Pages

Wednesday, September 25, 2013

ස්විට්සර්ලන්තයේ කලාපයක මුස්ලිම් කාන්තා මුහුණු ආවරණ තහනම් කරයි

ස්විට්සර්ලන්තයේ ටිචිනෝ පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ මුහුණු ආවරණ පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් ජනමත විචාරණයක් හරහා සම්මත කර ඇතැයි වාර්තා වේ.  දකුණු ස්විට්සර්ලන්තයේ පිහිටා ඇති ටිචිනෝ පරිපාලන ප‍්‍රදේශය තුළ ඉතාලි භාෂාව භාවිතා කෙරෙන අතර ජියෝර්ජියෝ ගිරින්ගෙල්ලි විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට ඡුන්දදායකයන්ගෙන් 2/3ක් පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කර තිබේ.

ස්විට්සර්ලන්තයේ ක‍්‍රියාත්මක වන සෘජු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදවයන්ට අනුව මෙසේ පණත් සම්මත කළ හැකි අතර එය ක‍්‍රියාවට නැංවිය හැක්කේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් පමණි. 2012දීද බුර්කා ඇඳුම තහනම් කරන ලෙසට ඉදිරිපත්වූ මෙවැනිම යෝජනාවක් ස්විස් පාර්ලිමේන්තුව විසින් ප‍්‍රතික්‍ෂෙප කළ බව වාර්තා වේ.

එරට ක‍්‍රියාත්මක වන විශාලතම දේශපාලන පක්ෂය වන ජනතා පක්ෂ නියෝජිතය්නගේද සහය මුහුණු ආවරණ තහනම් කිරීමේ යෝජනාවට ලැබී තිබේ.  කෙසේවෙතත් මානව හිමිකම් සංවිධාන විසින් මෙම පියවර දැඩි ලෙස හෙළා දැක ඇතැයි වාර්තා වේ.  ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසා ඇත්තේ මෙය ටිචිනෝහි අඳුරු දිනයක් වන බවයි.

ස්විට්සර්ලන්ත ජනගහනයෙන් 5%ක ප‍්‍රමාණයක් එනම් ලක්ෂ 4ක පමණ මුස්ලිම් ජනගහනයකින් සමන්විත වන අතර මෙම තහනම ඉස්ලාම් භීතිකාවේ පැහැදිලි ප‍්‍රකාශනයක් බව ස්විස් මධ්‍ය ඉස්ලාමික කවුන්සිලය පවසා ඇත.  ස්විට්ස්ර්ලන්ත මුස්ලිම් ජනයාගේ ජීවිත අපහසුවට පත්කිරීමේ පියවරයන් දාමයක එකක් බවද එම සංවිධානයේ මතයයි.

September 24, 2013 at 1:45 pm | lanka C news

0 comments: