Pages

Friday, September 20, 2013

සිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

දුම්වැටි භාවිත කරන්නන් දිනපතාම මරණයට පත්වන නිසා සහ තරුණ පිරිස දුම්වැටි භාවිතයට යොමුවන නිසා සිගරට්‌ පැකට්‌ටුව මත සියයට 80 ක්‌ ආවරණය වන සේ රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මනින් ක්‍රියාත්මකවනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කර සිටී.

මේ පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ප්‍රධාන සභාවේ සහ එහි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ විශේෂඥ කමිටුවේ ස්‌ථාවරය ඉදිරිපත් කරමින් එම සභාවේ සභාපති වෛද්‍ය බී. ඡේ. සී. පෙරේරා මහතාගේ අත්සනින් යුතු නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ වසරකට දුම්කොළ භාවිතය නිසා ඇතිවන රෝගවලින් මියයන සංඛ්‍යාව 12,000 ත් 20,000 ත් අතර වන බව ගණනය කර ඇත. මීට අමතරව හෘද රෝග, ආඝාතය, (අංශභාගය) හා පිළිකා වැනි දුම්කොළ භාවිතය නිසා වැළදෙන රෝග නිසා විශාල පිරිසක්‌ රෝහල්ගත කෙරිණි. දුම්වැටි දුමාරයට ගොදුරුවීම නිසා සෑදෙන රෝගවලින් ළමයි විශාල සංඛ්‍යාවක්‌ ද රෝහල් ගතකෙරේ. රෝහල් ගතවීම හා ප්‍රතිකාර සඳහා තමන් ඉතා කැපවීමෙන් උපයාගත් මුදල් වියදම් කිරීමට එම පවුල්වලට සිදුවේ.

සිගරට්‌ පැකට්‌ටුවල ඉදිරිපස හා පසුපස මුහුණත්වලින් 80% ක්‌ ආවරණය වන පරිදි දුම්වැටි නිසා සිදුවන හානිය දක්‌වන රූපමය අවවාද ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය ඇමැතිතුමා ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කිරීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත්වෙමු. ඊට ප්‍රධානතම හේතුව වන්නේ ළමයින් දුම්පානයට යොමුවීම වැළැක්‌වීමටත්, දුම්වැටි භාවිතා කරන්නන් ඉන් මුදා ගැනීමටත් සිගරට්‌ පැකට්‌ටුව මත යොදන රූපමය අවවාද විශාල බලපෑමක්‌ සිදු කරන බැවිනි. මෙම ප්‍රතිඵලය ප්‍රශස්‌ත මට්‌ටමින් ලබා ගැනීම සඳහා මෙම අවවාද සිගරට්‌ පැකට්‌ටුවල ප්‍රධාන මුහුණත් 80%වත් ආවරණය කළ යුතු බව පර්යේෂණවලින් සනාථ කර ඇත. මෙවැනි අවවාද ඇති සිගරට්‌ පැකට්‌ටු දර්ශනීය ලෙස ළමයින් හා වැඩිහිටියන් ගැවසෙන සාමාන්‍ය හා සුපිරි වෙළෙඳසල්වල ප්‍රදර්ශනය කිරීම ද දුම්කොළ සමාගම්වලට ගැටලුසහගත වේ.

දුම්කොළ කර්මාන්තයේ දැඩි විරෝධය මැද වුවත් මෙම පියවර ගැනීමට රජය ඉදිරිපත් වීම පිළිබඳව අපි කෘතඥ වෙමු. නමුත් මෙය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග එම කර්මාන්තය විසින් ගන්නා බවට හැඟීමක්‌ද අප තුළ පවතී.

අද වනවිට ආසියාවේ, අප්‍රිකාවේ, යුරෝපයේ සහ උතුරු සහ දකුණු ඇමරිකාවේ රටවල් 50කට අධික ප්‍රමාණයක්‌ දුම්කොළ කර්මාන්තයේ විරෝධය මැද රූපමය අවවාද ක්‍රියාත්මක කර ඇත. ඉහත කරුණු නිසා පැකැට්‌ටුවේ ප්‍රධාන මුහුණත් 80% ක්‌ ආවරණය වන පරිදි රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම හා දුම්වැටි තුළ අඩංගු විෂ සහිත සංඝටක දුම්වැටි පැකැට්‌ටුවල ප්‍රදර්ශනය කිරීමට රජය ගෙන ඇති පියවරට පූර්ණ සහයෝගය පළකර සිටිමු. ඒ අතරම මෙම ගැසට්‌ නිවේදනය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාදවීම අපගේ අවධානයට යොමුවී ඇත. මෙම ගැසට්‌ නිවේදනය නිකුත් කර දැනට වසරක පමණ කාලයක්‌ ගතවී තිබේ.

දිනපතාම, දුම්වැටි භාවිතා කරන්නන් මරණයට පත්වන නිසාත්. තරුණ කොටස්‌ දුම්වැටි භාවිතයට යොමුවන නිසාත් මෙම පියවර ඉක්‌මණින් ක්‍රියාත්මක වේ යෑයි අපි බලාපොරොත්තු වෙමු.

http://www.divaina.com/2013/09/19/news31.html

0 comments: