Pages

Monday, September 16, 2013

හැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකිය

මුලින්ම ආවේ දුම්කොළ ය. ඊළඟට සුරුට්‌ටුව ය. තුන්වැනි පියවර සිගරැට්‌ටුව ය. සිවුවැනි පියවර සිගරැට්‌ටුවය. සිගරැට්‌ටුව අද වන විට පෙනහළු පිළිකා හදන අංක 1 මාරයාය. එසේම එය මුඛ පිළිකාවද ඇති කරයි. සිගරැට්‌ බොන එකාට මෙන්ම අහල පහල සිටින අයටද පිළිකාව ඇති කරයි. අහල පහල සිටින අයට පිළිකාව වැලඳෙන්නේ සිගරැට්‌ බොන නීචයා පරිසරයට නිකුත් කරන දුම් වලාව ඉබේටම ආඝ්‍රානය වීමෙනි. කැත පුරුදුවලට කවදත් ප්‍රිය කරන මිනිසා මෙයට අවුරුදු 4000 කට පෙර දුම්කොළ අනුභව කර මත් වී එවිට මනසට නැගුණු විවිධ විකාර ගැන පසුව සිහිපත් කර තමන් ඒ දුටුවේ දෙවියන් හෝ යක්‍ෂයන් යෑයි සිතුවේය. එතැන් පටන් ඉපැරැණි ජනයාගේ යාතු කර්මවලට දුම්කොළ ද පූජා භාණ්‌ඩයක්‌ ලෙස එක්‌විය. එහෙත් දුම්කොළවලට දෙවියන්ගේ කිසිදු සම්බන්ධයක්‌ නැත. දෙවි කෙනකු යනු ඉතා අහිංසක, ඉතා යහපත් කෙනෙකි. එබඳු කෙනකු නිතරම සම්බන්ධ වනු ඇත්තේ මනස විකාර කිරීමට නොව මනස ප්‍රතිසංස්‌කරණය කිරීමට ය. මෙයට වසර තුන්දහසකට පෙර ජීවත් වූ ලතින් ඇමරිකන් ගෝත්‍රවලට අයත් ජනයා ගංජා අනුභව කරමින් මිනිස්‌ බිලි පූජා පැවැත් වූහ. අහිංසක ගංජා, ගුටිකන අරක්‌කු යෑයි කියමනක්‌ තිබේ. ඒ අනුව ගංජා ගුලියක්‌ කා දැමූ පසු මරන්නට නොව මැරෙන්නට හිතෙයි. එසේම තමන් මරන්නට එන එකාට ඊට ඉඩ දීමට තරම් සොමි ගුණයක්‌ මිනිසා තුළ ඇති වෙයි.

මත්ද්‍රව්‍යවල ගමන් මග හා ශිෂ්ටාචාරයේ ගමන්මග මෙයට වසර දහස්‌ ගණනකට පෙර තුංමන් හන්දියක්‌ ඇති කරමින් එකතු විය. දුම්වැටිය මිනිසාට කරන හානිය ඉතා බලවත් නිසා සිගරැට්‌ පැකට්‌වල මුඛ පිළිකාවල පින්තූර පළ කරන්නැයි ආණ්‌ඩුව නියෝග කළේය. සිගරැට්‌ කොම්පැනිය ඊට විරුද්ධව නඩු ගියේය. ආණ්‌ඩුව දිනුවේය. ඒ අනුව සිගරැට්‌ පැකට්‌වල මුඛ පිළිකා පින්තූර මුද්‍රණය කළ යුතු නමුදු එය තවම සිදු වී නැත. එය වහා සිදුකරන ලෙස සංඝයා වහන්සේ උදක්‌ම ඉල්ලති. ඒ බව ඊයේ (13 දා) "දිවයිනේ" පළ වී තිබේ.

සිගරැට්‌ ඉරීමෙන් හට ගන්නේ මුඛ පිළිකාව විතරද? නැත. හෘද රෝග, හෘදයාබාධ, ශ්වසනාබාධ, පෙනහළු රෝග වන බ්‍රොන්කයිටිස්‌, Emphysema එමගින් වැලඳෙයි. හෘදයාබාධයකින් පසු බොහෝ විට කෙනකු අංශභාග රෝගයට ලක්‌වෙයි. ඉන් පසු ජීවත්ව සිටින ඔහුට මෙන්ම ඔහු අවට සිටින නිරෝගී අයටද ඔහු වෙනුවෙන් මහත් දුකක්‌ දැරීමට සිදුවෙයි. මුඛ පිළිකාවක්‌ වැලඳුණු විට ගෙවල් දොරවල් උකස්‌ තබා හෝ විකුණා පවුලේ සියලුම දෙනා මහපාරට වැටී මුදල් වැය කළද රෝගියා බේරන්නට නම් ප්‍රාතිහාර්ය එකක්‌ හෝ කිහිපයක්‌ එකවර සිදුවිය යුතුය. එහෙත් දුම් බොන අය සම්බන්ධයෙන් ප්‍රාතිහාර්ය සිදුවීම ඉතාම - ඉතාම - ඉතාම විරලය.

ඇමරිකාවේ ඇට්‌ලැන්ටා ප්‍රාන්තයේ CDC නමැති ආයතනයක්‌ තිබේ. මෙය රෝග නිවාරන සහ රෝග පාලන ආයතනයකි. මෙහි වෙබ් අඩවියේ සඳහන් වන පරිදි සිගරැට්‌ බීමෙන් එක්‌ අයකු මිය යන්නේ තමන් අවට සිටින තවත් 20 දෙනකුට භයානක ශ්වසන රෝග බෝ කිරීමෙන් පසුවය. දුම් පානයෙන් වසරකට මැරෙන ගණන ඇමරිකාවේ පමණක්‌ පනස්‌ ලක්‍ෂයකි. මේ ගණන වසර 2030 දී අසූ ලක්‍ෂයක්‌ වනු ඇති. ඇමරිකාවේ ගණන එය නම් ලෝකයේ එම ගණන කීයක්‌ යෑයි ඔබට උපකල්පනය කරන්නටවත් පුළුවන්ද? දුම්කොළ කර්මාන්තය මෙයට වසර 05 කට පෙර සලකන ලද්දේ මිය යමින් තිබෙන ජාවාරමක්‌ හැටියටය. එහෙත් සිගරැට්‌ කොම්පැණිකාරයන් එයට ජීවය දී ඇත. කර්මාන්තය නැවතත් කෙළින් වෙමින් පවතී. එය ඉතා රහසේ කෙසේ හෝ සිදු වෙයි. මෙයට වසර හතකට පෙර මේ රටේ තරුණ පරම්පරාව අත සිගරැට්‌ බහුල නොවීම ගැන අපි සතුටු වූවෙමු. එහෙත් අද තරුණ අත් වැඩිහරියක සිගරැට්‌ තිබේ. ප්‍රසිද්ධියේ දුම්පානය නොකළ යුතු බවට ඇති නීතිය ප්‍රසිද්ධියේම කඩ කරයි.

මුඛ පිළිකාවල පින්තූර සිගරැට්‌ පැකැට්‌ටුව මත මුද්‍රණය කිරීමට රජය ගත් තීන්දුව මෙන්ම එය තහවුරු කිරීමට උසාවිය දුන් තීන්දුවද ඉතිහාසගතය. එසේම එය ක්‍රියාත්මක නොකිරීමට සිගරැට්‌කාරයන් තීන්දු කර ඇත්නම් එයද ඉතිහාසගත වනු ඇත. 

http://www.divaina.com/2013/09/14/editor.html

0 comments: