Pages

Wednesday, November 19, 2014

සිරකර සිටින සිංහබාහු පරපුරේ සියලු සිංහලයන්ට කියන්නේ. අප දැන් ගල්ලෙන බිඳ දමා තිබෙනවා. අපත් සමග එක්‌වන්න - චම්පික

"සිරිකර සිටින සිංහබාහු පරපුරේ සියලු සිංහලයන්ට අප කියන්නේ, අප ගල්ලෙන බිඳ දමා තිබෙනවා. දැන් අපත් සමග එක්‌වී ජාතික ගමන යාමට කටයුතු කරමු" යෑයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේය.

ප්‍රතිපත්ති, ජාතියේ අරමුණු හා ඉතිහාසයේ උරුමය වෙනුවෙන් නොබියව ඉදිරියට යන බවත් එම ගමන කිසිවකුට නතර කළ නොහැකි බවත් හෙතෙම පැවැසීය.

ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලි චම්පික රණවක මහතා ඊයේ (18 වැනිදා) එම අදහස්‌ පළ කළේ එම පක්‍ෂයේ මතය ප්‍රකාශ කිරීම වෙනුවෙන් කැඳවූ විශේෂ මාධ්‍ය හමුව කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති අවස්‌ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ප්‍රධාන ලේකම් පාඨලි චම්පික රණවක මහතා- අපගේ මෙම තීරණය ඒකමතික තීරණයක්‌. අප පක්‍ෂ 2005 මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පළ කිරීම සඳහා එකඟතා ගිවිසුමකට එළඹුණා. ඒ ඓතිහාසික දළදා මාලිගය අභියසදියි. මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම හා විධායක ජනාධිපති ධුරය සම්බන්ධ කාරණා එයට ඇතුළත් වුණා. එම කාරණා ඉටු කරන බව 2005 දී සහ 2010 දී නැවත මහින්ද චින්තනය තුළින් පොරොන්දු වුණා. ඒ නිසා අපගේ යෝජනා අලුත් දෙයක්‌ නෙමෙයි. දස වසරකට ආසන්න කාලයක්‌ ඉටු නොවූ කාරණයක්‌ හදිසියේ ගෙනවිත් ඇත්තේ ජනාධිපතිවරණය මිස අපගේ යෝජනා නෙවෙයි.

අපි 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එකඟ වුණේ තවත් පියවර දෙකකින් ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීමට කටයුතු කරන බවට ලද එකඟතාවය මතයි. එය විධායකය අධිකරණයට හා පාර්ලිමේන්තුවට වගකියන අත්තනෝමතික බලතලවලින් තොර භාරකාර ධුරයක්‌ බවට පත් කිරීම සහ පළාත් සභාවල බලතල වෙනස්‌ කිරීම එම කරුණුයි. නමුත් ඒ එකඟතාවන් ඉටුවුණේ නැහැ.

අපගේ යෝජනා හදිසියේ ගෙන ආ කියන කාරණය, ජනපතිව හිර කරන්න කරන කටයුත්තක්‌ යන කාරණය, එන්.ජී.ඕ. කුමන්ත්‍රණ යන කාරණය වශයෙන් නඟන චෝදනාවල පදනමක්‌ නැහැ. මෙම ඉල්ලීම, යෝජනාව, ජාතික ප්‍රතිඥව දළදා සමිඳු අභියස ලබාදී වසර දහයක්‌ වෙනවා.

ආර්ථික උපාය මාර්ග රටට ගැලපෙන්නේ නැහැ. කැසිනෝ, වස විෂ. මත්පැන් සම්බන්ධයෙන් අප හඬ නැඟුවා. නමුත් ජාවාරම්කාරයන් කිහිප දෙනකු මත සියල්ල යටවෙලා. රාජ්‍ය තාන්ත්‍රික ක්‍ෂේත්‍රය බාල් නටන තැනට ගිහින්. දැන් තියෙන්නේ ගුටි ඇනගන්නා රාජතාන්ත්‍රික සොමියක්‌. බෙදුම්වාදය හිස ඔසවා තිබෙනවා. මේ ගැන අප ඉතාමත් කණගාටු වෙනවා.

මෙම සියවස ආසියාවේ සියවසයි. නමුත් අප රට එයට සූදානම් නැහැ. අප සන්ධානයට මිනිසුන් ඡන්දය දුන්නේ මේ දේ බලාපොරොත්තුවෙන් නෙවෙයි. අප 2005 ජනාධිපතිවරණයට සහාය දුන් දා සිට විනයානුකූලව කටයුතු කර තිබෙනවා. එනමුත් සුදු කරපටි අපරාධකරුවන් හමුවේ අප එළියට පැමිණියා. අප නියෝජනය කරන්නේ ඓතිහාසික ශාසනික ප්‍රවාහයයි. අප පදවි මත නොව ප්‍රතිපත්ති මත පෙනී සිටිනවා. අපේ ප්‍රතිපත්තිවලට අනුකූල පොදු වැඩපිළිවෙලක්‌ මත අපට හිට ගන්න පුළුවන්.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේද පැවැසූහ.

අප ජනාධිපතිවරයාට සුබ උපන් දිනයක්‌ ප්‍රාර්ථනා කරනවා. දුරදිග දැකීමට මෙලොව පරලොව වෙනුවෙන් උපන් දින තෑග්ගක්‌ අප මේ ලබා දෙන්නේ. අප කරන්නේ කළණ මිතුරෙකු ලෙස වරද පෙන්වාදීමක්‌. මෙය සතුරු හමුදාවක්‌ විසින් කරණා අභියෝගයක්‌ නෙවෙයි හිතමිතුරකු විසින් කරණ කාරුණික මඟ පෙන්වීමක්‌.

මෙහිදී අදහස්‌ දැක්‌වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ මෙසේද පැවැසීය.

රාජ්‍ය බලය තාවකාලික දෙයක්‌. නමුත් අධ්‍යාත්මික බලය ස්‌ථාවරයි. ජනාධිපතිවරයාගේ පාප මිත්‍රයින් දෙන උපදෙස්‌වලට වඩා මෙම ඉවත්වීම ඔහුට දෙන හොඳ ත්‍යාගයක්‌. විධායකය ජනාධිපති ධුරය අහෝසි කරන්න යන අපගේ ඉල්ලීම රාජ්‍ය නොවන සංවිධානවල කුමන්ත්‍රණයක්‌ යෑයි සමහරුන් කියනවා. එසේනම් එය අයින් කළ යුතු බව මහින්ද චින්තනයේ සඳහන් කර ඇති ජනාධිපතිවාරයාම තමයි නියම එන්ජීඕ කුමන්ත්‍රණකාරයා.

ජනතා බලයට කළ නොහක්‌කක්‌ නැහැ. සියලු දෙනා එක්‌ව සිටියොත් අපට අවශ්‍ය දේ කිරීමට යහපාලනය ඇති කිරීමට, අපහසු නැහැ. රට ගැන අපට කියන අයට අප කියන්නේ අප පටන් ගත්තා ඔබ අප හා එක්‌වන ලෙසයි.

අපගේ ආරක්‍ෂාව ජනතාවගේ හෘද සාක්‍ෂියයි. රට තුළ සමාජ පෙරළි නැවත ඇති නොවීමට අප මේ දේ කළ යුතු වෙනවා. ඒ සඳහා නායකත්වය දෙන්න අප සූදානම් ඔබ අපට පවුරක්‌ වෙන්න.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ජාතික හෙළ උරුමය ප්‍රධාන උප ලේකම් ප්‍රභාත් උදය ගම්මන්පිල මහතා-

කොටි විරෝධී කෙත අද රන්වන් කරල් වලින් බාරවෙලා. නමුත් යහපාලන කෙත පුරන්වෙලා. මේ උත්සාහය යහපාලන කෙත රන්වන් කරලින් බර කිරීමටයි. අප තනතුරු පැත්තකට දමා යහපාලනය වෙනුවෙන් කළ යුතු සහ කළ හැකි සෑම සියලු දේම නොපිරිහෙලා ඉටු කරනවා.

මෙහිදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට ජාතික හෙළ උරුමය නායකයින් ලබාදුන් පිළිතුරු පහත පරිදිවේ.

ප්‍රශ්නය- ඉදිරි ජනාධිපතිරවණයේදී හෙළ උරුමය මොකද කරන්නේ.

පිළිතුර( (පාඨලි චම්පික රණවක මහතා)- ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කරනවා. නැද්ද යන්න තීරණය කර නැහැ. අප යෝජනාවලිය සැමට විවෘතයි. ඒ සඳහා පළකරන එකඟතාවය මත ඉදිරිය තීරණය වේවි.

ප්‍රශ්නය- ඔබලා ඇමැතිකම්වලින් පමණද ඉවත්වන්නේ. රජය සමග තවදුරටත් ඉන්නවද?

පිළිතුර( (පාඨලි චම්පික රණවක)- අප එජනිස මන්ත්‍රීවරු. නමුත් සන්ධාන වගකීම්වලට අප බැඳෙන්නේ නැහැ. නමුත් ජනතා හිතවාදී ක්‍රියාදාමයකදී සහාය දෙනවා.

ප්‍රශ්නය- ශ්‍රීලනිප සමග සාකච්ඡා පිළිබඳව ලිත පිළිතුරක්‌ ලැබුණාද?

පිළිතුර( (පාඨලි චම්පික රණවක මහතා)- ඔව්.

ප්‍රශ්නය- මොනවද එහි සඳහන් වන්නේ.

පිළිතුර( (පාඨලි චම්පික රණවක මහතා)- එය රහස්‍ය ලිපියක්‌ එම ප්‍රතිචාරයෙන් අප සෑහීමකට පත්වන්නේ නැහැ.

ප්‍රශ්නය- අය වැය තෙවන වර කියවීමේ ඡන්දයේදී ගන්නා තීරණය.

පිළිතුර( (පාඨලි චම්පික රණවක- එය අප ඉදිරි 24 වැනිදාට කියනවා.

ප්‍රශ්නය- පාර්ලිමේන්තුවේ විපක්‍ෂයද නියෝජනය කරන්නේ.

පිළිතුර( (පාඨලි චම්පික රණවක මහතා- ඉදිරියේදී ප්‍රකාශ කරනවා.

ප්‍රශ්නය- ඔබ පක්‍ෂය දරන්නේ පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාවේ මතයද?

පිළිතුර( (පාඨලි චම්පික රණවක මහතා)- නැහැ හෙළ උරුමයේ මතයයි.

ප්‍රශ්නය- තවදුරටත් සාකච්ඡා කරන්න ඉඩ නැද්ද?

පිළිතුර( (පාඨලි චම්පික රණවක මහතා)- අපොයි ඉඩ තියෙනවා. ඇමැතිකමින් ගියාට ඒ සඳහා අවහිරයක්‌ නැහැනේ.

ප්‍රශ්නය( වත්මන් ජනාධිපතිවරයා පරාජය කිරීමට කළ හැකි හැම දෙයක්‌ම කරන බව රතන හිමි ප්‍රකාශ කර තිබුණා. ඒ කටයුත්ත කරන්නේ කවදා සිටද?

පිළිතුර( (අතුරලියේ රතන හිමි- ඒ කටයුත්ත අද සිටම පටන් ගන්නවා. අප පරාජයකරන්නේ ජනාධිපතිවරයා හෝ ඔහුගේ රජය නෙමෙයි. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තීන්.

ප්‍රශ්නය- ඇයි මේ වෙලාවේ ඇමැති ධුරවලින් ඉවත් වුණේ.

පිළිතුර( (අතුරලියේ රතන හිමි- මෙය තමයි සුදුසුම වෙලාව.

මෙම අවස්‌ථාවට මධ්‍යම කාරක සභික රන්පත්විල විමලසාර, තෙබුවන පියනන්ද යන හිමිවරුන්ද පක්‍ෂ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාද එක්‌විය.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/11/19/news21.html

Pic Source

0 comments: