Pages

Monday, September 16, 2013

ද්‍රවිඩ සන්ධානයේ අරමුණ සන්ධීය රාජ්‍යයක්‌! - මහාචාර්ය සුමනසිරි ලියනගේ

ද්‍රවිඩ සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය උතුරේ වෙනම රාජ්‍යයක්‌ වෙනුවෙන් සැලසුම් සහගත ලෙස සකස්‌ කළ ලියෑවිල්ලක්‌ය යන මතයක්‌ රට තුළ ඇතිවෙලා තියෙනවා?

දෙමළ සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය තුළ උතුරේ වෙනම රාජ්‍යයක්‌ කියන අදහස සෘජුවම ප්‍රතික්‍ෂේප කර නැතත් ඔවුන්ගේ අරමුණු සන්ධීය රාජ්‍යයක්‌ බව පැහැදිලියි.

මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සලකා බලන විට තිම්පු මූලධර්ම හතරෙන් එකක්‌ මෙයින් ඉවත් කර තිබෙනවා. තිම්පු මූලධර්මවල හතරවැන්න නම් ශ්‍රී ලංකා රාජ්‍යය තුළ වාසය කිරීමට කැමැති දෙමළ ජනයාට මූලික අයිතිවාසිකම් දිය යුතුය යන්නයි. එය ඇති කළේ වතුකරයේ දෙමළ ජනතාව වෙනුවෙන්. මැතිවරණ ප්‍රකාශනයෙන් ඒ වගන්තිය ඉවත් කිරීමෙන් පෙනෙන්නේ ශ්‍රී ලංකාව තුළ ජීවත්වීමට කැමැති සහ අකමැති වශයෙන් දෙමළ ජනතාව බෙදීමක්‌ ඔවුන් නොකරන බවයි. මේ කාරණය තුළින් මට පෙනෙන්නේ ද්‍රවිඩ සන්ධානය වෙනම රාජ්‍ය සංකල්පයෙන් යම් ආකාරයකට වෙනස්‌ වෙමින් සිටින බවයි. ශ්‍රී ලංකාව ඇතුළත ඔවුන් බලාපොරොත්තු වන කිසියම් අයිතිවාසිකම් සමූහයක්‌ සමග සන්ධීය ක්‍රමයකට ගමන් කිරීමේ අරමුණක්‌ මේ මැතිවරණ ප්‍රකාශනය තුළ තිබෙනවා. එය ස්‌වාධීන දෙමළ රාජ්‍යයක්‌ කියන අදහසින් වෙනස්‌ වූ එකක්‌.

නමුත් උතුර නැගෙනහිර ද්‍රවිඩ නිජබිම් සංකල්පය උතුරට සහ නැගෙනහිරට ඉඩම් හා පොලිස්‌ බලතල ලබාගැනීම වගේම මේ දෙපළාත එක්‌ කිරීම පිළිබඳවත් මෙමගින් ඉඟි කර තිබෙනවා නේද?

උතුර නැගෙනහිර ද්‍රවිඩ නිජබිම් සංකල්පය මේ මැතිවරණ ප්‍රකාශනය තුළ පැහැදිලිව නෑ. උතුර හා නැගෙනහිර සම්බන්ධයෙන් මේ මැතිවරණ ප්‍රකාශනය තුළ ඇති ප්‍රකාශ අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ අඩංගු වී ඇති වගන්තියි. ටැමිල් හෝම් ලෑන්ඩ් කියන වචනය ඔවුන් පාවිච්චි කරල නෑ. පළාත් සභාවලට ඉඩම් හා පොලිස්‌ බලතල අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙ තියෙනව. මේ මැතිවරණ ප්‍රකාශනයෙන් ඔවුන් ඉල්ලන්නෙ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ තියෙන දේ. එය අසාධාරණයි කියල මම හිතන්නෙ නෑ.

උතුර නැගෙනහිර මැතිවරණයෙන් පසු බලය බෙදා ගැනීම සඳහා ජාත්‍යන්තර මැදිහත්කරුවකුගෙ සහාය ලබාගත යුතු යෑයි ද්‍රවිඩ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලීමක්‌ කර තිබෙනවා. ඒකීය ශ්‍රී ලංකාවක්‌ තුළ බලය බෙදා ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය නම් ජාත්‍යන්තර මැදිහත්කරුවකු සහභාගි කර ගැනීමට කටයුතු කිරීම සාධාරණද?

ඔබ මේ ප්‍රශ්නයෙන් මතු කරන්නේ මේ ප්‍රකාශනයේ සහ මුල සිටම දෙමළ ජාතිකවාදී දේශපාලනයේත් තිබෙන ප්‍රධාන වැරැද්දයි. දෙමළ ජාතික සන්ධානය හෝ ඊට පෙර තිබුණු පෙඩරල් පක්‍ෂය හෝ දෙමළ ජාතික එක්‌සත් විමුක්‌ති පෙරමුණ හෝ මේ සියලු සංවිධාන දෙමළ ජනයාට තිබෙන ප්‍රශ්න පිළිබඳ ආමන්ත්‍රණය කළේ සිංහල ජනතාවට හෝ මුස්‌ලිම් ජනතාවට නෙමෙයි. දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් ජාත්‍යන්තර සංවිධානවල සහයෝගයෙන් යෑයි ඔවුන් නිරන්තරව කල්පනා කළා. සන්ධීය ක්‍රමයක්‌ හෝ බලය බෙදා ගැනීමක්‌ ඇති කරගත හැක්‌කේ ජාත්‍යන්තරයේ සහාය තුළින් බවයි ඔවුන් හිතුවෙ. ලංකාවේ මේ ප්‍රශ්නය ඉන්දියාවේත් අභ්‍යන්තර ප්‍රශ්නයක්‌ නිසා මේ ප්‍රශ්නයට ඉන්දියාවේ සහභාගිත්වය අසාධාරණ නෑ. නමුත් වෙනත් රටවල සහභාගිත්වයෙන් මේ ප්‍රශ්නය විස¹ ගැනීමට හැකි යෑයි ද්‍රවිඩ සන්ධානය හිතනව නම් එය නිවැරදි දැක්‌මක්‌ නෙමෙයි.

ද්‍රවිඩ සන්ධානයේ මේ මැතිවරණ ප්‍රකාශනය දෙස බලන විට ඔවුන්ගේ අරමුණු සන්ධීය රාජ්‍යයක්‌ බවයි ඔබේ අදහස. එය උතුර නැගෙනහිර වෙනම රාජ්‍යයක්‌ සඳහා යන ගමනක පළමු පියවර විය නොහැකිද?

මෙය දෙපැත්තටම තර්ක කළ හැකි ප්‍රශ්නයක්‌. සන්ධීය රාජ්‍යයක්‌ ඇති කර ගැනීමෙන් වෙනම රාජ්‍යයක්‌ බිහි කරගන්න පුළුවන් යෑයි තර්ක කළ හැකියි වගේම සන්ධීය රාජ්‍යයක්‌ ඇති කිරීම නිසා වෙනම රාජ්‍යයක්‌ බිහිවීම වළක්‌වන්නත් පුළුවන් යෑයි තර්ක කළ හැකියි. සෑම සන්ධීය ක්‍රමයක්‌ තුළම බෙදී වෙන්වීමේ දිශානතියක්‌ වගේම ශක්‌තිමත්ව එකතුවී සිටීමේ දිශානතියකුත් තියෙනවා. සන්ධීය ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ මේ දෙපැත්තෙන් කොයි පැත්තට ද කියන එක තීරණය වෙන්නෙ සාධක ගණනාවක්‌ උඩ. ඒක දෙමළ ජාතික සන්ධානයේ කැමැත්ත මත සිදුවන දෙයක්‌ නෙමෙයි. සන්ධීය ක්‍රමයක්‌ ඇති කරගත් චෙකොස්‌ලොවැකියාව බෙදී වෙන්වෙමින් යනව. යුගෝස්‌ලාවියාව බෙදී යනව. නමුත් සන්ධීය ක්‍රමයක්‌ තිබෙන ඉන්දියාව මැලේසියාව වැනි රටවල් බෙදීයැම වැළකිලා ශක්‌තිමත් වෙනව. සන්ධීය ක්‍රමය නිසා අපේ රටේ කුමක්‌ වෙයිද කියල නිශ්චිතව කියන්න බෑ.

සියලු දෙනා එකතුවී ක්‍රියා කළ යුත්තේ මේ ප්‍රශ්නයේ මූලයට විසඳුමක්‌ දෙන්නයි. ලෝක ඉතිහාසයේ දිගින් දිගටම පෙනෙන දෙයක්‌ නම් වෙනම රාජ්‍යයක්‌ වෙනුවෙන් සටන් කළ සංවිධාන පරාජය කළ පමණින් එම සංවිධාන හෝ ඊට සමාන සංවිධාන යළි ඇති නොවෙන බවට කිසිවකුට සහතික විය නොහැකි බව. ඇතැම් අවස්‌ථාවල ඒ සංවිධානවල මුහුණුවර වෙනස්‌ වෙලා වෙනත් ආකාරයකින් ඒ සංවිධාන යළි නැගී සිටි ආකාරය පිළිබඳ ලෝක ඉතිහාසය තුළ උදාහරණ තිබෙනවා. ප්‍රශ්නයේ මූලයට නිසි විසඳුමක්‌ නොදුන්නොත් අරගලය විනාශ වෙන්නෙ නෑ. ඒ විසඳුම ලබාදීමේදී යම් අවදානමකුත් ඒ තුළම තියෙනව. එය නැහැයි කියල කාටවත් කියන්න බෑ.

ද්‍රවිඩ ජාතික සන්ධානය උතුර නැගෙනහිර බලය බෙදාගන්න හැටි මේ මැතිවරණ ප්‍රකාශනයෙන් හෙළිදරව් කළත් ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙළ මේ මැතිවරණ ප්‍රකාශනය තුළ නෑ. ඒ ඇයි?

ඔවුන්ට වෙනම ආර්ථික වැඩපිළිවෙළක්‌ නෑ. ඔවුන්ගේ ආර්ථික පිළිවෙත ගැන සඳහන් නොකිරීම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විශාල අඩුවක්‌. ඇත්තවශයෙන්ම දෙමළ ජනතාවගෙ ප්‍රශ්න සම්බන්ධයෙන් සිංහල හා මුස්‌ලිම් ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ ක්‍රියාමාර්ගයක්‌ නොමැතිවීම සහ උතුර නැගෙනහිර සංවර්ධන කටයුතු සිදු කරන ඔවුන්ගේ ආර්ථික ක්‍රියාදාමය පිළිබඳ සඳහන් නොවීමත් මේ මැතිවරණ ප්‍රකාශනයේ විශාල අඩුපාඩු දෙකක්‌.

මේ මැතිවරණයෙන් යම් විදියකින් ද්‍රවිඩ සන්ධානය ජයග්‍රහණය කළොත් එය ඔවුන්ගේ අරමුණ සඳහා ලැබුණු ජනමතයක්‌ බවටත් පත්වෙනවා නේද? උතුර නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම සන්ධීය රාජ්‍යයක්‌ද?

දෙමළ ජාතික සන්ධානය මේ ප්‍රශ්නයට එකම විසඳුම ලෙස හිතන බව පේන්නෙ සන්ධීය රාජ්‍යයකට යැම. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඇතුළු ආණ්‌ඩුව හිතන්නෙ මේ ප්‍රශ්නයට එකම විසඳුම සියලුම දෙනාගෙම ආර්ථිකය දියුණු කරල දෙමළ ජනතාවටත් සමාන අයිතිවාසිකම් ලබාදීම කියල. විශේෂ බලය බෙදීමක්‌ මේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලෙස ආණ්‌ඩුව හිතන්නෙ නෑ. මම නම් හිතන්නෙ දැන් නැවත වතාවක්‌ මේ ප්‍රශ්නය ආරම්භක තැනට ඇවිල්ල කියලයි. මීට අවුරුදු පහළොවක විස්‌සකට කලින් සෝභිත හාමුදුරුවන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ ප්‍රකාශ කර තිබුණා නිදහස ලැබීමෙන් පසු අපේ රටේ සිංහල නායකයන් තමන්ගෙ බලය වෙන කිසිවකු සමග බෙදාහදා ගැනීමට අකමැතිවීම මේ ප්‍රශ්නයට මුල කියල. මම හිතන්නෙ ඒක තමයි නියම ඇත්ත. සන්ධීය රාජ්‍යයකට යැම මේ ප්‍රශ්නයට විසඳුමක්‌ද නැද්ද කියන එක බරපතළ ලෙස සාකච්ඡාවට භාජනය විය යුතු කාරණයක්‌. කිසියම් ප්‍රමාණයකට බලපංගුකාරිත්වයක්‌ මේ රටේ ඇති නොකර මේ ප්‍රශ්නය විසඳන්න අමාරුයි.

විද්වත් හමුව, සාකච්ඡා කළේ පාලිත සේනානායක
http://www.divaina.com/2013/09/15/politics04.html

සබැඳි ලිපි -
[
විග්නේෂ්වරන් එල්ලුන ස්‌වයංපාලන හොල්මන! - TNA උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංෂිප්තයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_11.htmlකොළඹ ආණ්‌ඩුව උතුරෙන් පලවා හැරීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9566.htmlඊළාම් විස කැවූ දෙමළ සන්ධාන මැතිවරණ ප්‍රකාශනය
http://denethharinna.blogspot.com/2013/09/blog-post_10.html
දෙමළ ඊළාම් බෙදුම්වාදයේ දෙවැනි ඉනිම පරාජය කිරීමට රටම පෙළගැසිය යුතුයි - චම්පිකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9181.htmlදෙමළ ජාතික සන්ධානය රට දෙකඩ කිරීමට සැලසුම් කර ඇති බව දේශපාලනඥයන්ට වැටහෙන්නේ නැහැ - වසන්ත බණ්‌ඩාරhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_3580.htmlටී. එන්. ඒ. ප්‍රකාශනයට පක්ෂ බහුතරයක්‌ විරුද්ධයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9.htmlඅප ඔවුන් හමුවිය යුත්තේ නන්දිකඩාල් කලපුවේදීමද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_5902.htmlද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක්‌ ගොඩනැගීමේ අරමුණයි - අනුර කුමාර දිසානායකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.htmlඉඩම් - පොලිස්‌ - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම ස්‌වයං පාලනයක්‌ ටීඑන්ඒ ඉල්ලයි. "ෆෙඩරල් ක්‍රමය යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධත් කළ යුතුයි"http://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.html
]

0 comments: