Pages

Saturday, November 1, 2014

රට දැය සමය වෙනුවෙන් කැපවූ බොදු දරුකැළක් රටට බිහිකළ ආනන්දයට අදට වසර 128

කොළඹ ආනන්ද විද්‍යාලය නොවැම්බර් 01 වන දිනට (අද) 128 වැනි උපන්දිනය සමරයි. වසර 128 ක ගෙවී ගිය කාල පරාසය තුළ පෞඪවූත්, කීර්තිමත් වූත් අතීතයකට උරුමකම් කියන්නට ආනන්දය සමත්ව ඇත. ජාතික අවශ්‍යතා මත යටත් විජිත යුගයක ඇරඹි මෙම විද්‍යාස්‌ථානය ජාතික නිදහස්‌ සටනට මහත් ජීවයක්‌ දුනි. බෝධිසත්ත්ව ගුණෝපේත, හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ, වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ වැනි මහතෙරුන් වහන්සේලා හා කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමන් ආදී විදේශිකයෝද, අනගාරික ධර්මපාල තුමන් වැනි ස්‌වදේශීය ජන නායකයින්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාවෙන් මෙම විද්‍යාස්‌ථානය ආරම්භ වී ඇත.

1884 ක්‌ වූ පෙබරවාරි මස 08 වැනි දින කොළඹ මරදානේ ධර්මෝපකාරී සමාගමට පැමිණි හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා එම සංගමයට සම්බන්ධ වී කටයුතු කළේය. අනතුරුව හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහා බෞද්ධ රැලියක්‌ පිටකොටුවේදී පැවැත්වූ අතර, මෙහිදී යෝජනා කරගන්නා ලද තීරණයකට අනුව පිටකොටුවේ මැලිබන් වීදියෙහි අංක 61 දරන ස්‌ථානයෙහි බෞද්ධ ඉංගී්‍රසි පාඨශාලාව නමින් 1886 වර්ෂයෙහි නොවැම්බර් මස 01 වන දින එනම් අද වැනි දිනක ආනන්දය ආරම්භ කර ඇත. සිසුන් 37 දෙනකුගෙන් ඇරැඹි මෙම පාඨශාලාවෙහි ඇතුළත් වූ පළමුවන සිසුවා වූ ජිනරාජදාස නම් එදා බුදුරදුන් වැඩසිටි සමයෙහි "යො වද තංපව රෝමානු ඡේසු" යන ගාථාවන් ඉගෙන ගත් ඡත්තමානවකයන් බව ආනන්ද ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වේ. මේ බව ආනන්ද මෛත්‍රය නාහිමියන්ද සනාථ කර ඇත. මෙම පාඨශාලාවෙහි පළමුවන විදුහල්පතිවරයා වන්නේ සමථ භාවනා මගින් සිත දියුණු කරගෙන සිටි ඉංගී්‍රසි ජාතික සී. ඩබ්. ලෙඩ්බීටර් පියතුමාය.

පිටකොටුවේ මැලිබන් වීදියෙන් ආරම්භ කරන ලද ඉංගී්‍රසි බෞද්ධ පාඨශාලාව නම් මෙම විද්‍යාස්‌ථානය ඉඩකඩ සීමාවීම නිසාවෙන් 1895 අගෝස්‌තු මස 07 වැනිදා වාසලමුදලි ටියුඩර් රාජපක්‌ෂ දානපතිතුමන් විසින් ලබාදුන් පරණවාඩිය නම් වූ මෙම ස්‌ථානයෙහි පිහිටුවනු ලැබීය. ආදි කතෘවරුන් සමරන මෙම මොහොතෙහිදී වාසලමුදලි ටියුඩර් රාජපක්‌ෂ මැතිතුමාද කෘතවේදීව සිහිපත් කරන්නෙමු.

1918 ජනවාරි මස පළමුවන දින පී. ද ඇස්‌. කුලරත්න විදුහල්පතිතුමාගේ පැමිණීම ආනන්ද ඉතිහාසයෙහි නව යුගයක ආරම්භය විය. මෙම කාල වකවානුව විවිධ ක්‌ෂේත්‍රයන්හි පරිවර්තන රාශියක්‌ සිදුවූ යුගයකි. මෙහිලා විශේෂ ලක්‌ෂණයක්‌ ලෙස දුටුගැමුණු අරමුදල" නමින් අරමුදලක්‌ ආරම්භ කර පන්ති කාමර 09 කින් යුක්‌ත ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌ සිසු අයිතියට පත් කිරීම සුවිශේෂී සිදුවීමකි.

භාෂා ශාස්‌ත්‍රය ඉගැන්වීමෙහිලා බැලූ කල පාලි සංස්‌කෘත වැනි භාෂා ඉගැන්වීමද මෙකල ආරම්භ කර පවත්වාගෙන පැමිණ ඇති අතර තවත් විශේෂිත අවස්‌ථාවක්‌ වන්නේ ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේලා උදෙසා ඉංගී්‍රසි භාෂා පන්ති ආරම්භ කිරීමය. අග්ගමහා පණ්‌ඩිත ආනන්ද මෛත්‍රය මහා නාහිමියන්ද මෙම විද්‍යාලයෙහි ඉංගී්‍රසි භාෂා ඉගෙනීමට වැඩම කර ඇත.

මෙම කාල පරිච්ඡේදයෙන් පසුව පී. ජී. මලලසේකර යුගය එල්. එම්. මෙත්තානන්ද යුගය, ඒ. බී. පෙරේරා සහ එස්‌. ඒ. විජයතිලක, එම්. ඩබ්. කරුණානන්ද යන යුගයන් අති විශිෂ්ට කාල පරිච්ඡේදයන් ලෙස ආනන්ද ඉතිහාසයට එක්‌ව ඇත. ඒ අතර එල්. එච්. මෙත්තානන්ද මහතාගේ කාල පරිච්ඡේදය ද විද්‍යාලයට ස්‌වර්ණමය යුගයක්‌ ඇති කළ යුගයක්‌ වන අතර, ඒ සැම අද දින සිහිපත් කරන්නෙමු.

විදුහල්පති ධුරය දරුවන් අතර 1969 මැයි මස තෙවන දිනයෙන් ඇරඹෙන ජී. ඩබ්. රාජපක්‌ෂ මහතාගේ සේවා කාලය රාජපක්‌ෂ යුගය ලෙස හඳුන්වමු. මෙම අවධියේදී අ.පො.ස. සා.පෙළ, උසස්‌ පෙළ විභාගවලින් දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථාන ලබාගනිමින් විශිෂ්ට ජයග්‍රහණ රාශියක්‌ ලබා ගනිමින් ආනන්දය විශිෂ්ට ස්‌ථානයක වැජඹීම අමතක කළ නොහැකි සිදුවීමකි. ඉන් අනතුරුව එස්‌. කේ. නෙත්තානන්ද, කර්නල් වී.එස්‌. කුඩලිගම හා ගුණරත්න දමුණුපොල හා බී. ඒ. අබේරත්න, එල්.එම්.ඩී. ධර්මසේන යුගයන්ද ආනන්දයෙහි ආනන්දනීය කාලපරිච්ඡේදයන් ලෙස සඳහන් කළ යුතුමය.

ආනන්දයෙහි ආරම්භක විදුහල්පති වූ බී. ඩබ්. ලෙඩ්බීටර් මැතිතුමාගේ පටන් අද දිනයෙහි ආනන්දය හොබවන කිත්සිරි ලියනගමගේ විදුහල්පතිතුමා දක්‌වා විදුහල්පති නාමාවලියේ සියලු විදුහල්පතිවරුන්ද නියෝජ්‍ය විදුහල්පතිවරුන්ද, සියලු ආචාර්ය භවතුන්ද ආනන්දයෙහි පරමාර්ථ මුදුන්පත් කරලීමට මහත් වෑයමක්‌ වෙහෙසක්‌ ගෙන ක්‍රියා කොට ඇත.

මෑත කාලයෙහි ඉමහත් සේවාවක්‌ සිදු කරමින් වැඩ සිටි ධර්මාචාර්යවරුන් වහන්සේලා අතර දිවියාගහ යසස්‌සී නාහිමි, හබරකඩ ඉන්දරතන නාහිමි, අතපත්තුකන්දේ ආනන්ද ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ආදී භික්‌ෂූන් වහන්සේලා සිය ජාතික හා ආගමික වගකීම් තේරුම්ගෙන යුගයෙන් යුගය සිදුකර ඇති මෙහෙවර අති විශාලය.

සියවසකට වඩා වැඩි දීර්ඝ ඉතිහාසයක්‌ ඇති ආදි ශිෂ්‍ය සංගමයද ආදී ආනන්දීය බෞද්ධ සංගමයද ඇතුළුව විවිධ වූ සංගම් වසර 128 කට එළඹ ඇති ආනන්දයෙහි අනන්‍යතාවය රැක ගැනීමටත්, එයින් අපේක්‌ෂිත හර පද්ධතිය කෙරෙහි ආනන්දීයන් යොමු කරලීමට ක්‍රියා කර ඇත.

ආනන්දය යනු තවත් එක්‌ විද්‍යාලයක්‌ම නොවේ. එය සුවිශේෂී වූ සම්ප්‍රදායන්ට ගරු කරමින් රටට අවශ්‍ය ජාතික නායකත්වය සඳහා විශිෂ්ට නායකයන් තනන බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්‌ථානයයි.

ශ්‍රේෂ්ඨ ගිහි පැවිදි ආදි කතෘවරුනි ඔබේ විශිෂ්ට සේවාවත්, කැපවීමත් ගුණ මහිමයත් මහත් භක්‌තියෙන් යුතුව සමරමු. ඒ සඳහා ඔක්‌තෝබර් 31 වැනිදා මහා සංඝගත දක්‌ෂිණාවක්‌ පැවැත්වූ අතර නොවැම්බර් 01 දින මහ පිරිත් දේශනාවක්‌ ආදී ආගමික වත් පිළිවෙත් රාශියක්‌ පැවැත්වේ. ආදි කර්තෘවරුනි, ඔබ සැමට මෙපින් බල මහිමයෙන් උතුම් නිවන් සුව සාක්‌ෂාත් වේවායි බැති සිතින් ප්‍රාර්ථනා කරමු.

ආනන්ද විද්‍යාලයෙහි ධර්මාචාර්ය ශාස්‌ත්‍රපති

පූජ්‍ය රම්මල ධම්මරක්‌ත හිමි
http://www.divaina.com/2014/11/01/feature02.html

Pic Source

1 comments:

Unknown said...

නොනිමි මෙහෙවරක යෙදෙන ආනන්දයට සුභපැතුම්!