Pages

Monday, September 30, 2013

ගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'

මහවැලි ජලයෙන් ගොවිතැන් කෙරෙන කලාපයක්‌ වන දෙහිඅත්තකණ්‌ඩියේ 'වකුගඩු මාවත' නමැති පාරක්‌ තිබේ. මේ හැර දෙපස තිබෙන හැම ගෙදරකම පාහේ අවම වශයෙන් වකුගඩු රෝගී එක්‌ අයෙක්‌වත් වෙයි. වකුගඩු මාවත යන නම තබන ලද්දේ දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය සභාව නොව ප්‍රදේශවාසී ජනයා ය. එය අපහාසයට තබන ලද නමක්‌ නොව කෝපය සහ විරෝධය පෙන්වීම සඳහා තැබූවකි.

ශ්‍රී ලංකාවේ රජරට වකුගඩු රෝග බහුල වීමට හේතුව මෑතක්‌ වනතුරුම මතභේදයට ලක්‌වූවකි. එයට, ආසනික්‌ වගකිව යුතු යෑයි එක්‌ කණ්‌ඩායමක්‌ කියූ අතර එසේ නොවේ යෑයි තව කණ්‌ඩායමක්‌ කීය. අන්තිමේදී ආසනික්‌ කණ්‌ඩායම සහ එසේ නොවන කණ්‌ඩායම ගහ මරා ගන්නා තත්ත්වයක්‌ උද්ගත විය. ඒ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගැන පර්යේෂණයක්‌ කළේය. පර්යේෂණ වාර්තාවට අනුව හෙළි වූයේ මෙරට වකුගඩු රෝගීන්ගෙන් 88% කගේ මුත්‍ර සාම්පල තුළ ආසනික්‌/ කැඩ්මියම් තිබූ බව ය. එම රෝගීන් එදිනෙදා පරිහරණය කරන ජලයෙන් 99% ක ප්‍රමාණයක්‌ තුළ 'බැර' තත්ත්වයක්‌ විය. එහි තේරුම එම ජලය තුළ ලෝහමය විස පවත්නා බව ය. (න්‍යෂ්ටික බලාගාරවලින් නිකුත් කරන බැර ජලය සහ ආසනික්‌/ කැඩ්මියම් විස පවත්නා බැර ජලය අතර විශාල වෙනසක්‌ ඇත. මේ දෙක පටලවා නොගත යුතු ය.)

ලංකාවේ වකුගඩු රෝගවලට ආසනික්‌ වගකිවයුතු බව මුලින්ම කියන ලද්දේ ඒ ගැන පර්යේෂණයක්‌ කළ මහාචාර්ය නලින් ද සිල්වාගේ කණ්‌ඩායම ය. එහෙත් ඔහුගේ දත්ත මූලය විඥනවාදී යෑයි කියූ ආසනික්‌ නොවන කණ්‌ඩායම වකුගඩු රෝගයට පිළියම් යෙදීම පසෙක තබා ඔහුට පහරදීමට පටන් ගත්හ. දත්ත මූලය විඥ්ඥනවාදී වේවා භෞතිකවාදී වේවා එයින් කියෑවෙන්නේ ඇත්ත නම් මක්‌ වුණාම මොකද? එහෙත් අපි හේතුව ගැන නොව පලය ගැන පමණක්‌ විමසන ජාතියක්‌ වෙමු. ඒ නිසා නලින් සිල්වාට 'කෙළීමේ' න්‍යාය පත්‍රය උඩ ආවේය. ඒ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන අතර වකුගඩු රෝගය යළි යළිත් පැතිර ගියේය.

වකුගඩු යනු ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍ය ඉන්ද්‍රියකි. නෆ්රෝන් නමැති ඉතා කුඩා නළ තිස්‌ ලක්‍ෂයක්‌ වකුගඩු දෙක තුළ තිබේ. මේවායින් කෙරෙන්නේ රුධිරයේ ඇති අපද්‍රව්‍ය වෙන් කර මුත්‍ර මාර්ගයට එක්‌ කිරීම ය. එහෙත් වකුගඩු නරක්‌ වූ විට එම ක්‍රියාවලිය සිදුවන්නේ නැත. එවිට ශරීරයෙන් බැහැර විය යුතු විෂ සහිත කොටස්‌ රුධිරය සමඟ එකතු වී ඇඟ පුරාම පැතිර යයි. චර්ම රෝගවල සිට අට අනූවක්‌ රෝග මේ මගින් හට ගනියි. සාමාන්‍යයෙන් කෙනකුට නිරෝගී ජීවිතයක්‌ ගතකිරීමට අවශ්‍ය වන්නේ නෆ්රෝන් දශලක්‍ෂයක්‌ පමණි. වකුගඩු නරක්‌ වීම යනුවෙන් හඳුන්වන්නේ එම දශ ලක්‍ෂය පමණක්‌ නොව අමතර නෆ්රෝන විසි ලක්‍ෂය ද නරක්‌ වීම ය.

කසිප්පුකාරයන්ට, මත්පැන් පානය කරන වෙනත් බේබද්දන්ට ද වකුගඩු රෝග සැදෙයි. එය තමන් කරන එකී පවු උදෙසා ස්‌වභාවධර්මය ඔවුන්ට ලබාදෙන දඬුවමක්‌ ලෙස සලකා හිත හදා ගැනීමට හැකි ය. එහෙත් රජරට අසරණ ජනයාට වකුගඩු රෝග වැළඳීම නම් ඉතාම අසාධාරණ ය. ඔවුන්ගේ සිරුරු තුළට කැඩ්මියම් සහ ආසනික්‌ යන්නේ කුඹුරුවලට ඉසින කෘමි නාශකවලින් බව අපි දැනටමත් දනිමු.

අප ඉහත සඳහන් ඡේද කිහිපය ලියන ලද්දේ වකුගඩු කොමිසමක්‌ පත්කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කළ ඉල්ලීමක්‌ දැකීමෙනි. මේ කොමිසම සාක්‍ෂි විභාග කර, වාර්තා සාදා ඒවා බලධාරීන්ට ඉදිරිපත් කරන විට දැනට සිටින වකුගඩු රෝගීන්ගෙන් 75% ක්‌ ඉවරය. ඒ නිසා කෙරෙන යමක්‌ ගැන කතා කරමු.

දිවයින කතුවැකිය - http://www.divaina.com/2013/09/30/editor.html

සබැඳි ලිපි -
[
වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.html
අතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html

]

0 comments: