Pages

Monday, September 16, 2013

නිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමා

(අනගාරික ධර්මපාලතුමාගේ 149 වැනි ජන්ම දින සැමරුම හෙටට (17 දා) යෙදේ ඒ නිමිත්තෙන් (සැප්තැම්බර් 29 වැනි දින ප.ව. 2.30 ට කොළඹ මරදාන කුප්පියාවත්ත ජයශේඛරාරාම විහාරස්‌ථ ප්‍රධාන ශාලාවේදී හෙළ තුරුණු සවිය මගින් සැමරුම් උළෙලක්‌ සංවිධානය කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.) 

ඉතිහාසයේ ජීවත් වූ කෝටි සංඛ්‍යාත මිනිසුන් අතරින් අපට එක්‌වරම සිහියට නැගෙන චරිත, ඉතා සීමිතය. එයිනුත් ක්‌ෂණයෙන්ම සිතට නැගෙන්නේ ඉතිහාසය නිර්මාණය කරන්නට, සංස්‌කෘතිය ගොඩනඟන්නට, සමාජ ප්‍රවාහය වෙනස්‌ කරන්නට වෙර දැරූ මිනිසුන් කිහිපදෙනෙකි. එය ලෝක ඉතිහාසය තුළත් ලංකා ඉතිහාසය තුළත් දැකිය හැකි පොදු ලක්‍ෂණයකි. 

සිංහල ඉතිහාසයේ පරාධීන යුගයක සිංහලත්වය හා බෞද්ධකම යකඩ සපත්තුවට තැලී පොඩිවෙමින් තිබුණු අවස්‌ථාවක ජාතියට අභීත නායකත්වයක්‌ ලබා දුන්, නිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමාය.

1864 සැප්තැම්බර් 17 වැනි දින අනගාරික ධර්මපාලතුමා දොන් ඩේවිඩ් හේවාවිතාරණ නමින් දොන් කරෝලිස්‌ හේවාවිතාරණ මුදලිතුමාට හා මල්ලිකා හේවාවිතාරණ ළමාතැනීට දාව මෙලොව එළිය දකින විට වසර දෙදහස්‌ ගණනක සිංහල බෞද්ධ ඉතිහාසය පරාධීන යුගයකට වැටී අරාජිකව තිබුණි. 1815 දී සිංහල රාජ්‍යය ඉංග්‍රීසි අධිරාජ්‍යයට ගිවිසුමකින් පාලනය භාර දුන් පසු නැවත නිදහස දිනා ගැනීම සඳහා සිංහලයන් කළ විමුක්‌ති අරගල දෙකක්‌ ඉංග්‍රීසින් විසින් තිරශ්චීන ආකාරයට මර්දනය කර සිංහල තරුණ පරපුර නැවත නොනැගිටින ලෙස ඔවුනගේ කොඳු ඇට පෙළම කඩා දමා තිබුණි. අවියෙන්, බාහු බලයෙන් නිදහස දිනා ගත නොහැකි නම් ඔළුවෙන්, මොළයෙන් එය කිරීම පෙරට ගත්තේ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ය. බොදු හදවත් ප්‍රකම්පනය කරමින් පානදුරා වාදයේදී ප්‍රතිවාදී පාර්ශ්වය පරදවා බෞද්ධයන් ජයග්‍රහණය කරද්දී සාදු නාද දුන්, ඔල්වරසන් දුන් පිරිස අතර සිටි ලාබාලම තරුණයා අනගාරික ධර්මපාලතුමන් වන්නට ඇත. 

මේ සිරිලක පවතින තුරු යළි යළිදු ආවර්ජනය කළ යුතු මහා ජාතික විරුවාණන් වන අනගාරික ධර්මපාලතුමාගේ අද අප දකින සෑම ඡායාරූපයකම එතුමන් සිටින්නේ දෙඅත් එකට බැඳ සිවුර පොරවා වැඩිහිටියෙකු ලෙසය. එහෙත් එතුමන් දොන් ඩේවිඩ් හේවාවිතාරණ යන නම පසෙක දමා බ්‍රහ්මචාරී ජීවිතයක්‌ ගත කරමින් බුදු සසුනටත්, සිංහල ජාතියටත් මෙහෙයක්‌ ඉටු කිරීමට ඉටා ගෙන අනගාරික ධර්මපාල යන ආර්ය සිංහල නාමය භාවිතා කිරීමට පටන්ගෙන සිංහලයන්ට ආදර්ශයක්‌ දුන්නේය. 

ධර්මපාලතුමන් කුඩා කාලයේදී කොළඹ විෙද්‍යාදය පරිවේණාධිපති හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන්ගෙන් සිංහල, පාලි හා බුදු දහම ඉගෙන ගත්තේය. උගත්, බුද්ධිමත් වියතුන් ඇසුරින් එතුමන් ලද ඥාන සම්භාරයත් තමනට නිසඟයෙන් උරුම වූ ශුර කථිකත්වයත් එවකට පරාධීනව, නිදා සිටි සිංහල ජාතිය අවදි කිරීමටත් සම්බුදු සසුනේ චිරස්‌චිථිය උදෙසාත් යොදවනු ලැබීය. වර්ෂ 1892 දී ඇමරිකාවේ චිකාගෝ නුවර ලෝක ආගම් පිළිබඳ සමුළුවක්‌ පැවැත්විණි.

එවකට ලංකාවේ විසූ මහා යතිවරයාණන් වූ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ට එම සමුඵවට සහභාගීවීමට ආරාධනා ලැබුණි. උන් වහන්සේ එම අවස්‌ථාව තරුණ අනගාරික ධර්මපාල තුමාට ලබා දුන්හ. ඒ අද්විතීය තීන්දුව නිසා ලෝකයට බෞද්ධ නායකයෝ දෙදෙනක්‌ බිහි වූහ. ඉන් එක්‌ අයෙක්‌ වන්නේ අපේ කථානායක වන අනගාරික ධර්මපාල තුමාය. අනෙක්‌ පුද්ගලයා ඉන්දීය ජාතික නිදහස්‌ අරගලයට අවශ්‍ය පදනම සකස්‌ කළ ස්‌වාමි විවේකානන්දන් මැතිතුමාය. තථාගත ගෞතම බුදු පියාණන් බුද්ධත්වයට පත් වූ දඹදිව බුද්ධගයා මහා විහාරය හින්දු මහන්තා කෙනෙකු යටතේ තිබෙනු දැක හද කම්පා වු අනගාරික ධර්මපාලතුමා ''සිංහලයිනි නැගිටිව්. බුද්ධගයාව බේරා ගනිව්'' යනුවෙන් හ`ඩ නගමින් බුද්ධගයාව නැවත බෞද්ධයන්ට හිමි කර දීමේ සටන තම ජීවන සටන බවටම පත් කර ගත්තේය. සිංහල බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමට ඇමරිකානු ජාතික හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා සමඟ එක්‌ව පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා ඒ මගින් බෞද්ධ පාසල් ආරම්භ කිරීම සඳහා පුරෝගාමී කාර්යභාරයක්‌ කළේය. අද රටේ විශාල බෞද්ධ පාසල් ප්‍රමාණයක්‌ පවතින්නේත් එහි සිංහල බෞද්ධ සිසු සංයුතිය ඒ ආකාරයෙන් ආරක්‍ෂා වී තිබෙන්නේත් එතුමන්ගේ අධිෂ්ඨානයේ ප්‍රතිඵල මල්ඵල ගන්වමිනි.

අද අප භාවිතා කරන ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය නිර්මාණය වන්නේ එතුමාගේ මඟ පෙන්වීමේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. 1889 ජපන් අහසේ දී ප්‍රථම වරට ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය ලෙළ දුන්නේ බොදු හදවත් අමන්දානන්දයට පත් කරමිනි. ''සරසවි සඳරැස්‌' ''සිංහල බෞද්ධයා'' ආදී පුවත්පත් ආරම්භ කරමින් තම අදහස්‌ ජනතාව අතරට ගෙන ගිය එතුමා අමද්‍යප සටනේ පතාක යෝධයෙක්‌ විය. සිංහල බෞද්ධයෙකු නම් ''හරක්‌ මස්‌ නොකනු'' ''රා නොබොනු'' යනුවෙන් නොබියව ප්‍රකාශ කළ එතුමා එසේ කරන්නන් වසලයන් ලෙස සැලකීය. ''සෝබන රථය'' නම් වු එතුමා ධර්ම ප්‍රචාරය සඳහා නිතරම ගමන් කළ ප්‍රචාරක රථයේ මෙම පාඨ ප්‍රදර්ශනය කරමින් ඒ ගැන ජාතියට පහදා දීමට මහත් වෙහෙසක්‌ ගත් අනගාරික ධර්මපාලතුමා නූතන සිංහල ජාතියේ පියා බඳුය. 

සිංහල ජාතියට, සිංහල සංස්‌කෘතියට, සිංහල සිරිත් විරිත් වලට ආදරය කළ, සම්බුදු සසුන ආරක්‍ෂා කිරීමටත් එය පැතිරවීමටත් මහත් සටනක්‌ කළ වීරයෙක්‌ ලෙසත්, අමද්‍යප සටනට නායකත්වය දුන් සෙන්පතියෙකු ලෙසත් සුද්දන්ට නිර්භයව බැණ වදිමින් රටේත්, ජාතියේත්, ශාසනයේත් අභිවෘද්ධිය උදෙසා අභීත නායකත්වයක්‌ දුන් අවංක ජන නායකයෙක්‌ ලෙසත් මේ සිරිලක පවතින තුරා ජන හදවත් තුළ අනගාරික ධර්මපාල නාමය සදා අමරණීයව පවතිනවා නිසැකය. 

තරිඳු දිලීප ගමගේ, ලේකම් - හෙළ තුරුණු සවිය
http://www.divaina.com/2013/09/16/feature02.html

සබැඳි ලිපි -
[

අනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1887.htmlසියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]

0 comments: