Pages

Friday, September 20, 2013

එල්ටීටීඊ සමග සහසම්බන්ධයෙන් ක්‍රියාකළ ටීඑන්ඒ කණ්‌ඩායමට දෙමළ වැසියන්ගෙන් ඡන්දය ඉල්ලන්න සදාචාරාත්මක අයිතියක්‌ නෑ - කේ. පී.

දෙමළ ජාතිවාදය කරපින්නා ගත් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සහ සම්බන්ධයෙන් සිටි දෙමළ ජාතික සන්ධානයේ පිරිසට දෙමළ වැසියන්ගෙන් ඡන්දය ඉල්ලා සිටීමට සදාචාර අයිතියක්‌ නැතැයි කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. 18 දා කිළිනොච්චියේ දී පැවසීය.

කිළිනොච්චියේ පැවති මාධ්‍ය හමුවක්‌ අමතමින් දෙස්‌ විදෙස්‌ මාධ්‍යවේදීන් ඉදිරියේ කේ. පී. තවදුරටත් කියා සිටියේ දෙමළ ජාතිවාදය වැපිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඇතිවූ යුද්ධයේ දී විශාල දෙමළ ජනකායක්‌ මියගොස්‌ තවත් විශාල දෙමළ පිරිසක්‌ තුවාල ලැබූ බවයි. මෙහි ආදීනව දන්නා දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානයට සහයෝගය දක්‌වන්නේ යෑයි කිසිසේත්ම සිතිය නොහැකි බවද පැවසීය.

දෙමළ දේශපාලන පක්‌ෂ ගණනාවක්‌ එකතුවී තනාගත් දෙමළ ජාතික සන්ධානය පක්‌ෂයක්‌ වශයෙන් ලියාපදිංචි කරගැනීමට ගිය අවස්‌ථාවේ සිට ඔවුන් අතර ඇතිවූ අරගලය තවමත් විසඳී නොමැති බව කී ඔහු මාවෙයි සේනාධිරාජා අභිබවා සම්බන්ධන් ඉදිරියට ඒම ගැන සේනාධිරාජා අකැමැති සේම මාවෙයි සේනාධිරාජා ඉදිරියට ඒමට සම්බන්ධන් අකමැති බවද පැවසීය. මෙවැනි තත්ත්වයක්‌ මත විකල්පයක්‌ වශයෙන් ඉදිරිපත් කොට සිටින විග්නේෂ්වරන් දෙමළ ජාතික සන්ධානයේ පව් කරගැසීමට ගොස්‌ ඔහුගේ වැදගත් තත්ත්වයට හා නාමයට විශාල හානියක්‌ කරගෙන ඇතැයිද පැවසීය.

2005 වර්ෂයේ දී බලයට පත්වූ ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ. සංවිධානය 2009 දී සම්පූර්ණයෙන්ම විනාශ කිරීමෙන් පසුව ප්‍රභාකරන්ගේ අරමුණ හා ඔහුගේ සිතෙහි තැන්පත්ව තිබූ දේ ඉදිරියට ගෙන යැමට ආර්¾ සම්බන්ධන් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් විශාල උත්සාහයක්‌ ගෙන ඇතැයි පැවසීය. මේ අවස්‌ථාවේදී විග්නේෂ්වරන් ඉදිරියට දමාගෙන පළාත් සභා මැතිවරණයේ දී උත්සාහ දරන්නේද ප්‍රභාකරන්ගේ අදහස්‌ දෙමළ මහජනතාවට ඉදිරිපත් කොට ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමට බව පැවසීය.

කුසගින්නේ සිටින්නෙකුට අවශ්‍ය වන්නේ බත් මිස බලය නොවන බව කී කේ. පී. මේ අවස්‌ථාවේදී දෙමළ ජනයාට අවශ්‍ය වී ඇත්තේ බලය නොව යුද්ධයේදී නැතිවී ගිය දේ යළි ලබාගෙන මේ රටේ වැදගත් ජාතියක්‌ ලෙස ජීවත් වීම යෑයිද පැවසීය. මේ ජනතාවට දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ හෝ බලය බෙදීමක්‌ හෝ ඉඩම් පොලිස්‌ බලතල අවශ්‍ය වී නොමැති බව කී හෙතෙම එදා ඉන්දියාවට අවශ්‍යව තිබූ මේ කිසිවක්‌ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට අවශ්‍ය නැතැයිද පැවසීය. 

මේ රටේ දෙමළ ජනතාවට අවශ්‍ය දේ ලබාදෙමින් දෙමළ ජනතාවද මේ රටේම ජන කොටසක්‌ ලෙස සලකමින් ඔවුන්ට සුන්දර ලෝකයක්‌ තනාදීමට ජනාධිපතිවරයා වෙහෙසෙද්දී දෙමළ ජාතිවාදී දේශපාලනය මේ සියල්ල විනාශකොට දෙමළ ජනතාව යළිත් වරක්‌ දුක්‌ අගාධයක දැමීමට උත්සාහ දරන බවද පැවසීය.

මේ රටේ දෙමළ ජනතාවට අසීමිත ආශාවන් නොමැති බව කී කේ. පී. කෘෂිකාර්මික ජීවන රටාවක්‌ ඔස්‌සේ දෑත වෙහෙසවා ඔවුන් ඔවුන්ගේ ආර්ථිකය සරුකර ගැනීමට වෙහෙසෙන ගමනට රුකුලක්‌ ලබාදිය හැක්‌කේ රජයකට මිස වෙනත් කවර හෝ බලවේගයකට නොවන බවද පැවසීය.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/09/19/news44.html

0 comments: