Pages

Monday, September 16, 2013

පැරණි පරාක්‍රම සමුද්‍රය, දැන් මෙන් 3 ගුණයක් විශාලයි.පරාක්‍රම සමුද්‍රය මෙන් 50 ගුණයක්‌ විශාල ජලාශයක්‌ එයට පහළින් තිබුනා.

තවත් අවුරුදු 5 ක්‌ ගියතැනදී මේ ඉතිහාසයේ සාධක සියල්ල මැකී යනවා. අපි නොදන්නාකමින් මේ ඉතිහාස සාධක වනසාගෙන වර්තමානය ගොඩනගමින් ඉන්නවා. මට අවශ්‍ය මේ සාධක විනාශ වී යන්න කළින් ඒ හෙළි නොවුණු, නැතිනම් පැහැදිලි වී නැති පොළොන්නරු ඉතිහාසය වඩාත් පැහැදිලි කර හෙළිකිරීමටයි. මේ විදිහේ වෙනස්‌ මතයක්‌ ගෙන එමින් මට සමාජයේ කථා බහට ලක්‌වෙන චරිතයක්‌ වෙන්න අවශ්‍ය නැහැ. ඒත් සමාජය මෙතෙක්‌ කථා නොකර සිටි අතීතයක්‌ ගැන සාධක සහිතව මම කථා කරනවා. මගේ මේ පැහැදිලි කිරීම් වලින් එක්‌කෝ සදහටම වැලලිලා යන්න තිබුණු අතීතයක්‌ යළි ගොඩගන්න පුළුවන් වෙයි. නැතිනම් අතීතයේ පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් වර්තමානය ගොඩනගාගන්න පුළුවන් වෙයි'

ඔහු කථා කරන්නේ හදවතිනි. ඉන්දික නුවන් මානවඩු නමැති මේ 34 වියෑති යෞවනයා සිය ජීවිතයේ ගෙවුණු වසර 14 කම කාලය ගතකරන්නේ පොළොන්නරුවේ ඉතිහාසය ගවේෂණය කිරීම පිණිසය. ගොවි ජනපද බිහිවීමටද පෙර සිට පොළොන්නරුවේ මුල් පදිංචිකරුවන් වූ සිය මව් පාර්ශ්වයෙන් ඇසුන කථා ඔස්‌සේ විමසිලිමත් දෑසින් යුතුව පුලතිසි පුරවරය සිසාරා බැලු ඔහුට යමක්‌ හැඟුණි. ඒ ඉතිහාසයක්‌ ලෙස අප හෙළිකරගෙන ඇති දෙයට වඩා වෙනස්‌ දෙයක්‌ මෙහි ඇති බවයි. ඉතිහාසය විෂයක්‌ ලෙසින් හදාරා නොමැති වුවත් ඉතිහාසය ගැන ලියෑවුණු පොත්පත්, පරිශීලනය කළ මේ තරුණයාට තමා විශේෂ කොට දකින පොළොන්නරුවේ වාරි ශිෂ්ටාචාරය සහ පොළොන්නරු රාජධානියත් එම ලිත ඉතිහාසයත් මනාව පෑහෙන තැන් පෙනෙන්නට විය. නමුත් විද්වතුන් යෑයි පිළිගැනීමට ලක්‌වන උදවිය විසින් අනාවරණය කරගෙන නොමැති ඉතිහාසයක්‌ ගැන මේ 'කජු කිරි කොල්ලකු' කියනා කථා බොහෝ දෙනා ගත්තේ අවඥාවෙනි. එහෙත් ඔහු උකටලී නොවීය. 

උපාධි නැති මේ ඉතිහාස ගවේෂකයාගේ ගවේෂණ රථය හිම කිරම විකුණන ත්‍රිරෝද රියක්‌ විය. දශක එකහමාරකට ආසන්න කාලයක්‌ ත්‍රිරෝද රියේ නැගී අයිස්‌ ක්‍රීම් විකිණීමට ඔහු කරක්‌ නොගැසූ තැනක්‌ නොවීය. අස්‌වනු කැපෙන කාලයට, කුඹුරු කරන කාලයට ඔහු සිය ජීවිකාව සරිකරගැනීමට ඒ සියලු තැන්හී සරණ අතරේ දිනපතා තම ඇසට පෙනෙන සාධක ඔස්‌සේ පොළොන්නරුවේ ඉතිහාසය ගැන චිත්‍රයක්‌ ඔහුගේ සිතේ මැවුණි. එයට ප්‍රබල සාක්‍ෂි සපයන පිහිටීම් ඔහු සොයාගත්තේය. ඔහු ඒවා ඉතා ප්‍රායෝගිකව ඉදිරිපත් කරන විට පෙර පරිදි අවඥාවට ලක්‌කිරීම් අවම විය. අභියෝග අවම විය. අවසානයේ ඔහුගේ ගවේශනවල ප්‍රබලත්වය මත පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඒවායින් සමහරකට පිළිගැනීමක්‌ දී ඉන්දික නුවන් මානවඩුගේ එම මත එහි සඟරාවට පවා ඇතුළත් කළේය. මේ වන විට ගවේශනය සඳහා අවශ්‍ය බලපත්‍රයක්‌ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඔහුට නිකුත් කර තිබේ. 

මේ දිගහැරෙන්නේ පොළොන්නරු රජාධානිය සහ එහි වාරි ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කරන මත අතරින් කිහිපයකි.

එදා පරාක්‍රම සමුද්‍රය අද අප දකින පරාක්‍රම සමුද්‍රය මෙන් තුන් ගුණයක්‌ විශාල විය.

එදා පරාක්‍රම සමුද්‍රය ඉදිවුණේ වගාව සඳහා ජලය ලබාදීමට නොවේ. 

එකල පොළොන්නරුව ජල දුර්ගවලින් ආරක්‍ෂිත දූපත් රාජධානියක්‌ වශයෙන් පවත්වාගෙන ගියේය.

පුරාණයේ මුහුදේ සිට පරාක්‍රම සමුද්‍රය දක්‌වා නාවික ගමන් මාර්ගයක්‌ සක්‍රියව පැවතුනි.

පරාක්‍රම සමුද්‍රය මෙන් 50 ගුණයක්‌ විශාල ජලාශයක්‌ එයට පහළින් ඉදිකර තිබුණි. අහසින් වැටෙන එකදු ජල බිඳක්‌වත් ප්‍රයෝජනයකින් තොරව මුහුදට නොයෑවිය යුතුය යන පරාක්‍රමබාහු රජතුමාගේ සංකල්පය ක්‍රියාත්මක වුණේද, වසර පුරාම දැවැන්ත ජල සංචිතයක්‌ රඳවා තිබූ බැවින් වගාවන් සඳහා කිසිදු හිඟයකින් තොරව ජලය ලබාදීමට හැකිවුණේද, එමගින් පෙරදිග ධාන්‍යාගාරය බවට ශ්‍රී ලංකාව පත්වුණේද එකී පරාක්‍රම සමුද්‍රය මෙන් 50 ගුණයක්‌ විශාල ජලාශය නිසාය.

අද වන විට සෑම වැසි සමයකදීම ජලයෙන් යටවන සෝමාවතියට එදා එවැනි පීඩාවක්‌ නොවුණේද මෙකී සුවිශාල ජලාශයෙන් සමස්‌ත වැසි ජලය රඳවාගත් බැවිනි. 

'ඔබට ඉතිsහාසය සොයා යැමේ 'උණ' වැළඳෙන්නේ කොහොමද? මොන කාලයේදීද?' 

සිනහවෙන් සැහැල්ලුවෙන් මම ඔහු සමග සංවාදයට ගොඩවැදුනෙමි.

'මගේ අම්මලා වසර සිය ගණනක්‌ තිස්‌සේ පොළොන්නරුවේ පදිංචි පරම්පරාවක්‌. මම උපදින්නෙත් පොළොන්නරුවේ. මම හැදුනේ වැඩුනෙත් පොළොන්නරුවේ. වසර 14 කට වැඩි කාලයක්‌ මම මේ නටබුන්, පිහිටීම් දෙස බලන්හිsටියා. ඒවා මනා ලෙස එකිනෙකට ගැලපුනා. එවිට තමයි මට දැනෙන්න, අවබෝධ වෙන්න ගත්තේ අපි අද පවසන ඉතිහාසයට වඩා වෙනස්‌ ඉතිහාසයක්‌ මේ පොළොන්නරුවට තිබුණා කියල. මේ දේ දැනෙන්න ගත්තට පස්‌සේ මම චූලවංශය වගේ ඉතිහාසය ගැන ලියෑවුණු දේ කියවන්නට ගත්තා. ඒවායේ සඳහන් සාධකත්, මට පෙනුණු දේත් මනාව ගැලපුනා. පොළොන්නරුවේ වාරි ශිෂ්ටාචාරය සහ පොළොන්නරු රාජධානිය ගැන මට විශ්වාසනීය අවබෝධයක්‌ ගොඩනැගුණා. මම දැනට වසර 2 කට පමණ පෙරයි ඒ මම දකින ඉතිහාසය ඉදිරිපත් කරන්න පටන් ගත්තේ'

'කොහොමද ලැබුණු ප්‍රතිචාර?' මම දෙවැනි පැනය ඉදිරිපත් කළෙමි.

'මම ඉදිරිපත් කරන සාධක ගැන කිසිවක්‌ නොවිමසා දැඩි විවේචන එල්ලවීමයි මුලින්ම සිදුවුණේ. මම එවිට මාධ්‍යයෙන් සාධාරණයක්‌ බලාපොරොත්තු වුණත් ඒතැනත් බොහෝවිට සිදුවුණේ විවේචන හෝ විකෘති කිරීම්. සමහරක්‌ මාධ්‍ය මම ඉදිරිපත් කරන ඉතිහාස සාධක වල සාධනීය බව සම්පූර්ණයෙන්ම වසන් කරලා මම පෙර ආත්මීය භවයක හුරුව ප්‍රකාශ කරන 'අද්භූත මිනිසෙක්‌' කියලා හැඟෙන ආකාරයට මා ඉදිරිපත් කළ මතය 'මාර්කට්‌' කළා. ඉතිහාසය සොයන උගත් පිරිස්‌ මගේ මතයන් අභියෝගයට ලක්‌කරමින් ඒ ගැන සොයන්න ආවා. නමුත් මම දැනට ඉතිරිව ඇති සාධක පෙන්වමින් ඒ අයට මා දකින ඉතිහාසය ඉදිරිපත් කරද්දී ඔවුන් නිහඬවුණා. ඒ නිහඬවීම කියන්නේ තමන් එතෙක්‌ දරාගෙන ආපු මතයන්ට පිටින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එකඟවීමක්‌ කියලයි මම හිතන්නේ. විටෙක පුදුමයි. මම නොසිතූ ඉක්‌මනින් ඒ විවේචන අවසන් වුණා. අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මට සහයෝගයත් ලැබෙනවා.

පරාක්‍රම සමුද්‍රය යනු අද අප දකින පරාක්‍රම සමුද්‍රයෙන් එහා ගිය විශිෂ්ට නිර්මාණයක්‌ වූ බව ඉන්දික ප්‍රකාශ කරන මතයකි. ඔහු පවසන ආකාරයට පරාක්‍රම සමුද්‍රය එදා ඉදිවූයේ අද අප ඉන් ලබන ප්‍රයෝජනයට බොහෝ එහා ගිය පරමාර්ථ සහිතවය. ඒ අනුව මහාවංශය, චූලවංශය ආදී ඉතිහාස ලියෑවිලි ස්‌වභාවෝක්‌තිය ඉක්‌මවා ගිය අතිශයෝක්‌තියකින් ලියා තිබුණා යෑයි යමෙක්‌ පැවසුවහොත් එය අසාධාරණ බව ඉන්දිකගේ මතයෙන් හැඟීයයි. අපට හෙළි කරගැනීමට නොහැකිවීම මත ඒ විශිෂ්ට ඉතිහාසය අතිශයෝක්‌තියක්‌ බව පැවසීම හෝ ඉතිහාසයෙන් ශේෂවූ යමක්‌ (නටබුන්) දුටු පමණින් ඒවා ඉතිහාසය ලියෑවුණු තැන්හී සඳහන් ස්‌ථාන සමග සමකිරීම නොකළ යුතු බව ඔහු සාධක සහිතව අපට පෙන්වයි. 

'අපි හිතන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා රට සහලින් ස්‌වයපෝෂිත කළේ, පිටරටට පවා සහල් යෑව්වේ මේ පරාක්‍රම සමුද්‍රය යොදාගෙනය කියලයි. අපි ඉතිහාසය හදාරන පසුගිය වසර හැටක හැත්තෑවකම කාලය පුරා අපි හිතුවේ වැවක්‌ හදන්නේ වගාව සඳහා ජලය ලබාගන්නය කියලයි. නමුත් මට හැඟීයන ඉතිහාස කරුණුවලට අනුව පළවෙනි වතාවට ඒ අරමුණින් බැහැරවූ වැවක්‌ මහා පරාක්‍රමබාහු රජතුමා ඉදිකරනවා. පොළොන්නරු රාජධානිය බිඳවැටී මෙය වසර සිය ගණනක්‌ පුරා වල්බිහිවී, වැව් අමුණු කැඩී බිඳී යැමත් සමග මේ අපූරු ඉතිහාසයේ වටිනා තැන් අපෙන් වසන් වෙනවා. බ්‍රොaහියර් මහත්තයා සහ ඉන්පසුව කෙරුණු ප්‍රතිසංස්‌කරණ වලට ලක්‌වුණේ පරාක්‍රම සමුද්‍රයෙන් තුනෙන් එකක කොටසක්‌ විතරයි. මගේ මතයට අනුව පරාක්‍රම සමුද්‍රය කියන්නේ මේ වගේ තුන් ගුණයක්‌ විශාල ජලාශයක්‌. අද අපි දකින පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම කිලෝමීටර 12.5 ක්‌ පමණයි. එහි එක්‌ කොණක්‌ කළහගල සීමාවෙන් ඉවරවෙනවා. නමුත් ඉන් කිලෝමීටර 3 කට වැඩි දුරකට හෙවත් අංගමැඩිල්ල දක්‌වා මේ වැව් බැම්ම තිබිලා තියෙනවා. පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ තැනින් තැන තිබෙනවා 'දාවත කණු' නමින් හැඳින්වෙන සෙල් ලිපි විශේෂයක්‌. ඒ එක්‌ කණුවක සිට අනෙක්‌ කණුවට ඇති දුර, අනුරාධපුර යුගයේ වැව් බැමි වල දුරට සාපේක්‍ෂ වශයෙන් දක්‌වා තිබෙනවා. පරාක්‍රම සමුද්‍රයට අයත් මේ දාවත කණු පැරණි බිසෝකොටු සහ රළපනා ආදිය ඒ කිලෝමීටර 3 කට වැඩි දුරක්‌ අද වන විට අක්‍රියව වල්බිහිවෙමින්, විනාශ වෙමින් පවතින වැව් බැම්මක්‌ මතින් විහිදී යනවා. ඒ සාධක වලින් මනාව පැහැදිලි වෙනවා පරාක්‍රම සමුද්‍රය දකුණු දෙසින් මෙයට වඩා ඈතට විහිදුණු බව. මෙයට අමතරව තවත් කිලෝමීටර 8 කට වැඩි දුරක්‌ උතුරු දිශාවටත් ඒ වගේම බිසෝ කොටු, රළපනා, ආදිය සහිතව අක්‍රිය වැව් බැම්ම විහිදෙනවා'

අද එලෙස උතුරින් සහ දකුණින් වෙන්ව පවතින පස්‌ බැමි පරාක්‍රම සමුද්‍රයේම වැව් බැම්මද, නොඑසේනම් විනාශවී ගිය වෙනත් වැව් වල බැමිද යන පැනයට ඔහු භූ විද්‍යාවට අනුව පිළිතුරක්‌ දෙයි. 

මතු සම්බන්ධයි. ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2013/09/15/feature03.html

0 comments: