Pages

Saturday, September 28, 2013

කිරිපැකට්‌ වල ඩීසීඩී. නැති බව ඇලවූ ලේබල් තහවුරු කළේ කවුරුන්ද යන්න සඳහන් නැහැ - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මෙරට වෙළෙඳපොලෙහි දැනට අළෙවි කෙරෙන ආනයනික කිරිපිටි පැකට්‌වල ඩීසීඩී රසායනිකය අඩංගු නොවන බවට සඳහන් කර අලවා ඇති විශේෂිත ලේබලයෙහි එම රසායනිකය නොමැති බවට තහවුරු කළේ කවුරුන් විසින්ද යන්න සඳහන් කර නොතිබීම හේතුවෙන් එම කිරි පිටි මහජන පරිභෝජනයට සුදුසුද යන්න පිළිබඳව ගැටළුවක්‌ පැන නගින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඩීසීඩී රසායනිකය තම කිරි පිටි නිෂ්පාදනයන්හි අඩංගු නොවන්නේ නම් ඒ බව තහවුරු කළ ආයතනය හෝ බලධරයා පිළිබඳවද අදාළ විශේෂිත ලේබලයෙහි සඳහන් කළ යුතු බව එම සංගමය කියයි. එසේ නොකර හිතුමතේට ඩීසීඩී රසායනිකය අඩංගු නොමැති බව පැවසිය නොහැකි බවත් මෙයට පෙර වෙළඳපලට නිකුත් කළ ඇතැම් කිරි පිටි නිෂ්පාදනයන්හි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒවායේ ඩීසීඩී රසායනිකය අඩංගු නොවූ බව තහවුරු කළ බව ලේබලයෙහි සඳහන් කර, රාජ්‍ය ලාංඡනය නීති විරෝධී ලෙස යොදා ගැනීමද හෙලා දකින බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් වෛද්‍ය නලින් ආරියරත්න මහතා ''දිවයින'' ට පැවසීය.

මෙම තත්ත්වය මත වෙළෙඳපලෙහි පවතින ඩීසීඩී රසායනිකය අඩංගු බවට සැක කෙරෙන සියලු ආනයනික කිරිපිටි නිෂ්පාදනයන් ඒ පිළිබඳ පරීක්‍ෂණ කටයුතු නිමා වන තෙක්‌ වෙළෙඳපලෙන් ඉවත් කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමට තම සංගමය කටයුතු කර ගෙන යන බවද වෛද්‍ය ආරියරත්න කීවේය.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2013/09/28/news21.html

0 comments: