Pages

Saturday, September 28, 2013

ඖෂධ මාෆියාව

එප්පාවල පියසේනට සමේ රෝගයක්‌ ඇති විය. ඔහු රජරට වසන ගොවියෙකි. කවුද දන්නේ ඔහුගේ වකුගඩු කුට්‌ටමවත් නරක්‌ වෙලාද කියලා. ආණ්‌ඩුවේ ඉස්‌පිරිතාලවලින් ප්‍රතිකාර කළද පලක්‌ නොවූ නිසා පියසේන වී බුසල් දෙකක්‌ විකුණා රුපියල් 1200 ක්‌ හොයාගෙන අනුරාධපුරයට ගොස්‌ චැනල් දොස්‌තර කෙනකු හමුවිය. දොස්‌තර ගාස්‌තුව රුපියල් 850 කි. බෙහෙත් ගාස්‌තුව රුපියල් 1800 කි. අතේ තිබූ මඟුල් මුද්ද රුපියල් 2000 කට උකස්‌ කළ පියසේන බෙහෙත් රැගෙන ගෙදර ගියේය.

මේ අතර කොට්‌ටාවේ ජයසේනට බඩේ අමාරුවක්‌ සෑදින. ටැප් එක ඇරියාක්‌ මෙන් ඔහුගේ බඩ බුරුල් වූයේ මාළු පාන් ගෙඩියක්‌ කෑමෙනි. මාළු පාන් ගෙඩියේ පාන් කවරය අලුත් වුවද එහි ඇතුළත තිබූ එළවළු + පරණ කොත්තු රොටි + පරණ මාළු + පරණ මස්‌ මිශ්‍රණයට පුරාවිද්‍යා පනත යටතේ අත්පත් කරගත හැකි තරමට පරණ ය. තම උදරය තුළ ගිsණිකෙළි සංදර්ශන පැවැත්වෙන්නා වගේ දැනුණු නිසා ජයසේන පෞද්ගලික රෝහලකට ගියේය. මුලින්ම ඔහු OPD දමන ලදී. එතැන රෝග නිශ්චය ගාස්‌තුව රුපියල් 500 කි. ජයසේනගේ උදරය තුළ සැල්මොනෙල්ලා විෂබීජය ඇති බව අනුමාන කළ දොස්‌තර ඔහුගේ සිරුර විජලනය වීමට ඇති ඉඩකඩ කල්පනා කර පෞද්ගලික රෝහලේම පිහිටි දැඩි සත්කාර ඒකකයට ඔහු යොමු කළේය. එතැනදී ඔහු අත්අඩංගුවට ගත් හෙදි - හෙද දොස්‌තර හමුදාවක්‌ ඔහු ඇඳක හොවා, ඔක්‌සිජන් දී, සේලයින් පොම්ප කර එන්නත් කිහිපයක්‌ ද විද්දේ ය. ඉන්පසු ඔහු කාමරයකට දමා තවදුරටත් බෙහෙත් දෙන ලදී. පිටතින් ගෙන්වන ලද විශේෂඥ දොස්‌තරයෙක්‌ දිනකට තුන්වරක්‌ ඔහු බැලුවේය. පැය 48 කට පසු රුපියල් තිස්‌දහසක බිලක්‌ සමඟ ජයසේන ගේ ටිකට්‌ කපන ලදී. ගෙදර සිට පැමිණි බිරිය මාලය උකස්‌ කර ඒ මුදල ගෙවා සැමියා ගෙදර ගෙන ගියාය. ප්‍රතිකාරය කොතරම් ඉහළ තත්ත්වයක පැවැතියේද යත් ඩයිනමයිට්‌ ගිලලාවත් වැසිකිළි නොයන තත්ත්වයකට ජයසේන පත්විය.

ඉහත සඳහන් කතන්දර දෙකෙන් පළමුවැන්න ඊයේ (27 දා) "දිවයිනේ" පළ විය. දෙවැන්න, තව දින කිහිපයකින් "දිවයිනේ" හෝ වෙනත් පත්තරයක හෝ පළවෙනවා ඇත. මෙය මේ රටේ පවතින සැබෑ තත්ත්වයයි. එක අතකට එප්පාවල දොස්‌තර හොඳය. ඔහු අය කරන්නේ වී බුසල් එකහමාරක (රු.850) පමණ මිලය. එහෙත් කොළඹ සිටින ඇතැම් චැනල් දොස්‌තර මහතෙක්‌ වී බුසල් තුනක පමණ ගාස්‌තුවක්‌ අය කරයි. (මෙහිදී එප්පාවල ජයසේන ගේ රේට්‌ එකට වී බුසල රුපියල් 600 ක්‌ වන පරිදි තක්‌සේරු කළෙමු.) බෙහෙත් ගාස්‌තු ඉතා ඉහළ ය. බෙහෙත්වල 'ඉන්ඩියන් බ්‍රෑන්ඩ් එක' ලාභ නමුදු 'බ්‍රිටිෂ් බ්‍රැන්ඩ් එක' හුඟක්‌ මිල ය. ඒ නිසා හොඳ දොස්‌තරලා නිතරම නියම කරන්නේ 'ඔරිජිනල් බ්‍රිටිෂ්' බෙහෙත් ය. එම බෙහෙත් ඉතා ඉක්‌මනින් රෝගය නැති කරයි. එසේම අතේ ඉතිරි කරගත් මුදල ඉතා ඉක්‌මනින් ක්‍ෂය කරයි.

මෙය නැවැත්වීමට බැරිද? අප ඉතා විශ්වාසවන්ත ලෙසත්, පැහැදිලිවත් කියන්නේ මේ තත්ත්වය නැති කිරීමට බැරි බව ය. මන්ද වවුලාගේ මඟුල් ගෙදර ගිය විට ඔලුව පහළට වැටෙන පරිදි එල්ලී සිටිය යුතුවාක්‌ මෙන් තිස්‌ අවුරුද්දකට වැඩි කලක්‌ චැනල් ක්‍රමයට අනුගතව සිටින රටක්‌ එයින් ගලවා ගැනීමට නොහැක. ලංකාව රෝගීන්ගෙන් සහ ඖෂධවලින් ස්‌වයංපෝෂිත වුවද එය කළ නොහැක. මෙතැන තිබෙන එකම විසඳුම රටේ ජනතාව සඳහා සමාජ ආරක්‍ෂණ පද්ධතියක්‌ සාදා එයින් සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රමයක්‌ ඇති කිරීම ය. එවිට එප්පාවල පියසේනගේ වී ආදායමින් සැබෑ කොටසක්‌ ඒ සඳහා ලබාගත හැකිය. කොට්‌ටාවේ ජයසේනගේ ක්‌ලාක්‌ ජොබ් එකෙන් සුළු වැටුප් කොටසක්‌ද ලබාගත හැකි ය. මෙයින් මාරයාට හැර අන් සියලු දෙනාට ගොඩ යා හැකිය. දැන් තිබෙන ක්‍රමයේ හැටියට ගොඩ යන්නේ මාරයා පමණ ය.

එප්පාවල පියසේන සහ කොට්‌ටාවේ ජයසේන - දිවයින කතුවැකිය 
http://www.divaina.com/2013/09/28/editor.html

0 comments: