Pages

Sunday, November 9, 2014

කැලණිය දුරුතු මහ පෙරහැර උත්කර්ෂවත් ලෙස මෙවරත්...

මෙම වර්ෂයෙහිදී ද සිරිත් පරිදි ඓතිහාසික කල්‍යාණි රජමහා විහාරස්‌ථානයෙහි දුරුතු මහා පූජෝත්සවය අතිඋත්කර්ෂවත් ලෙසත් ලක්‌වැසි ලෝවැසි සියලු දෙනාගේ ශ්‍රද්ධා භක්‌තිය හා පුණ්‍යශක්‌තිය වඩවන අයුරින් හා කැලණිය ප්‍රදේශවාසී ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට ලැබුවා වූ නව වසරේ සාමය සෞභාග්‍යය හා අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරමින් මෙන්ම ලෝ වැසි සියලු සත්ත්වයන්ට සියලු යහපත ප්‍රාර්ථනා කරමින් පැවැත්වීම අස්‌මදාචාර්යපාදොත්තම ඓතිහාසික කීර්ති ශ්‍රී මේඝවර්ණ ශ්‍රී කල්‍යාණි උභය මහා විහාරාධීශ්වර මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‌ත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් විහාරස්‌ථ දායක සභාව හා සංවර්ධන සභාව සමඟ සතර පේරුවේ දායක පින්වතුන්ගේ හා ශ්‍රී ලංකාවාසි හා විදේශීය බෞද්ධ සැදැහැතියන්ගේ දායකත්වයෙන් හා සහභාගිත්වයෙන් කටයුතු සංවිධානය කෙරෙයි.

කැලණිය දුරුතු මහා පූජෝත්සවයේ සමාරම්භය සනිටුහන් වන්නේ වාර්ෂිකව පැවැත්වෙන ධර්ම දේශනා පිංකම් මාලාව සමඟිනි. නොවැම්බර් මස 02 දින සිට පුරා දින හැත්තෑවකට ආසන්න කාලයක්‌ ලංකාවේ චිරප්‍රසිද්ධ විද්වත් ධර්ම දේශක තෙරවරු දිනපතා රාත්‍රි හත්වැනි පැයේ සිට අටවැනි පැය දක්‌වා ඓතිහාසික ධර්ම මන්දිරයේදී සුමධුර ධර්ම දේශනා පවත්වනු ලබති.

ධර්ම දේශනා පින්කම් මාලාව අවසන් වෙත්ම තිස්‌පෑහතේ පිරිත් පින්කම් ආරම්භ වේ. මෙම තිස්‌පෑහතේ පරිත්‍රාණ ධර්ම දේශනාව සියලු ඓතිහාසික හා සාම්ප්‍රදායික චාරිත්‍ර විධි සුරකිමින් හා පෞරාණික සිරිත් විරිත් නොපිරිහෙළා ඉටුකරමින් පැවැත්වෙන සුවිශේෂ මහානුභාවසම්පන්න පින්කමකි. ඊට ලක්‌දිව සිව්දෙසින් පිරිත් දේශනාව පිළිබඳ සුවිශේෂ දක්‌ෂතා ඇති කීමෙහි හා බිණීමෙහි දුර්ලභ සමත්කම් ඇති විචිත්‍රභාණක මහ තෙරවරු වැඩම කරති.

පිරිත් දේශනාවේ අවසන් දින කිහිපයෙහි මහා පෙරහැර මංගල්‍යයට පූර්වගාමීව පරිවාර පෙරහැර කිහිපයක්‌ පැවැත්වේ. ඉන් කැලණිය පොලිස්‌ ස්‌ථානය, කැලණි විද්‍යාලය හා ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයේ දායකත්වයෙන් පවත්වනු ලැබූ පෙරහැර අත්‍යාලංකාරයෙන් මෙම පුණ්‍ය මහා මංගල්‍යය ආලෝකවත් කළ බව බොහෝ දෙනා පවසන්නේ භක්‌ත්‍යාදරයෙනි.

පිරිත් දේශනාවේ අවසන් දින රාත්‍රියේ චිරාගත සම්ප්‍රදායානුකූලව දොරකඩඅස්‌න දේශනය හා අනුශාසනා දේශනය පැවැත්වේ. එදින සවස දේවදූතයා ලෙස මෙම ඓතිහාසික චාරිත්‍රය ඉටුකරන කුලකුමරු විහාරස්‌ථ ධර්ම ශාලාවේ පිරිත් මණ්‌ඩපද්වාරයෙන් නික්‌ම ආරක්‌ෂකයන් පිරිවරා දර්ශනීය පෙරහැරකින් වරාගොඩ ඓතිහාසික බෝධීන් වහන්සේ වෙත එළඹ ස්‌ථානභාර පළාත්භාර ගම්බාර මහානුභාවසම්පන්න දෙවි දේවතාවුන් වෙනුවෙන් පෞරාණික චාරිත්‍ර, විධි ඉටුකොට නැවතත් පෙරහැර සමඟ විහාරස්‌ථානය වෙත ගමන්කොට මහානුභාව සම්පන්න විභීෂණ දේවාලයේ විභීෂණ දෙව්මහරජාණන්ට පුණ්‍යානුමෝදනා කොට චාරිත්‍ර විධි ඉටුකරයි.

අනතුරුව තුනුරුවන් වැඩසිටින මණ්‌ඩපද්වාරය වෙත දායක මූලික කාරක ඥති හිතමිත්‍රාදීන් පිරිවරා පැමිණ මහ සඟරුවන අභිමුව දොරකඩඅස්‌න දේශනාව පවත්වනු ලබයි. අනතුරුව ශීලාදි ගුණෝපලක්‌ෂිත දැන උගත් පින්වත් මහතෙරනමක විසින් අනුශාසනා දේශනාව පවත්වනු ලැබේ.

මෙම වර්ෂයෙහි මෙම භාරදූර ඓතිහාසික කාර්යයන්ගෙන් දොරකඩඅස්‌න දේශනාව පැවැත්වීමේ කාර්යය ඉටුකරනු ලැබීමට වාසනාවන්ත වූයේ කැලණිය ගෝනවල පදිංචි විද්‍යාචාර්ය උපුල් පියසෝම මැතිතුමාගේ සහ ස්‌වර්ණපාලි වීරසූරිය මැතිනියගේ පුත් කොළඹ කේරි විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඉදුසර විසුද්ධි පියසෝම කුල කුමරුන්ය. අනුශාසනා දේශනාව බෙලිගල ඉහළ කලුගල සුදස්‌සනාරාමාධිකාරී විචිත්‍ර භාණක ගරු කුඹුක්‌කොටුවේ පඤ්ඤානන්ද හිමියන් විසින් පවත්වනු ලබයි.

අනතුරුව එළඹෙන්නේ පෙරහැර මංගල්‍ය සමයයි. ඒ අනුව පළමුව උඩමළුවේ ධාතු පෙරහැර ජනවාරි 02 වැනි දින රාත්‍රි 8 ට පැවැත්වේ. එහිදී ප්‍රධාන බස්‌නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල නිලමේතුමා සෙසු නිලමේවරුන් පිරිවරා සධාතුක කරඬුව සුරතින් දරා බොහෝ දෙනාගේ සාධු නාද මධ්‍යයේ බැතිසිතින් අලංකාර නැටුම්, ගැයුම්, වැයුම් හා විශාල ප්‍රමාණයක්‌ අලංකාර ලෙස සරසන ලද අලි ඇතුන් පිරිවරා ත්‍රිවිධ චෛත්‍යය ප්‍රදක්‌ෂිණා කරයි. උඩමළුවේ දර්ශනීය ධාතු පෙරහැර තුන්බෝධිය පැදකුණු කරමින් ගමන් කරයි.

ජනවාරි 03 වැනිදා පැවැත්වෙන මහා පෙරහැර උඩරට, පහතරට හා සබරගමු යන ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ මහා නර්තන සම්ප්‍රදායන් හා අවශේෂ දමිළ ආදි නර්තන ගායන හා වාදන සහිතව ධාතු පෙරහැර තුන්බෝධිය වටා සංචාරය කිරීමට නියමිතය. මහ පෙරහැර අලංකාර කරමින් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන පෙරහැරවලට සම්බන්ධ වන අලි ඇතුන් මෙම දුරුතු මහ පෙරහැරට එක්‌ වේ.

මහ පෙරහැර ධාතු පෙරහැර, විෂ්ණු දේවාල පෙරහැර, කතරගම දේවාල පෙරහැර සහ විභීෂණ දේවාල පෙරහැර යන ප්‍රධාන කොටස්‌ හතරකින් සමන්විත වන අතර ඒ ඒ පෙරහැර එම බස්‌නායක නිළමේවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවනු ලබයි.

ප්‍රධාන බස්‌නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතා සහ සෙසු තුන් මහා දේවාල නිලමේවරු දායක සභාවේ ලේකම් ජයරාඡ් චන්ද්‍රසේකර මැතිතුමා, ලලිත් හපන්ගම මැතිතුමා, සමන්ත පෙරේරා මැතිතුමා දායක සභාවේ භාණ්‌ඩාගාරික පත්මසිරි හපන්ගම මහතා ප්‍රධාන දායක සභාවත්, විහාර සංවර්ධන සමිතියත් ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයත් හා සෙසු සංවිධානත් මෙම මහඟු පින්කම් අලංකාරවත්ව හා සම්භාවනීය ලෙස පැවැත්වීමට දිවා රාත්‍රි නොබලා වෙහෙසෙමින් සිටිති.

එසේම ගම්පහ මහ දිසාපතිතුමා ප්‍රධාන දිස්‌ත්‍රික්‌කයේ සියලු රාජ්‍ය ආයතනත් ශ්‍රී ලංකා පොලිසිය හා ත්‍රිවිධ හමුදාවත් අවට පාසල් හා විහාරස්‌ථානත් මෙම පුෙණ්‍යාත්සව මාලාව සාර්ථක කර ගැනීමට විශේෂ සහායක්‌ දක්‌වන බව පැවැසිය යුතුයි.

නව වසරේ ආරම්භයත් සමඟ පැවැත්වෙන මෙම පින්කම් මාලාවට ලංකාවේ සිව්දිග වෙසෙන මහ සඟරුවන හා දායක පිනැතියන් සම්බන්ධ වන්නේත් දායක වන්නේත් ඉමහත් ශ්‍රද්ධා භක්‌තියෙන් හා බුද්ධාලම්භන ප්‍රීතියකිනි.

සම්බුදු සිරිපා පහසින් පාරිශුද්ධත්වයට පත් වූ පන්සීයක්‌ මහ රහතුන් වහන්සේලාගේ සම්ප්‍රාප්තියෙන් පූජනීයත්වයට පත් මෙම පින්බිම විභීෂණ දෙව්මහරජාණන් ගේ සහ මණිඅක්‌ත නාගරාජයාණන්ගේ වාසභූමියද වෙයි. මොහොතක්‌ හෝ මෙපින්බිමේ සිට බුදුගුණ, දහම් ගුණ හා සඟගුණ මෙනෙහි කිරීම තමන්ට මහා ආශිර්වාදයක්‌ ලෙස මෙරට සියලු බෞද්ධයෝ සිතති. මෙබිම සිට දෙවියන්ට පින්දීම හා පුදදීම තමන්ට මහා ආශිර්වාදයකැයි ලක්‌වැසියන් මතු නොව භාරතීය හින්දු භක්‌තිකයෝද පිළිගනිති. මෙවර කැලණි රාජමහා විහාරයේ ආලෝක පූජාවේ දායකත්වය දරනු ලබන්නේ කිරිබත්ගොඩ තිලකවර්ධන ටෙක්‌ස්‌ටයිල්ස්‌ ආයතනයයි.

ධම්මික ආටිගල, ප්‍රධාන බස්‌නායක නිලමේ, කැලණිය රජමහා විහාරය
http://www.divaina.com/2014/11/09/feature10.html

0 comments: