට දෙමළ ජාතික සන්ධානය දකුණේ කෙනෙකු ඉදිරිපත් කිරීමෙන් යාපනය අර්ධද්වීපයේ උපන් එහි ජීවත්වන උගත් බුද්ධිමත් ජනතාවට විශාල නිගාවක්‌ කර ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කළේ උතුරු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් යාපනය දිස්‌ත්‍රික්‌කයට තරග කරන අපේක්‍ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පසුගිය 14 වැනිදා පස්‌වරුවේ පැවැති ජනහමුවේදීය.

විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම ජනහමුවේදී යාපනය දිස්‌ත්‍රික්‌කයේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, උපසභාපතිවරු හා ස්‌වාධීන කණ්‌ඩායම්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්‌ ජනාධිපතිවරයා වෙත බුලත් හුරුළු පිළිගන්වා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට එක්‌වූහ.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අද තමුන්නාන්සේලා අමතා කතාකරන්න අවස්‌ථාවක්‌ ලැබීම ගැන මා සතුටු වෙනවා. ඒවගේම ප්‍රාදේශීය සභාවල දෙමළ ජාතික සන්ධානයේ හා ස්‌වාධීන හිටපු මන්ත්‍රීවරු, උප සභාපතිවරු කිහිප දෙනෙක්‌ අද මේ වේදිකාවේදී අපේ පක්‍ෂයට බැඳිලා වැඩකරන්න සුදානම්වීම ගැන සතුටුවෙනවා. අපිට එක්‌වූ එක ප්‍රාදේශීය සභාවක උප සභාපතිවරයෙක්‌ කිව්වේ ඔහුට සභාපතිකම නොලැබුණේ ඒ අයට ඕන කරන කුලයට සම්බන්ධ නැති නිසා කියලයි. නමුත් අපේ මේ පොදු සන්ධානය ජාති, කුල, ආගම්බේද නැති පුළුල් වූ දේශපාලන පක්‍ෂයක්‌.

මම මුලින්ම 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අවස්‌ථාවේ මේ ප්‍රදේශයෙන් මට ලැබුණේ ඡන්ද 45000 ක්‌ පමණ 2010 දී එය 47000 ගණකට වැඩිවුණා. පාර්ලිමේන්තු හා ප්‍රාදේශීය සභා ඡන්දවලදී ඊටත් වැඩි ඡන්ද සංඛ්‍යාවක්‌ අපේ පක්‍ෂයට ලබාගන්න පුළුවන්කම ලැබුණා.

අපි දැන් මේ ඡන්දය තිබ්බේ උතුරේ ජනතාවට. ජනාධිපතිවරණයට විතරයි මුළු රටේම ජනතාවගේ ඡන්දය පාවිච්චිකරන්නේ. මේ පළාත් සභාව පිහිටුවන්නේ උතුරේ ජනතාවට තමන්ගේ නියෝජිතයින් පත්කර පළාතේ සංවර්ධනය කරගෙන යන්න.

මම දන්නේ නෑ ඇයි මේ දෙමළ ජාතික සන්ධානය දකුණේ කෙනෙක්‌ උතුරු පළාත් සභාවට දැම්මේ කියලා. ඇයි දෙයියනේ මෙතරම් උගත් බුද්ධිමත් ජනතාවක්‌ ඉන්න යාපනය අර්ධද්වීපයේ ජීවත්වුණු ඉපදුනු කවුරුත් නැද්ද මේ පළාතේ මහ ඇමැතිකමට සුදුසු. දැන් මේකයි මට හිතාගන්න බැරි. දකුණෙන් උතුර පාලනය කරන්න දෙන්න බැහැ කියලා මෙච්චරකල් කියලා උතුර දකුණට දුන්නා. ඒ මදිවට අපේ වාසුදේව නානායක්‌කාර මහතාගේ නෑකෙනෙකුටමයි ඒකදෙන්න යන්නේ. මම දකින්නේ මේක උතුරේ ජනතාවට කරපු විශාල නිගාවක්‌ වශයෙන්.

මම මෙතනට ආවේ ඕමන්තේ ඉඳලා යාල්දේවී දුම්රියෙන් කිලිනොච්චියට ඇවිල්ලයි. මම ලබන අප්‍රේල් මාසයේ යාපනයට කෝචිචියෙන් එනවා. ඒවගේම මම අද යාපනය අර්ධද්වීපයටම විදුලිය ලබාදෙන ව්‍යාපෘතියක්‌ විවෘත කළා. යාපනය අර්ධද්වීපයේ හැම ගේකටම විදුලිය දෙන්න පුළුවන් විදිහට ජාතික විදුලිබල පද්ධතියට මේ යාපනය අර්ධද්වීපය සම්බන්ධ වෙනවා. ලක්‍ෂපාන, කොත්මලේ කන්ද උඩරට නිෂ්පාදනය කෙරෙන විදුලිය දෙන ව්‍යාපෘතියක්‌ මම අද විවෘත කළේ. කිලිනොච්චියේ ඉඳලා යාපනයට මේ විදුලිය ගේන්න රුපියල් බිලියන දාහතරහමාරක්‌ අපි වියදම් කරලා තියෙනවා.

අපි කෝචිචිය ගෙනාවත් විදුලිය දුන්නත්, පාසල්, පාරවල් හැදුවත් කියන්නේ මේවා චීනයෙන්, ඉන්දියාවෙන් එහෙමත් නැත්නම් ආසියානු සංවර්ධන බැංකුවෙන් කරයි කියලා. මේ ආණ්‌ඩුව මොකුත් කරලා නෑ කියලා අපට චෝදනා කරන අය කියනවා. මේවා අපි ණය අරගෙන කරන්නේ. මේ ණය අවුරුදු 15 කින් 20 කින් ආපසු ගෙවන්න වෙනවා. එනිසා මේවා කළේ වෙන කවුරුවත් නෙවෙයි සන්ධාන ආණ්‌ඩුවයි.

අපිට රටක්‌ සංවර්ධනය කරන්න පුළුවන්. ඒකට යම් කාලයක්‌ ගත වෙනවා. නමුත් මේක විනාශ කරන්න වැඩිකලක්‌ යන්නේ නෑ. කෝච්චිය මේ පළාතට ආවේ අවුරුදු 23 කට පස්‌සේ. අද මේ පළාතට විදුලිය දෙන්නේ මූලික විදුලිය පද්ධතියෙන්, අවුරුදු ගණනාවකට පසු. 1990 දී මේවා සම්පූර්ණයෙන් විනාශ කළා. දැන් අපි නැවතත් ඒ දේවල් උතුරේ වැසියන්ට ලබාදෙනවා.

යාපනයේ සිට දකුණටත්, දකුණේ සිට යාපනයටත් මිනිස්‌සු එන්න යන්න ඕන. දකුණේ වේවා, කන්ද උඩරට වේවා හැම පළාතකම ප්‍රාදේශීය සභාවකටම නගර සභාවකටම තියෙන අයිතිවාසිකම් මේ හැම ජනතාවකටම වාගේ ලබාදෙනවා. ඒ නිසා මේවා ලබාගන්න පළාතේ ඉපදී ජීවත්වන ඇමැතිවරු මන්ත්‍රීවරු අපිත් එක්‌ක කතා කළා. එහෙම කරලා ඔවුන් මේවා දියුණුකර ගන්නවා. අද ඔබ ඉදිරියේ සිටින මේ සංවිධායකවරු අපිත් එක්‌ක කතාකර මේවා ලබාගන්නවා. ආණ්‌ඩුවත්, නගර සභාවත්, ආණ්‌ඩුවත්, ප්‍රාදේශීය සභාවත්, ආණ්‌ඩුවත්, පළාත් සභාවත් අපි ඔක්‌කොම එකට වැඩකරන්න ඕන. ඒ නිසා තමුන්නාන්සේලා අපත් සමග එකතුවෙලා බුලත් කොළය ජයග්‍රහනය කරවන්න.

මෙහිදී දමිළ බසින් ජනහමුව ඇමතූ ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය.

අද ඔබ ඉදිරිපිට කතා කිරීම මට ලොකු සතුටක්‌. අවුරුදු ගණනාවක්‌ තිස්‌සේ ඔබලා විඳපු දුක්‌ කරදර හැම දෙයක්‌ම මම දන්නවා. මින් මතුවට ඒ තත්ත්වය නෑ. දැන් ඔබ හැමෝටම බය නැතුව නිදහසේ ජීවත්වෙන්න පුළුවනි. ආරක්‍ෂාවෙන් ජීවත් වෙන්න පුළුවන. ඔබ හැමෝම අලුත් ජීවිතයක්‌ ආරම්භ කළ අය. අලුත් බලාපොරොත්තුවක්‌, අලුත් ජීවිතයක්‌, අලුත් අනාගතයක්‌. ඒ ගැන ඔබලාටත් සතුටුයි. අපටත් සතුටුයි. උතුරේ වසන්තය තුළින් ඔබේ ප්‍රදේශය සීග්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා. අවුරුදු 30 ක්‌ තිස්‌සේ පස්‌සට ගිය ඔබේ ප්‍රදේශය දැන් ඉදිරියට යමින් පවතිනවා. හැම ක්‍ෂේත්‍රයකම අපි සංවර්ධන කටයුතු කරලා තිබෙනවා. මේක කාටවත් නැහැයි කියන්න බෑ. මේ රටේ සංවර්ධන කටයුතු සඳහා වැඩිම මුදල් වියදම් කරන්නේ ඔබේ උතුරු පළාතට තමයි. ඔබේ ප්‍රදේශයේ අධ්‍යාපනය, කෘෂිකර්මය, ධීවර කටයුතු, සෞඛ්‍ය, මහා මාර්ග, විදුලිබල ව්‍යාපාර, ස්‌වයං රැකියා පහසුකම් හැම දෙයක්‌ම අපි ලබා දී තිබෙනවා. තව තවත් ලබා දෙනවා. අපි අද චුන්නාගම් විදුලිබල මධ්‍යස්‌ථානයත් විවෘත කළා. ඒ - 9 පාර දිගේ දැන් හොඳින් ගමන් බිමන් කරන්න පුළුවන්. සමහර ක්‍ෂේත්‍රවල අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවත් ඉක්‌මනින් අපි විසඳනවා. පිටරට වල ජීවත් වෙන අපේ බුද්ධිමතුන් හැමෝම නැවත වරක්‌ මෙහාට පැමිණෙන්න ඕනෑ. මෙහි ජනතාව වෙනුවෙන් ඒ අය සේවය කරන්න ඕනෑ. හැමදාම පැරැණි දේවල් ගැන කතා කිරීමෙන් පළක්‌ නෑ. ඒ නිසා ක්‍රෝධය, තරහව, වෛරය නැවත ඇති වෙනවා. අපි හැමෝම එකම පවුලක්‌. මේ රට හැමෝටම අයිති රටක්‌. ඔබේ දරුවන්ට අයිති රටක්‌. අද උදේ අපි කිලිනොච්චි නව දුම්රිය ස්‌ථානය විවෘත කළා. ලබන අවුරුද්ද අවසන් වෙන්න කලින් කන්කසන්තුරේ දක්‌වා දුම්රිය මාර්ගය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.

මිත්‍රවරුනි, මින් මතුවට විනාශකාරි තත්ත්වයන් එපා. සංවර්ධනය තමයි අවශ්‍ය වන්නේ. ජාතිවාදය කතා කරන ටී. එන්. ඒ. නායකයන්ගේ දරුවෝ ඉන්නේ පිටරටවල්වල, අහිංසක ජනතාවගේ දරුවන් ඉන්නේ මේ රටේ. මාවෙයි සේනාධිරාජා මහතා මේ පොළොවේ ඉපදුන කෙනෙක්‌. අවුරුදු ගණනාවක්‌ ම දේශපාලනය කරනවා. නමුත් ටී. එන්. ඒ. පක්‍ෂය මේ මැතිවරණයේද දී එතුමාව අමතක කරලා. මුල් තැනක්‌ දුන්නේ නෑ. හේතුව මොකක්‌ද කියලා මමනම් දන්නේ නෑ.

මම හැමවිටම ඔබලාව ආරක්‍ෂා කරනවා. එය මගේ යුතුකමක්‌. මම කරනදේ කියනවා. කියනදේ කරනවා. උතුරේ වසන්තය ඔබේ වසන්තයයි. ඔබේ දරුවන්ගේ වසන්තයයි. මේ රටේ වසන්තයයි.

මම ඔබගේ මිත්‍රයා. මම ඔබගේ ඥතියා. ඔබ මා විශ්වාස කරන්න. මම ඔබව විශ්වාස කරනවා. ඔබේ දිස්‌ත්‍රික්‌කය දියුණු වෙන්න ඕනෑ. ඔබත් දියුණු වෙන්න ඕනෑ.

මිතූවරුනි, බුලත් කොළය අමතක කරන්න එපා. බුලත් කොළයේ ජයග්‍රහණය ඔබේ ජයග්‍රහණයයයි. එබේ දරුවන්ගේ ජයග්‍රහණයයි. මේ රටේ ජයග්‍රහණයයි.

ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්‌ස විතාරණ මහතා

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය ඒ අයගේ ඉල්ලීම් විශාල විදියට වෙනස්‌වෙලා. එය මේ අවස්‌ථාවේ සුදුසු දෙයක්‌ නොවෙයි. මෙහි අඩංගු වඩා විනාශකාරීදේ තමයි උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම. ලංකාවේ ස්‌වරීත්වයට හානිකර අයුරින් මැතිවරණ ප්‍රකාශයේ වගන්ති තියෙනවා.

ඒ වගේම ස්‌වයංපාලනයත්. මේවා නැවත ත්‍රස්‌තවාදය ඇතිකිරීමට කෙලින්ම බලපාන කරුණුයි. මේ මැතිවරණ ප්‍රකාශයෙන් දකුණේ ජනතාව තුළ බියක්‌ ඇතිකර තිබෙනවා. නැවතත් දෙමළ සන්ධානය මේ රට යුද්ධයකට ඇද දමයි කියලා. දෙමළ සන්ධානය මේ මැතිවරණ ප්‍රකාශය තුළින් දකුණේ ජනතාව ප්‍රකෝප කරනවා. ඒවගේම අන්තර් ජාතික ප්‍රජාවත් මේකට ඈදලා තියෙනවා.

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා - නොකර බැරි යුද්ධයක්‌ කළා. ඒක අවසන් කරමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අභිෂේකවත් කරන යුගයක අපි ඉන්නේ. උතුරු පළාත් සභා ඡන්දය තියන්න ජනාධිපතිතුමා තීරණය කළේ බහුතර ජනතාවගේ විශ්වාසය නිසා. පළාත් සභාව තුළ බහුතර ජනතාවගේ කැමැත්ත අභිලාෂය අනුව නියෝජිතයන් පත්කරගන්න අයිතිය තිබෙනවා.

සුළු අපනයන භෝග ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා - අපිට තිබෙන ප්‍රශ්නය භාෂා ප්‍රශ්නයයි. දෙමළ අය සිංහල කතා කරන්න ඕන. සිංහල අය දෙමළ කතා කරන්න ඕන. ඒක හරියට සිදුවුණොත් විරෝධතා ගැටුම් නැහැ. ඇයි අපි ගහන්නේ. අපි එක රටක එක ජාතියක්‌ හැටියට ඉන්න ඕන.

ජනාධිපතිතුමා තමුන්නාන්සේලා මේ රටේ වෙනමම කොටසක්‌ හැටියට සැලකුවේ නැහැ. අධ්‍යාපනය, සංවර්ධනය, හැමදෙයක්‌ම ගෙනත් දුන්නා. නමුත් එදා ඔබලා එතුමාට ඡන්දය දුන්නේ නෑ. ඒත් එතුමා ඔබට වෛර කළේ නැහැ. නැවත සංවර්ධනය ගෙනත් දුන්නා. අද මේ පළාත කොතරම් සංවර්ධනය වෙලාද.

ඇමැති ඩග්ලස්‌ දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී සී. එච්. පියසේන යන මහත්වරුද යාපනය නගරාධිපතිනි යෝගේෂ්වරී පත්කුනරාජා මහත්මියද මෙහිදී කතා කළ අතර මෙම ජනහමුවට ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, රාජිත සේනාරත්න යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්‌ද එක්‌වූහ.

අනුර බාලසූරිය යාපනයේ සිට
http://www.divaina.com/2013/09/17/news22.html

3 comments:

Anonymous said...

විග්නේශ්වරන් දිනන බව මරා දන්නවා. විග්නේශ්වරන් උතුරේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඉන්න බවත් මරා දන්නවා. මරාට දැනේ රෙද්දේ ගූ ගිහින් ඉන්නේ. බයට තමයි මේ කෑගහන්නේ. මරෝ....හූ......

Anonymous said...

Ithin ane dakuna aya Gampahata illanne

Amila Chathuranga said...

හා දැන් ජනාධිපතිතුමා කියන විදියට කලා නම් හරි.. අනික් පැති වල අයත් ජනාධිපති තුමා කියන විදියටම වැඩ කරලා ඡන්දය දීලා ලොකු ලොකු ජයග්‍රහන මේ වන විට ලබාගෙන තියෙනවා.. උතුරේ ජනතාවටත් ඒ වාගෙ ජයග්‍රහන ලබාගන්න පුලුවන් ජනාධිපති තුමා කියන විදියට බුලත් කොලේට කතිරය ගැහුවොත්..