Pages

Friday, September 27, 2013

රජයේ ඉඩම් අයිතිය පළාත් සභාවලට නෑ - ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක


ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනයෙන් රජයේ ඉඩම්වල අයිතිය පළාත් සභාවලට පවරා නැති බවත් පළාත්බද ජනතා අවශ්‍යතා සඳහා රජයේ ඉඩම් පළාත් සභාවලට පාවිච්චි කළ හැකි නමුත් එම ඉඩම්වල අයිතිය දිගටම ඇත්තේ මධ්‍යම රජයට බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (26 දා) ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවකින් තහවුරු කළේය.

ඉඩම් පිළිබඳ බලතල මධ්‍යම රජය සතු යෑයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (26 දා) තීන්දු කිරීමෙන් අනතුරුව ඒ වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ ගෝමින් දයාසිරි, අධිනීතිඥ පාලිත ගමගේ යන මහත්වරුන් ප්‍රමුඛ නීතිඥයෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙසේ පිටවී ගියහ. (ඡායාරූපය- ජුඩ්ඩෙන්සිල් පතිරාජ) 

ඒකීය රාජ්‍යයක්‌ වන ශ්‍රී ලංකාවේ පළාත් මට්‌ටමින් බලය විමධ්‍යගත කිරීම සඳහා පිහිටුවන ලැබූ පළාත් සභාවලට අයත් වන විෂයයන් ලැයිස්‌තුගත කර ඇති අතර 'රජයේ ඉඩම්' එම ලැයිස්‌තුවට ඇතුළත් නොවන බවද එම තීන්දුවේ සඳහන් කර ඇත.

මෙම නඩු තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවේ අගවිනිසුරු මොහාන් පීරිස්‌, කේ. ශ්‍රීපවන් සහ ඊවා වනසුන්දර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

විනිසුරු මඩුල්ලේ තිදෙනා ගත් තීන්දුවලට හේතු වෙන වෙනම ප්‍රකාශයට පත් කර තිබූ නමුත් රජයේ ඉඩම් මධ්‍යම රජය සතුය, රජයේ අවසරය මත පමණක්‌ යම් සීමාවන්ට යටත්ව ඒවා පළාත් සභාවලට පරිහරණය කළ හැකිය යන්න විනිසුරුවන් තිදෙනාගේ ඒකමතික අදහස බව තීන්දුවලින් ප්‍රකාශ වී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ප්‍රකාශයට පත් කළ තීන්දුවට මූලික වූයේ මහනුවර පළාත්බද මහාධිකරණය හමුවේ 2000 වර්ෂයේ පැවරූ නඩුවකි.

ඒ නුවරඑළිය මහෙස්‌ත්‍රාත් උසාවියට අයත් ඉඩමක බලෙන් පදිංචිව සිටි තැනැත්තියක්‌ ඉන් ඉවත් කිරීම සඳහා එම ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීමේ බලධාරීන් විසින් උසාවි නියෝගයක්‌ ලබාගෙන ඇත. ඊට එරෙහිව නඩු මගට පිවිසි ඉඩමේ පදිංචිව සිටි තැනැත්තිය එම නියෝගය අවලංගු කරන්නැයි ඉල්ලා සිටියාය.

මහනුවර පළාත්බද මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේ එම නඩුව විභාග කිරීමට පළාත්බද අධිකරණයට බලයක්‌ නැති බවයි.

ඊට පසුව ද්‍රවිඩ ජාතික තැනැත්තියක වන එම විත්තිකාරිය එම නඩු තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක්‌ ගොනු කළ අතර එය විභාග කළ අභියාචනාධිකරණය රජයේ ඉඩම් පළාත් සභාවලට අයත් වන බැවින් එම නඩුව විභාග කිරීමට පළාත් මහාධිකරණයට බලයක්‌ ඇතැයි තීන්දු කළේය.

ඊට පසුව අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඉඩම් අත්කර ගැනීමේ බලධාරියා මෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරියකු වන එස්‌. සී. කේ. ද අල්විස්‌ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්‌ ගොනු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ප්‍රකාශයට පත් කළේ එම ඇපෑලේ තීන්දුවයි.

අභියාචනාධිකරණය දුන් නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවලංගු කළ අතර උසාවිය හමුවේ සාකච්ඡාවට භාජනය වූ නීතිමය ප්‍රශ්නය පැමිණිල්ලේ වාසියට තීන්දු කෙරිණි.

ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා, අධිනීතිඥ පාලිත ගමගේ යන මහත්වරුන් 1 වැනි වගඋත්තරකරු වෙනුවෙන් ද අධිනීතිඥ ගෝමින් දයාසිරි මනෝලි ජයවර්ධන මහත්ම මහත්මීන් 2 වැනි වගඋත්තරකරු වෙනුවෙන් ද පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යුහාන් විඡේතිලක මහතා පෙනී සිටියේය.

මෙහි විත්තිකාරිය වූ ද්‍රවිඩ ජාතික කාන්තාව වෙනුවෙන් අධිනීතිඥ එම්. ඒ. සුමන්තිරන් හා ගනේෂ රාජා මහත්වරු පෙනී සිටියහ.

සරත් ධර්මසේන
http://www.divaina.com/2013/09/27/news01.html

සබැඳි ලිපි -
[
පලාත් සභාවලට ඉඩම් බලතල නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_26.html
]

0 comments: