Pages

Sunday, November 9, 2014

නන්නාඳුනන දවස්‌ කුළීකාරයන්ගෙන් ප්‍රවේසම් වෙනු! කුලීකරුවන් වැඩට ගන්නා විට මේ ගැනත් හිතන්න!

අද කාලයේ වැඩක්‌ පලක්‌ කරගන්න කුළී කාරයෙක්‌ හොයාගන්නවා කියන්නේ කළුනික හොයනවටත් වඩා අමාරු දෙයක්‌ ළඟ හිටියත් කරන්නෙ බොරුවට වැඩේ කරනව කියල අත ගගා ඉඳල දෙන තේ එක හරි කෑම එක හරි කාලා පැය අට කවර් කරල ගාන අරන් හවසට මාරු වෙනව."

මේ අපට නිතර නිතර අසන්නට ලැබෙන අඳෝනාවකි. විශේෂයෙන්ම උදේම රැකියාවට යන කාර්යබහුල ගෘහමූලිකයන් සිටින නිවෙස්‌වල අය මෙම චෝදනාව ඉදිරිපත් කරති.

අද සමාජයේ ගෙවල් දහයක්‌ නිරීක්‍ෂණය කළොත් ඉන් හත් අටකම ඉතාම ඉක්‌මණින් කළ යුතු හෝ නිම නොකළ කුමක්‌ හෝ වැඩක්‌ දකින්නට තිබේ.

තණකොළ වැවී ඇති වත්ත පිටිය උදලු ගා ගැනීම, ගෙයි පිටිපස්‌ස පැත්ත මදක්‌ අස්‌පස්‌ කර ගැනීම විශේෂයෙන්ම ඩෙංගු මදුරුවන් බලන්නට එන මහත්තුරුන්ගෙන් බේරීම පිණිස අපවිත්‍ර ජලය බැසයැමට හෝ කැළි කසළ දැමීමට වළක්‌ කප්පවා ගැනීම තාප්පයක්‌ හෝ නිවසේ කොටසක්‌ කඩා ඉවත් කිරීම නෝනාට වගා කටයුතු කිරීමට පාත්ති කීපයක්‌ හදා ගැනීම, වහළට බරවී ඇති ගස හෝ එහි අත්තක්‌ කපා ඉවත් කිරීම, තාප්පයේ හෝ බිත්තියේ බැඳී ඇති ගල්සෙවල හූරා එයට හුනු හෝ තීන්ත ගා ගැනීම, වතුර ටැංකියට නැග එය පිරිසිදු කිරීම, වහළයේ තෙමෙන තැන් සොයා ඒවාට නිසි පිළියම් යෙදීම, පොල් වල්ලක්‌ බාගෙන වේලිච්ච අතු ගලවා දමා ගහ සුද්ධ කරගැනීම මේ සඳහා සුළු උදාහරණ කීපයකි.

මේවා කර ගැනීමට නිසි වැඩකාරයෙක්‌ නොමැතිකම නිසා නිවෙස්‌වල ඒවා ඔහේ ඔද්දල් වෙමින් පවතී. මේ නිසා ගෙදර ඇත්තන්ගෙන් නිතර බැණුම් අසන්නේ ගෘහමූලිකයායි. වැඩ දන්නේ නැති වුවත් වැඩ දන්නවා වුවත් ඔහු තමාට ඇති වැඩරාජකාරී ඉදිරියට දමා ප්‍රශ්නය දිනෙන් දින කල් යවන්නට තැත් දරන්නේ සාධාරණ ගාණකට හොඳ වැඩකාරයෙක්‌ තියා යන්තම් බාස්‌ කෙනෙක්‌වත් හොයාගන්නට නැති නිසාය.

එවැන්නෙක්‌ සොයා ගත්තත් ඔවුන් සමග වැඩ කිරීම හෝ ගනුදෙනු කිරීම ඉතා අමාරු කටයුත්තකි.

මෙවැනි වැඩ ක්‍ෂේත්‍රයේ ශ්‍රමිකයන් මිල ගණන් කියන ක්‍රමද තුනක්‌ තිබේ. ඉන් පළමුවැන්න දවස්‌ කුළී පදනමයි. දෙවැන්න කොන්තරාත් ක්‍රමයයි .

තුන්වැන්න "බලල දෙන්න මහත්තයා" ක්‍රමයයි. මෙය අති භයානක මිල ගණන් කීමේ ක්‍රමයකි. වැඩේ කළාට පසු එහි ප්‍රමිතිය සහ ප්‍රගතිය බලා ගාණක්‌ කියන ලෙස වැඩකරුවා හාම්පුතාට කියයි. අද සිටින බොහෝ හාම්පුතුන් බලන්නේ කරපු වැඩේට සරිලන මුදලක්‌ හෝ ඊට අඩු මුදලක්‌ දෙන්නට මිසක්‌ වැඩියෙන් දෙන්නට නොවන නිසාත් බොහෝ කම්කරුවන් බලන්නේ කළ වැඩේට වඩා වැඩි ගාණක්‌ අය කරන්නට මිස අඩුවෙන් ගන්නට නොවන නිසාත් ඇතිවන්නේ ඝට්‌ඨනයකි.

"මොනාද මහත්තයා ජරා වැඩ කරන්නේ මං කොච්චර මහන්සි උනාද වෙන කෙනෙකුට නං මං මීට වඩා දෙගුණයක්‌ කියනවා මං හිතුව මහත්තයා හොඳ කෙනෙක්‌ කියල බලංගියාම මහත්තයා වැඩ කොංඩම් කොරනවනේ කැත වැඩ නොකර මගේ ගාණ දෙන්න මහත්තයා.

මෙවැනි කතා අහද්දී මහත්තයා අහිංසකයෙක්‌ නම් ඉල්ලන ගාණ දී වැඩකාරයා පිටත් කර අරින්නේ ආයෙත් නම් මේ යකාව පැත්ත පළාතට ගන්නේ නැහැ කියා හිතෙන් අඬමිනි.

මහත්තයාත් අරින්නේ නැති ඇඹරෙන්නේ නැති කරෙක්‌ නම් "නිකන් යනවා හලෝ යන්න අපි තුම්පනේ කියල හිතුවද මං කෙරුවානං මේක පැය දෙකෙන් කරනව මේං සල්ලි ටික ඕනිනං ගනිං නැත්තං යන දිහාක පලයන්" කියා සත්තමක්‌ දාද්දී බොහෝ වැඩකාරයන් මුදලත් අරන් යන්නට යන්නේ වැඩිය සෙල්ලං දැම්මොත් වැඩ වරදින බවත් නෝනා හිටියනම් කොහොමහරි රවට්‌ට ගන්න තිබුණ කියාත් සිතෙන් සිතා ගනිමිනි.

දෙවැන්න වන කොන්තරාත්තු ක්‍රමය දෙපැත්තම සතුටු වන සාධාරණ ක්‍රමයකි. වැඩේ කරන්නට පෙර කළ යුතු දේ ගැන මහත්තයා හෝ නෝනා වැඩකාරයාට විස්‌තර කර දෙයි. කාලසීමාවක්‌ද කියයි. එම කාල සීමාවට කලින් නිම කළාට ගැටලුවක්‌ නැතත් නියමිත කාලය පසු කිරීමට බැරිය එමෙන්ම කරන වැඩේට කලින්ම ගාණක්‌ කතා කර ගත හැකිය. වැඩේ හරි නැත්නම් හෝ සම්පූර්ණ නැත්නම් නියමිත මුදල නොගෙවන බව කලින්ම කියා සිටිය හැක. වැඩකාරයාට ඕනි ඕනි විදියට මිල ගණන් වෙනස්‌ කළ නොහැක. වැඩ පරීක්‍ෂකයන් හෙවත් සුපවයිසර්ලා අවශ්‍ය නැත. එමනිසා මෙම කොන්තරාත්තු ක්‍රමය හොඳ දෙයකි.

අප පළමුව කී දවස්‌ කුළී කතාවද මදක්‌ පැටළිලි සහගත තත්ත්වයකි. මන්ද අද සමාජයේ බොහෝ දෙනා වැඩ කරන්නට පුරුදුව ඇත්තේ වරුවයි බොරුවයි න්‍යායට අනුව නිසාය. පැය අටක්‌ එක දිගට වැඩ කරන්නට පොරොන්දුව වැඩේට බැස්‌සත් ඔහු එය නොකරයි. දවසක්‌ යනු මෙම ක්‍රමයට අනුව පැය 8 කි. ඉන් පැයක්‌ දිවා ආහාරයටත් පැය භාගයක්‌ තේ බීමටත් අඩු වෙයි. වරුවක්‌ යනු පැය හතරකි. ඉන් පැය කාලක්‌ තේ බීමට ගනී. මෙනිසා ඔහුට වැඩ කිරීමට ඇත්තේ දවසකට පැය හයහමාරක්‌ පමණි. එයින්ද මුල් වරුව පමණක්‌ වැඩ කර ඉතිරි ටික අතගාමින් එහෙට මෙහෙට වැනෙමින් බොරුව දමයි අයිතිකරු හෝ බාසුන්නැහැ දැක බැන්නේ හෝ වයින් කළේ නැත්නම් වරුවෙන් හා බොරුවෙන් අගේට දවස ඇදීමට මොහු අති දක්‍ෂය.

අද දවස්‌ කුලී කාරයෝද අය කරන ගණන් විවිධ අගයන් ගනී කෙසේ වෙතත් වැඩියෙන් සල්ලි අය කරන අය වැඩියෙන් වැඩකරන්නෝ කියා වැඩ සමාජයේ කතාවක්‌ පවතී.

සමහර දවස්‌ කුළී කාරයන්ගෙන් වැඩක්‌ කරවාගත් පසු ඔහුගෙන් ආයේ වැඩක්‌ ගන්නට තියා ඔහු කළ වැඩය දෙස බලන්නටවත් අකමැති හාම්පුත්තු සිටිති. දකින දකින කල මතක්‌ වෙන මතක්‌ වෙන කල ඔහුටත් ඔහුගේ මවටත් දෙස්‌දෙවුල් තබති. නමුත් වැඩේ හොඳින් නිම කළ අයෙකුට ඇත්තේ හොඳ ඉල්ලුමකි. ඔහුගෙන් තවත් වැඩක්‌ ගන්නට තව මාසයක්‌ හරි ඉවසාගෙන ඉන්නට කැමතිය.

දවස්‌ කුළීකාරයාව පෙදරේරූ වැඩවලදී ඇමතෙන්නේ ගෝලයා කියායි. ඔහු මේසන් බාස්‌ කෙනෙකු සමග වැඩ කරද්දි වැලි සිමෙන්ති ඇනීම, බදාම තාච්චිය ළඟට දීම. වළවල් කැපීම කොන්ක්‍රීට්‌ පෙට්‌ටි ගැසීම ආදී වැඩවලට දමයි. මෙසේ සති කීපයක්‌ ගෝලයා වැඩේ කරන ඔහු අවස්‌ථාවක්‌ බලා ඉබේම මේසන් බාස්‌ කෙනෙකු බවට පත්වෙයි. මකබාස්‌ හෙවත් යන්තම් බාස්‌ කියා නම් හදාගන්නේ මොවුන් වැනි අයයි.

වඩුබාසුන්නැහැගෙන් යතුකැට පාරවල් කන මේසන් බාස්‌ගේ හැන්දේ මිටෙන් ටොකු පහර ලබන අනන්තවත් ගෝලයන් මම දැක ඇත්තෙමි. ඒවා ඉවසා වදාරා වැරදි හදාගෙන වැඩ ඉගෙන ගන්නා යටහත් ගෝලයා කවදා හරි හොඳ බාසෙක්‌ වන බව ඉඳුරාම කිව හැක. නමුත් ඉවසීමක්‌ නැතිව තම ගුරාට බණිමින් විවේචනය කරමින් ඉවත්ව යන ගෝලයාගේ අනාගතය සැක සහිතය.

දවස්‌ කුළී කාරයන් වැඩේ පටන් ගන්නටත් පෙර වියදම් සල්ලි හෙවත් ඇඩ්වාන්ස්‌ එකක්‌ ගන්නට හරිම සූරයෝය. ගෙදරට කීයක්‌ හරි දීල එන්න එසේත් නැත්නම් උදේට කන්න වැනි සාධාරණ හේතු පේන්න තියෙන නිසා බොහෝ අය මෙසේ පෙරගෙවුමක්‌ ලෙස කීයක්‌ හරි ගෙවති. ඉතිරිය ගෙවන්නේ වැඩේ අවසන් වූ පසුවයි.

අද සමාජයේ විශේෂයෙන්ම නගරයට ආසන්න වන්නට ජීවත්වන දවස්‌ කුළීකාරයන්ගෙන් බහුතරයක්‌ දෙනා හෙරොයින් මත්ලෝලීන්ය. එසේම ගම්වල වෙසෙන දවස්‌ කුළීකරුවන් කසිප්පු බොන්නන්ය. මෙවැනි අය දැක්‌ක පමණින් අඳුනාගත හැකි වුවත් වෙන කවුරුත් නැති නිසා ඔවුන්ගෙන් වැඩ ගන්නට අපට සිදුවෙයි.

මත්ලෝලියකු කසිප්පු බොන්නෙකු වුවත් කඩිසරව වැඩ කරන දවස්‌ කුලීකාරයන් අප අනන්තවත් දැක ඇත. එවැනි අය ඉන්නේ ඉතා සුලු පිරිසක්‌ වුවද වැඩේ හොඳටම නිම කරති. එසේම විශ්වාස කරන්නටද පුලුවන.

නමුත් සමහර වැඩකාරයන් කරන වැඩේ මෙලෝ රහක්‌ නැත. දැක්‌ක ගමන් කේන්ති යයි. වැඩ අතගායි සදහටම එපා වෙයි. එමෙන්ම ළඟින් ගියොත් ඇහැක්‌ පමණක්‌ නොව පැත්තක්‌ම නැත. දකින දකින දේ ඉණේ ගහගෙන ගොස්‌ කිට්‌ටුව තැනක සඟවා විත් හවසට යද්දී අරන් ගොස්‌ විකුණයි .

කවුරුවත් පේන්න නැත්නම් අයිනක්‌ අල්ලාගෙන බුදියා ගන්නත් මේ වරුවයි බොරුවයි කාරයෝ අති දක්‍ෂතාවයක්‌ දක්‌වති.

නන්නාඳුනන දවස්‌ කුළීකාරයෝ වැඩ ඉල්ලාගෙන ගෙවල් ගාණේ යන ක්‍රමයක්‌ අද නාගරික සමාජයේ දකින්නට ඇත. මෙය සමහර විට අතිශයෙන් භයානක විය හැක. බොහෝ විට මෙසේ එන්නේ සංචාරක හොරු හෙවත් ජංගම වැඩ්ඩෝ බව දන්නෝ දනිති. පොලිස්‌ ස්‌ථානාධිපති වරුන් සිවිල් ආරක්‍ෂක කමිටු රැස්‌වීම් වලදීත් කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරීවරුන් තම කලාපයේ උපදේශක කමිටු රැස්‌වීම් වලත් පුන පුනා කියන්නේ අද සමාජයේ සිදුවන අපරාධ බහුතරයක්‌ සිදුවන්නේ මෙවන් අමුත්තන්ගේ අතින් බවයි.

නාඳුනන දවස්‌ කුළී කාරයන් සමග වැඩ කරද්දී අප ඉතා ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන් දිවා කල තනියම නිවෙස්‌වල ඉන්නා මැදි වයසට ආසන්න බවලත් අය මෙවන් කුළීකරුවන්ගේ ඉලක්‌ක වුණු අවස්‌ථා රැසක්‌ම අපි දනිමු. තම සැමියාට වැඩිහිටියකුට කියන්නට හෝ පොලිසියට පැමිණිලි කරන්නට නොගොස්‌ තමන්ට වුණු අතවර කරදර නිහඬව හොර රහසේම දරා ගත් තරුණ සහ තාරුණ්‍ය ඉක්‌මවූ නෝනා මහත්වරුන් කීප දෙනෙක්‌ ගැනම මම දනිමි. ඔවුන් තමන්ට වූ මූල්‍යමය පාඩු මානසික හිංසා මෙන්ම ලිංගික අතවර ගැන මට කරුණු කියා ඇත.

ඒ සියල්ලම වූයේ වැඩ ඉල්ලාගෙන ගෙදරට ආ දවස්‌ කුළී කාරයන්ගේ දුක අසා ඔවුන්ට අනුකම්පාකොට වැඩි සෙනේ පෙන්වන්නටත් හොඳින් සලකන්නටත් යැම නිසා බව දැන් ඔවුන්ම පිළිගනී.

ගෙදර වැඩට සිටින ඇබට්‌ එක (ආයා බිට්‌ එක) හෙවත් තරුණ මෙහෙකාරියම ඉලක්‌ක කොට ගෙන වැඩ ඉල්ලං එන කාම ලෙඩ්ඩුද අද සමාජයේ එමටය. එසේම ගෙදරට නාකි වෙන තරුණ ලමිස්‌සියන් සහ මානසික දුබලතා ඇති කාන්තාවන් මුන් ඉලක්‌ක කරන තවත් ගොදුරුය.

"ඇත්තටම එදා මං ඒ බංගලාවට ගියේ වැඩක්‌ පලක්‌ කරල කීයක්‌ හරි හොයා ගෙන හවසට අම්මගෙ අතට ගාණක්‌ දීල ඇඟේ අමාරුවට ගංජා උගුරක්‌ දෙකක්‌ ඇදල ආතල් එකක්‌ ගන්නයි. ඒත් වැඩ කරන් ඉන්නකොට ඉතිං ගෙදර නෝනගෙ ක්‍රියා කලාපෙ නිසා මං මෝල් උනා මටම මාව කොන්ට්‍රොල් නැති උනා."

මෙසේ මා සමග පැවසුවේ කොහුවල පැත්තේ ධනවත් වැදගත් නිවසක වැඩට ගොස්‌ සිටිද්දී නිවසේ ස්‌වාමි දුවට අතවර කරන්නට යාම නිසා නිවැසියන් විසින් පොලීසියට අල්ලා දුන් මතට යොමුව සිටි තරුණයෙකි. ඔහු කලක්‌ මාගේ මිතුරු සෙවනේ නේවාසිකව සිට පුනරුත්ථාපනය සම්පූර්ණ නොකර පිටව ගොස්‌ යළි මත් ද්‍රව්‍ය පානයට යොමු වූ අයෙකි. ඔහු යළි පුනරුත්ථාපනය සඳහා නිසි බලධාරීන් විසින් මා වෙත යොමු කළ කල්හි ඔහු මා සමග මෙසේ බොහෝ දේ බෙදා ගති.

"එදත් මම උදේම ගංජා ටිකක්‌ බීලයි වැඩට ගියේ. තේ වෙලාව වෙනකොට මම වත්ත හොඳට උදලු ගාල ගහක අතු ටිකක්‌ කපල හොඳටම දාඩිය පෙරාගෙනයි හිටියෙ මගේ ඇඟ හොඳටම පෝම් වෙලා "වැඩ කන්න" පුලුවන් සයිස්‌ එකක්‌ තිබුණා ඊට පස්‌සෙ මම නෝන කිව්ව නිසා ගැරෙ- එකට ගියා ඒකෙ තිබ්බ ටයර් ගොඩ එළියට අදින්න, ටික වෙලාවකින් නෝනා තේ අරන් ආවා ගැරෙ- එක ඇතුළටම එයා ඇඳන් හිටියෙ එහා මෙහා පෙනෙන නයිටියක්‌ හොඳ ලස්‌සන පිරිච්ච ඇඟ පත එයා තේ එක දීල යන්නැතිව එතන ඉඳන් මට වැඩ කියනව මගේ හැඟීම් හොඳටම ඇවිස්‌සුනා. මම නෝනාව බදාගෙන බිම පෙරළගත්තා. එයා මර ලතෝනි දීල කෑගැහුවා. විනාඩි කීපයකින් ගෙදර හිටපු කීප දෙනෙක්‌ එතනට ආවා. මට මතක එච්චරයි. සිහිය එද්දි මම පොලිස්‌ කූඩුවෙ මට අම්බානක නෙලලත් තිබ්බ." 

මෙය එක්‌තරා හුදකලා සිදුවීමක්‌ පමණකැයි යමෙකුට සිතෙන්නට පුලුවන. නමුත් මා දකින අන්දමට මෙම කතාව තුළ අපට ඉගෙන ගන්නට බොහෝ පාඩම් තිබේ.

මෙයට වසර කීපයකට පෙර මීගමුව පැත්තේ තවත් ධනවත් නිවසක මැදි වයසේ කාන්තාවක්‌ දූෂණය කොට ඉන්පසු උදැල්ලකින් හිසට පහර දී මරා දමන ලද ප්‍රවෘත්තිය දැන් බොහෝ දෙනෙකුට මතක නැතිව ඇතැයි සිතමි, එම පාපතර ක්‍රියාව කළ අධමයාව ඊට වසර කීපයකට පසුව මට සිරගෙයක්‌ තුළදී හමුවී ඔහු සමග කතා කරන්නට අවස්‌ථාව උදා විය. ඔහු කියා සිටියේත් එදා එම කාන්තාවගේ ඇඳුම හැසිරීම් රටාව සහ කතා බහ ඔහුව හැඟීම් පාලනයෙන් තොර කළ බවයි. මොහුත් එදා එම නිවසට ගොස්‌ ඇත්තේ තනිකඩව සිටි එම කාන්තාවගේ නිවසේ පොළවේ ටයිල් සුද්ධ කර දොර ජනෙල් පිරිසිදු කිරීමටයි.

තවත් මෙවැනි සිද්ධින් ගෙනහැර දක්‌වමින් කියවන්නා බය කර හෝ අන්දමන්ද කර වරුවයි බොරුවයි දෙකට අමතරව අතවර සහ හිංසන කරන ලද බොහෝ චරිත ගැන කතා කළ හැක. නමුත් එය මාතෘකාවෙන් පිට යනවා සේම ඉඩකඩ මදිවීමටත් හේතුවෙයි. එහෙයින් ටෙම්පරි වැඩ හොයාගෙන එන නන්නාඳුනන දවස්‌ කුළීකාරයන්ගෙන් ප්‍රවේසම් වෙනු යන සංඥව දෙමින් අදට නවතිමි.

මිත්‍ර ශ්‍රී කරුණානායක
http://www.divaina.com/2014/11/09/feature15.html

0 comments: