Pages

Saturday, September 28, 2013

ටී.එන්.ඒ. මැතිවරණ ප්‍රකාශය ගැන ගොනුකළ පෙත්සම විභාගයට ගනී

උතුරු පළාත් සභාවට තරග වැදුන ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ටී. එන්. ඒ.) මැතිවරණ ප්‍රකාශනය රට බෙදා ද්‍රවිඩ ජාතිකයන්ට උතුරේ වෙනම ස්‌වයං පාලනයක්‌ පිහිටුවීමේ අරමුණ හා පරමාර්ථය ඇතිව සකස්‌ කරන ලද්දක්‌ යෑයි තීන්දු ප්‍රකාශයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක්‌ පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමට ශ්‍රෝෂ්ඨාධිකරණය ඊයේ (27 වැනිදා) තීරණය කළේය.

මෙහි පෙත්සම්කරු හඳපාන්ගොඩ පදිංචි උනවටුණ කොස්‌වත්තගේ අරුණ ලක්‌ෂ මහතායි.

පෙත්සම් විභාගය ලබන ඔක්‌. 12 දා පැවැත්වෙන අතර එහි වගඋත්තරකරු වන ටී. එන්. ඒ. පක්‌ෂයේ මහා ලේකම් මාවෙයි සේනාධිරාජා මහතාට එදින උසාවියේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යෑවීමටද නියෝග කෙරිණි.

වෘත්තියෙන් නීතිඥයකු වන අරුණ ලක්‌ෂ මහතා පෙත්සම ශ්‍රෝෂ්ඨාධිකරණයට ගොනු කර තිබුණේ සිංහලෙනි. අගවිනිසුරු මොහාන් පීරිස්‌, සත්‍ය හෙට්‌ටිගේ සහ රෝහිනී මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ පෙත්සම කැඳවූ විට නීතිඥ අරුණ ලක්‌ෂ මහතා කරුණු තහවුරු කිරීමට උසාවිය ඇමැතුවේද සිංහලෙනි.

දීර්ඝ වශයෙන් කරුණු දක්‌වමින් හෙතෙම කියා සිටියේ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 157 වැනි වගන්තියේ ප්‍රතිපාදනවලට අනුව පෙත්සම ශ්‍රෝෂ්ඨාධිකරණයට ගොනු කළ බවයි. එවන් පෙත්සමක වගඋත්තරකරුවන් උසාවි කැඳවා විභාගයක්‌ පැවැත්වීමට ශ්‍රෝෂ්ඨාධිකරණයට අධිකරණ බලය ඇතැයිද කියා සිටියේය. 

ද්‍රවිඩ පක්‌ෂ කීපයක එකතුවක්‌ වන ද්‍රවිඩ ජාතික සන්ධානය මැතිවරණයකට තරග කිරීමට සුදුසුකම් ලත් ලියාපදිංචි පක්‌ෂයක්‌ නොවන නිසා ලියාපදිංචි පක්‌ෂයක්‌ වන තමිල් අරසු කච්චි පක්‍ෂයෙන් ඔවුන් තරග වැදුන බවත් ඒ පක්‌ෂ දෙක වෙනුවෙන්ම ඉදිරිපත් කෙරුණු මැතිවරණ ප්‍රකාශනය රට බෙදා වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීම සඳහා අරමුණු කර ගත් එකක්‌ නොවන්නේද යන්න හොඳින් පරීක්‌ෂා කර බලා තීන්දුවක්‌ ගන්නා ලෙසද නීතිඥ අරුණ ලක්‌ෂ මහතා විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

ටී. එන්. ඒ. මැතිවරණ ප්‍රකාශනය අන්තර් ජාතික වෙබ් අඩවියක ප්‍රදර්ශනය කර තිබියදී කියවන්නට මුලින්ම තමාට අවස්‌ථාව ලැබුණ බවද සඳහන් කළ නීතිඥ අරුණ ලක්‌ෂ මහතා එම වෙබ් අඩවියෙන් ලබාගත් එහි සහතික පිටපතක්‌ද විනිසුරු මණ්‌ඩලයේ අවධානය පිණිස යොමු කළේය.

ශ්‍රී ලංකාවේ කොටසක්‌ වන උතුරේ සිදුවන දේශපාලන කටයුතු පිළිබඳව තමා දැඩි උනන්දුවක්‌ දක්‌වන අයකු බවත් මෙම නඩුව ගොනු කළේ පොදුවේ ශ්‍රී ලාංකික ජනතාවගේම යහපත වෙනුවෙන් බවත් කී පෙත්සම්කරු ටී.එන්. ඒ. මැතිවරණ ප්‍රකාශනය ශ්‍රී ලංකාවේ ඒකීයභාවය ඇතුළු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 1,2,3,4,5,6,7,8 වගන්ති පැහැදිළිවම උල්ලංඝනය වන බව හා වීමේ අවදානමක්‌ ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා සිටින බවත් පැවැසීය.

ටී. එන්. ඒ. මැතිවරණ ප්‍රකාශනය ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට හානිදායක බව තීන්දු කරන්නැයි ඉල්ලා මීට පෙර ගොනු කරනු ලැබූ පෙත්සම් 05 ක්‌ද ලබන ඔක්‌. 12 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

සරත් ධර්මසේන 
http://www.divaina.com/2013/09/28/news30.html

0 comments: