Pages

Saturday, September 28, 2013

කළමනාකරණ පීඨයක්‌ ඉල්ලා පේරාදෙණියේ සත්‍යග්‍රහයක්‌

කළමනාකරණ අධ්‍යයන පාඨමාලාව සඳහා වෙනම පීඨයක්‌ ලබාදෙන ලෙස ඉල්ලමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිසුහු ඊයේ (27 වැනිදා) සත්‍යග්‍රහයක නිරත වූහ.

කළමනාකරණ උපාධි පාඨමාලාව ආරම්භ කර වසර පහක්‌ ගතවී ඇතත් තවමත් අධ්‍යයන කටයුතු සිදුකෙරෙන්නේ ශාස්‌ත්‍ර පීඨය යටතේ ඇති කළමනාකරණ දෙපාර්තමේන්තුවේ යෑයි සඳහන් කරන සිසුහු ඒ සඳහා වෙනම පීඨයක්‌ ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද (28 වැනිදා) අවසන් තීරණයක්‌ නොගතහොත් අඛණ්‌ඩ සත්‍යග්‍රහයක්‌ ආරම්භ කරන බවට අනතුරු අඟවති.

විශ්වවිද්‍යාලයේ පාලක සභා රැස්‌වීමක්‌ අද (28 දා) පැවැත්වෙන අතර සිසුන් ඉල්ලා සිටින්නේ එම රැස්‌වීමේදී අවසන් තීරණයක්‌ ගන්නා ලෙසය.

වෙනම පීඨයක්‌ ආරම්භ කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී තිබියදීත් පීඨය ආරම්භ කිරීමේ කටයුතු ප්‍රමාද වන්නේ දෙපාර්තමේන්තු බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා යෑයි ද සිසුහු සඳහන් කරති.

එමෙන්ම පසුගිය වසර පහේදී සිසුන් 150 බැගින් පාඨමාලාවට ඇතුළත් කර ගත්ත ද එම සංඛ්‍යාව 50 දක්‌වා අඩු කිරීමට පරිපාලන අංශ ගෙන ඇති තීරණයට තමන් දැඩි විරෝධය පළකරන බව ද සිසුහු පවසති.

නිලන්ත මදුරාවල
http://www.divaina.com/2013/09/28/news15.html

0 comments: