Pages

Tuesday, September 24, 2013

උතුරු වසන්තය පැරදී දමිළ ජාතිවාදය දිනුවා - වාසු

පසුගියදා පැවති මැතිවරණයෙන් දෙමල සන්ධානය උතුරු පළාතේ සෑම දිස්ති‍්‍රක්කයකමතුනෙන් දෙකක ජනවරමක් ගෙන තිබීමෙන් පෙන්වන්නේ එම පළාත තුළ දෙමළ ජාතික හැගීම ප‍්‍රබලව ප‍්‍රකාශ වී ඇති බවත් රජය උතුරේ ගෙනගිය සංවර්ධන කි‍්‍රයාදාමය මෙයට මුහුණ දීමට ප‍්‍රමාණවත් නොවූ බව යැයි ඇමති වාසුදේව නානායක්කාර මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනය මෙසේද දැක්වේ.

පළාත් තුනක පැවැත්වූ ඡන්දයේ ප‍්‍රතිඵලය පොදු වශයෙන් පෙන්වන්නේ රටේ ජනතා මතය අදටත් ප‍්‍රබලව ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට බවය.

ප‍්‍රධාන විපක්ෂය වූ අධිරාජ්‍ය ගැති දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප‍්‍රතිශතය මෙන්ම ආසන සංඛ්‍යාවද වැඩිදුරටත් පහළ වැටීම පෙන්වන්නේ ඔවුන් අභාවයට යන බවය.

සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් මතු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වයඹ සහ මධ්‍යම පළාත්වල තුන්වන තැනට පත්වීම නිසා ජ.වි.පේ විස්ථාපනය වී ඇත.එය අයහපත් ලක්ෂණයකි.

මධ්‍යම හා වයඹ පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් විශිෂ්ට ලෙස ජය ගන්නා නමුදු ඡන්ද ප‍්‍රතිශතයේ සුළු අඩු වීමක්ද වයඹ ආසන සංඛ්‍යාවේ අඩු වීමක්ද නිරීක්ෂණය කළ හැක.එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය මෙයද යම් සංඥාවක් ලෙස තේරුම්ගත යුතුය.

උතුරු පළාතේ සෑම දිස්ති‍්‍රක්කයකම දෙමළ සන්ධානය 2/3කට වැඩි ජනතා වරමක් ලබාගෙන තිබීම පෙන්වන්නේ එම පළාත තුළ දෙමළ ජාතික හැගීම ප‍්‍රබලව ප‍්‍රකාශ වී ඇති බවය.පසුගිය වසර තුන පුරා රජය විසින් විශාල ලෙස වියදම් දරමින් ගෙන ගිය සංවර්ධන වැඩ පිළිවෙල මෙයට මුහුණ දීමට ප‍්‍රමාණවත් වූයේ නැති බව පැහැදිලිය.2011 පැවති පළාත් පාලන ඡන්දය අවස්ථාවේ උතුරු පළාතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබුණු ඡන්ද ප‍්‍රතිශතය මෙවර අඩු වී තිබීමේ හේතු අපි අවංකවම සොයා බැලිය යුතුය.

කෙසේ වුවද මෙය දෙමළ ජාතික සන්ධානය තුළ හොල්මන් කරන අන්තවාදී බෙදුම්වාදී මතයේ පිළිඹුුවක් ලෙස නොසැලකිය යුතුය.නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ දෙමළ වැඩ කරන ජනතාව නිදහස් සන්ධානයට ලබාදී ඇති අති විශාල ඡුන්දය අනුව සිංහල දෙමළ එක්සත් ශ‍්‍රී ලංකාවකට ඇති ශක්‍යතාව මැනවින් පෙන්වන්නේය.

යුද්ධයෙන් පසු ගෙවුණු කාලය තුළ උතුරේ දෙමළ ජනයාට දැනුණේ ඔවුන් ක‍්‍රමානුකූලව සිංහල ආධිපත්‍යයක් යටතේ ජීවත් වන යටත් වැසියන් බවට පත් වෙමින් ඇති ලෙසකි.මෙම වැරදි සංඥනනය නිවැරදි කිරීමත්, රජයේ සමාජ ආර්ථික ප‍්‍රතිසංස්කරණ වල ප‍්‍රතිඵලය ජන ජීවිතයට දැනෙන ලෙස මෙහෙය වීමත් ඇති කළ යුතුව ඇත.ඒ අනුව දෙමළ ජාතික සන්ධානය රජය සමග වැඩ කරන හවුල්කාරයකු කර ගැනීමේ අරමුණ පෙරටු කරගත යුතුය.

ඒ සදහා ඒකීය මධ්‍යම රජයේ පරමාධිපත්‍යයට අනුකූලව දැනට පළාත් සභාවන්ට ලබාදී ඇති බලතල උතුරටද ලබා දෙමින් එම පළාත් සභාව සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි ආණ්ඩුකාරවරයෙකු පත් කළ යුතුය.

September 24, 2013 at 8:35 am | lanka C news
http://lankacnews.com/sinhala/news/101610/

0 comments: