Pages

Sunday, September 29, 2013

විග්නේෂ්වරන්, උතුර සහ ඉන්දියාව

බලාපොරොත්තු වූ පරිදිම උතුරු පළාත් සභාවේ ජය දෙමළ සන්ධානයට හිමි විය. 1988 න් පසු උතුරේ පළාත් සභා මැතිවරණයක්‌ පැවැත්වුණේ ඉකුත් 21 වැනිදාය. දෙමළ ජනයා මහත් උනන්දුවෙන් ඡන්දය භාවිතා කළ අතර එම පළාතේ මන්ත්‍රී ආසන 38 න් 30 ක්‌ම දෙමළ සන්ධානය විසින් දිනා ගැනීම සුවිශේෂ තත්ත්වයකි. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට ආසන 7 ක්‌ද මුස්‌ලිම් කොංග්‍රසයට එක්‌ ආසනයක්‌ද හිමි විය. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේෂ්වරන් මහතාට වැඩිම මනාප හිමි වූ අතර ඔහු මහඇමැති තනතුරට පත්කරන බව දෙමළ සන්ධානය නිවේදනය කර හමාරය.

මැතිවරණය ජයග්‍රහණයෙන් අනතුරුව යාපනයේදී සිංහලෙන් අදහස්‌ දැක්‌වූ විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර සිටියේ තමන් කොළඹ ආණ්‌ඩුවත් සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බවය. ඇත්තෙන්ම විග්නේෂ්වරන් මහතා තමන් වර්ධරාජා පෙරුමාල් කෙනකු ලෙස කටයුතු කළ හොත් සිදුවන්නේ කුමක්‌ද? නොබෝ කලකින්ම මේ පළාත් සභාව විසුරුවා හැරීමට රජයට සිදුවීමයි. ලංකා ආණ්‌ඩුව බිලියන ගණනින් මුදල් වැය කර උතුර සංවර්ධනය කළද සන්ධානයට ඒ සංවර්ධනයට ප්‍රතිඋපකාර වශයෙන් ඡන්ද ලැබුණේ නැත. දෙමළ මතය අපට බලහත්කාරයෙන් වෙනස්‌ කළ නොහැකිය. එම නිසා විග්නේෂ්වරන් මහතාගේ උතුරු පළාත් සභාවේ ක්‍රියා කලාපය දෙසද මැදහත් සිතින් බැලීමට පුරුදු විය යුතුය. එහෙත් ඔහුට අවශ්‍ය ලෙස උතුරේ ආණ්‌ඩුකාරවරයා වෙනස්‌ කිරීමට හෝ උතුරු හමුදා කඳවුරු වෙනස්‌ කිරීමට ඉඩදිය යුතු නැත. විග්නේෂ්වරන් මහතා මධ්‍යස්‌ථ මතධාරියකු ලෙස කොළඹ ආණ්‌ඩුව සමග සහයෝගිව කටයුතු කිරීමට තීරණය කිරීම වඩා යහපත් බව 'ද හින්දු' පුවත්පත ඉකුත් 24 වැනිදා සිය කතුවැකිය මගින්ද ප්‍රකාශ කර තිබිණි. මේ මධ්‍යස්‌ථභාවය පිළිබඳව කොටි හිතවාදී බලවේගවල කනස්‌සල්ලක්‌ දැන් සිටම පැන නැගී ඇති බව පෙනෙන්නේ ටැමිල්නෙට්‌ වෙබ් අඩවිය මගින් පත්වීමට නියමිත මහ ඇමැතිවරයාට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති නිසාය. විශේෂයෙන් ඉන්දීය අගමැති මන්මෝහන් සින් මහතා පොදුරාජ්‍ය මණ්‌ඩලීය සමුළුවට සහභාගිවීම සඳහා කොළඹට පැමිණිය යුතු බව විග්නේෂ්වරන් මහතා පැවසීම කොටි හිතවාදී බලවේගවල කෝපයට හේතුවී තිබේ. නමුත් අප මේ ප්‍රකාශය සැබවින්ම අගය කළ යුතුය.

දෙමළ සන්ධානයේ ජයග්‍රහණය පිළිබඳව ඉන්දීය රජය නම් පැහැදිලිව සතුටුවන බව අමුතුවෙන් කිවයුතු නැත. ඔවුන් කනගාටු වන්නේ හදිසියේ හෝ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය උතුරු පළාත් සභාවේ බලය ලබා ගත්තා නම් පමණි. දෙමළ ජාතික සන්ධානයේ වර්ගවාදී මන්ත්‍රීවරයකුට වඩා දැන උගත් ප්‍රභූ පුද්ගලයකු උතුරේ මහ ඇමැති අපේක්‍ෂකයා ලෙස පත්කිරීම ඉන්දීය තානාපති අංශවලද බලාපොරොත්තුව විය. එනිසාම මාවෙයි සේනාධිරාජා වෙනුවට කොළඹ කේම්බ්‍රිඡ් පෙදෙසේ වෙසෙන විග්නේෂ්වරන්ට කැමැත්ත පළ විය. දැන් දිල්ලිය වඩා උනන්දුවෙන් බලා සිටින්නේ විග්නේෂ්වරන් මහතා තම කාර්යභාරය කෙළෙස ඉදිරියට ගෙනයයිද යන්න පිළිබඳවය. ප්‍රභාකරන්ගේ අවතාරයෙන් මිදී බෙදුම්වාදයද අතහැර වඩා පුළුල් මනසකින් යුක්‌තව කොළඹ ආණ්‌ඩුවත් සමග ගනුදෙනු කළ හැකි හොඳම පුද්ගලයා වන්නේ විග්නේෂ්වරන් බව ඉන්දීය හමුදා ඔත්තු සේවයේ හිටපු ප්‍රධානියකු වන කර්නල් ආර්. හරිහරන් ප්‍රකාශ කර තිබිණි. 1988 දී ඉන්දියාවට මෙවැනි ප්‍රභූ උගත් පුද්ගලයකු සිටියේ නැත. එදා සිටියේ කැලයෙන් එළියට බට වර්ධරාජා පෙරුමාල්ය.

මහඇමැති තනතුරේ වැඩ භාරගත් පසු විග්නේෂ්වරන් මහතා සිය මුල්ම විදේශ සංචාරය ලෙස ඉන්දියාවට යැමට නියමිත බවට දැනටම වාර්තා පළවී ඇත. ඔහු තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් මහත්මිය ද හමුවීමට නියමිතය. ජයලලිතා සැමවිටම උග්‍ර දෙමළ ජාතිවාදයෙන් පෙළෙමින් ශ්‍රී ලංකා රජයට කෙණෙහිලිකම් කිරීමට කටයුතු කළ බව අපට අමතක නැත. ඇය මෙරට පාසල් පාපන්දු කණ්‌ඩායමකට පවා චෙන්නායි නුවර ක්‍රීඩා කිරීමට ඉඩ දුන්නේ නැත. දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සභාව ජයග්‍රහණය කළ විට මුතුවෙල් කරුණානිධි සුබපැතුම් පණිවුඩයක්‌ එක්‌ කළද ජයලලිතා සුබපැතුමක්‌ නිකුත් කළ බවක්‌ අපට අසන්නට දකින්නට ලැබුණේ නැත. කෙසේ නමුත් ලෝකයේම දෙමළ ප්‍රජාවගේ නායිකාව ලෙසට කිරුළු පැළඳීමට උත්සාහ කරන මේ හිටපු නිළිය හමුවීමට විග්නේෂ්වරන් මහතා යැම පිළිබඳව නම් අපට විරෝධයක්‌ පළ කළ නොහැක.

දිල්ලියේ දේශපාලනය රත් වන්නේ තමිල්නාඩුවේ දෙමළ ජාතිවාදී ක්‍රියා කලාපය නිසාය. උතුරු පළාත් සභාවේ ක්‍රියාකලාපය ගැන ජයලලිතා මෙන්ම කරුණානිධිද වඩා උනන්දුවන බව පැහැදිලිය. එම නිසා විග්නේෂ්වරන් මහතා දෙමළ ''අම්මා'' හමුවීමට යැම අනිවාර්ය තත්ත්වයකි. ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය පවා ප්‍රකාශ කරන්නේ විග්නේෂ්වරන් තමිල්නාඩුවේ මතයට වඩා දිල්ලියේ මතයට හිස නමන බවයි. ජයලලිතාගේ දෙමළ ජාතිවාදී දර්ශනය උතුරු පළාත් සභාවේ ක්‍රියාත්මක කළ නොහැක. 

කෙසේ නමුත් විග්නේෂ්වරන් මහතාට මේ මහ ඇමැතිනිය කවර උපදේශයක්‌ ලබාදෙයිද යන්න ගැන අපට අනාවැකි කිව නොහැකිය. උතුරේ ඡන්දදායකයන් 67.5% ක්‌ ඡන්දය භාවිතා කිරීම මගින්ම පෙනී යන්නේ ඔවුන් තුළ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති කැමැත්තයි. උතුරු පළාත් සභාව පිළිබඳව ඔවුන් දැඩි බලාපොරොත්තු තබාගෙන සිටින බව අප අමතක කළ යුතු නැත.

උතුරු පළාත් සභාවත් ඉන්දියාවත් වඩා ප්‍රායෝගික ලෙස කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකා රජය විචක්‌ෂණව කටයුතු කිරීම වැදගත්ය. කොළඹ ආණ්‌ඩුවට ප්‍රහාරයක්‌ එල්ල කිරීම සඳහා ඉන්දියාව යොදා ගන්නා හස්‌තය වන්නේ උතුරු පළාත් සභාවයි. නමුත් උතුරු පළාත් සභාව සමග ගැටුමක්‌ ඇති කර නොගැනීමට රාජපක්‍ෂ ආණ්‌ඩුව සෑම විටම කටයුතු කළ යුතු අතර උතුරේ සංවර්ධන කටයුතුද කිසිම විටක නතර කළ යුතු නැත. ඊනියා දෙමළ ඩයස්‌පෝරාව නම් බලා සිටින්නේ විග්නේෂ්වරන් මහතාද ඊළාම් කොඩිය ඔසවා ගෙන ප්‍රභාකරන්ගේ මන්ත්‍ර යළිත් ජප කිරීම ආරම්භ කරන්නේ කවදාද යන්න පිළිබඳවය. ඒ තත්ත්වය සිදු නොවන බව දැන් සිටම අවබෝධවී ඇති නිසා කොටි හොරණෑවක්‌ වන ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය හරහා දෙමළ මහ ඇමැතිට ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත. දෙමළ ඩයස්‌පෝරාව විග්නේෂ්වරන් මහතාව විවේචනයට පෙළඹීමේ වාසිය ගත යුත්තේ ශ්‍රී ලංකා රජයයි.

ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුව ආණ්‌ඩුව උතුරේ ප්‍රදේශ සංවර්ධනය සඳහා ගෙන ගිය වැඩපිළිවෙළ උතුරු වසන්තය විය. උතුරු වසන්තයෙන් දේශපාලන වාසියක්‌ නම් මහින්ද රාජපක්‍ෂ රජයට ලැබුණේ නැත. දැන් විග්නේෂ්වරන් මහඇමතිවරයා සිය පළාතේ වැසියන්ට උතුරු වසන්තය ඇති කිරීමට ප්‍රමුඛ විය යුතුය. විශේෂයෙන් ඉන්දියාව කෙළින්ම උතුරු පළාත් සභාව හා සම්බන්ධ වී සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනු ඇත. මෙය මධ්‍යම ආණ්‌ඩුව මඳක්‌ කලබල වන තත්ත්වයක්‌ වුවද එය වැළැක්‌විය නොහැක. එවැනි අවස්‌ථාවලදී රජය වඩා බුද්ධිමත්ව ක්‍රියාකළ යුතුය. නමුත් වඩා සාහසිකව ක්‍රියාකළ යුත්තේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නවලදීය. විග්නේෂ්වරන් මහතාට මනාප ලක්‍ෂයක්‌ ලැබුණද උතුරේ හමුදාව පිළිබඳ තීරණ ගැනීමට ඔහුට බලයක්‌ නැත. හමුදාව පිළිබඳ ඔහු සිය ජයග්‍රහණයෙන් පසු කිසිවක්‌ ප්‍රකාශ කර නැත. උතුරේ හමුදා කඳවුරු පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ ජනපතිවරයාට මිස උතුරු පළාත් සභාවට නම් නොවේ.

කවරක්‌ වෙතත් උතුරේ ජනමතයට අපි ගරු කළ යුතුය. දෙමළ සන්ධානයේ ප්‍රතිපත්ති වලට අප එකඟ නොවුනද ඒ ජනතාවගේ දේශපාලන කැමැත්ත බලෙන් වෙනස්‌ කළ නොහැකිය. ප්‍රභාකරන් විනාශ කර දැමුණේ වෙනම රටක්‌ ඇති කිරීමට උත්සාහ කළ නිසාය. දැන් දෙමළ ජනතාව උණ්‌ඩය ගැන නොව ඡන්දය පිළිබඳව විශ්වාසය තබා ඇත. එනිසා අපි උතුරු පළාත් සභාවේ ක්‍රියාමාර්ග කවරක්‌ වේද යන්න පිළිබඳ වඩා අවබෝධයෙන් යුක්‌තව බලා සිටිය යුතුව ඇත.

චතුර පමුණුව
http://www.divaina.com/2013/09/29/politics02.html

සබැඳි ලිපි -
[
උතුරේ ඡන්ද ප්‍රතිඵලය නිවැරැදිව කියවිය යුතුයි!http://denethharinna.blogspot.com/2013/09/blog-post_7045.html(උතුරේ) මැතිවරණ ප්‍රතිඵල කියවීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1455.htmlකොළඹ ආණ්‌ඩුව උතුරෙන් පලවා හැරීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9566.html
විග්නේෂ්වරන් එල්ලුන ස්‌වයංපාලන හොල්මන! - TNA උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංෂිප්තය
http://denethharinna.blogspot.com/2013/09/blog-post_11.html
ඊළාම් විස කැවූ දෙමළ සන්ධාන මැතිවරණ ප්‍රකාශනයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_10.htmlටී. එන්. ඒ. ප්‍රකාශනයට පක්ෂ බහුතරයක්‌ විරුද්ධයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9.htmlඅප ඔවුන් හමුවිය යුත්තේ නන්දිකඩාල් කලපුවේදීමද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_5902.htmlද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක්‌ ගොඩනැගීමේ අරමුණයි - අනුර කුමාර දිසානායකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.htmlඉඩම් - පොලිස්‌ - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම ස්‌වයං පාලනයක්‌ ටීඑන්ඒ ඉල්ලයි. "ෆෙඩරල් ක්‍රමය යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධත් කළ යුතුයි"http://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.html
]

0 comments: