Pages

Monday, November 10, 2014

එකම සමාජයක ලෝක දෙකක්‌! ළමා පරපුර සහ රටේ අනාගතය

ආදරයෙන් පරාජිත පෙම්වතා සිය පෙම්තියට පිහියෙන් ඇන මරා දමන්නේ මනස විකෘතිව කෙරෙන අධ්‍යාපනය නිසා යෑයි තර්ක කළ නොහැකිද? හැට හැත්තෑ වියේ පසුවන වැඩිහිටියා වත්මන් සමාජය දකින්නේ පිස්‌සන් කොටුවක්‌ ලෙසිනි. වත්මන් තරුණයා පශ්චාත් සමාජය දකින්නේ කෞතුකාගාරයක ලෙසිනි. මේ ගැටුම අසාධ්‍ය රෝගයක්‌ බවට පත්වෙමින් පවතී. සරසවි සිසුවා ඉගෙනීම පසෙකට දමා සමාජය හදන්න යැම බල්ලා වලිගය සෙළවීමක්‌ නොව වලිගය විසින් බලු කඳ සෙළවීමට දරණ ප්‍රයත්නයක්‌ නොවේද?

විසි වැනි සිය වසේදී උපත ලද ජ්‍යෙෂ්ඨ පුරවැසියාත්, විසි එක්‌ වැනි සිය වසේ අද ජීවත්වන තරුණයාත් ජීවත් වන්නේ දෙලොවකය. වත්මන් බාල පරපුරට ඒ අතීත සමාජය නුහුරුය. නුපුරුදුය. ඒත් අතිශයින්ම සුන්දර අතීත සමාජයේ ජීවත් වූ කෙනෙකු ලද ආශ්වාදනීය, සුන්දර වන්දනීය සමාජය කරදියේ මාළුවාට මිරිදිය මෙන් අගෝචරය. ඒ නිසා මේ දෙපිරිස අතර මානසිකමය ගැටුම් සහිත ස්‌වභාවයක්‌ දක්‌නට ලැබේ.

කුඹුක්‌ ගහයට ළිඳේ වතුරෙන් සිරුර දෝවනය කර ගත් අපේ දරුවන්ට " බාත් රූම්" එක නැතිව ස්‌නානය කළ නොහැක. ළිඳෙන් වතුර ඇද ස්‌නානය කරන විට අපට ලැබුණු ස්‌වභාවික ව්‍යායාමය වත්මන් පරපුරට නැත. ඒ නිසා ඒ සඳහා දහස්‌ ගණන් මුදල් වැය කර ව්‍යායාමය සඳහා යන්ත්‍රොaපකරණ භාවිතා කරයි. පොල්තෙල් පහනේ එළියෙන්ද තල් කොළය මත පන්හිඳෙන් පත පොත ලියූ පැරැන්නාගේ පරපුරේ අද ජීවත්වන අයට පෑනෙන් වත් එදා ලියූ පත පොතට ළං වන්නට නොහැකිය. එදා අප ඇළේ, දොළේ, ගංගාවේ පිහිනමින් ලද ආශ්වාදය ලැබීමට වර්තමානිකයාට "ස්‌විමිං පූල්" තුළ මිසෙක අනෙක්‌ නදියක පිහිනන්නට බැරිය.

සැතපුම් හතරක පහක දුර පා ගමනින් පාසලට ගොස්‌ ඉගෙන ගත් අපේ දරුවන්ට පාසල් බස්‌ රථය නොමැතිව සැතපුමක දුරක්‌ වත් ඒ ගමන යන්නට බැරිය. යටත් පිරිසෙයින් පොල් ගෙඩියක්‌ කොත්තමල්ලී ටිකක්‌ ලබා ගැනීම සඳහා වත් වාහන පහසුකම් නොමැතිව කඩ පිළට යන්නට බැරිය.

පාසල් ගොස්‌ ආපසු එන අපි මගතොට වන ලැහැබේ වූ මා දම් හිඹුටු දඹ, නාරං, බාඳුරා, බකිනි, අත්තික්‌කා කමින් ප්‍රිතීමත් වූ අපේ දරුවෝ ඒවා හඳුනන්නේවත් නැත. ප්‍රේමය, ආදරය, විරහ වේදනාව කවියකින් රස විඳින්නට පුරුදුව සිටි අපේ දරුවනට ඵී ෆේස්‌ බුක්‌වලින් තොර සමාජයක්‌ නැත. ඒ තුළ සාහිත්‍ය නැහැ. විඳ දරා ගැනීම නැත. දෙවැන්නට ගරු කිරීම නැත.

ගණිතයෙන් අසමත් වීම අද විභාගයෙන්ම අසමත් වීමකි. සාහිත්‍යයෙන් කලාවෙන් අසමත් වීම ජීවිතයෙන්ම අසමත් වීමකි. ඒ බව සිතා ගැනීමට අපමණ වූ නිදසුන් වෙති. ජීවිතය සාර්ථක කර ගත්, අමරණීය නමක්‌ ශේෂ කොට කීර්තිශේෂෝප භාව ගත අයගේ නාමාවලිය දීර්ඝ එකකි. මහා කවියන්, ලේඛකයන්, ගත් කරුවන් හා චින්තකයන් වැඩි දෙනෙක්‌ ජීවිතය ජයගත් අය වෙති.

වත්මන් ගැටවරයාට ජන කවිය නුහුරුය. ඒ අය දඩි බිඩි සංගීතයට හුරු වී සිටිති. ප්‍රසිද්ධ වේදිකාවේ කෙරෙන රංගනය තුළ වත් විනීත බව නැත. කාමය උසි ගන්වන වත්මන් රූපවාහිනී රැඟුම්වලින් තරුණ සිත දූෂණය කෙරෙයි. කිසිම වගකිව යුත්තෙකුට එහි ඇති භයානකකම නොවැටහේ.

කිරි හොද්දට, පොල් සම්බෝලයට නුහුරු වත්මන් දරුවනට බුරියානි, කොත්තරොටි නැතිව වේලක්‌ පිරිමසා ගන්නට බැරිය. කෝක්‌ එකක්‌ නැතිව කෑම එපායි කියති. කඨින චීවරය රැගත් පෙරහරක කැකිරි පලන ටිකිරි හිනාවයි ඇගේ ගමන නාරි ලතාවයි යන ගීතය ගයමින් යන ගීතය ඇසුවෙමි. බුදුන් වහන්සේගේ ධාතු කරඬුව වඩමවන මොහොතේත් හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරගෙටා යන ගීතය ගයමින් බෙර වාදනය ඉදිරියේ වයන රඟන පිරිස්‌ දුටුවෙමු. පස්‌ පංගුව හෝ ඉඟුරු කෑල්ලක ඖෂධීය ගුණය නොහඳුනන වත්මන් පරපුරට චැනල් සේවයෙන් තොරව සෙම් කෝපයට ප්‍රතිකාරයක්‌ නැත.

විසි වැනි සිය වසේ පුරවැසියාත් විසි එක්‌ වැනි සිය වසේ පුරවැසියාත් ලෝක දෙකක අතරමංව ඇතැයි මේ ලිපිය ආරම්භයේදීම සඳහන් කළේ එහෙයිනි. දෙපසේ මෙම ගැටුම නිසා පියා සහ පුතා අතරත් මව සහ දුව අතරත් මානසිකමය ගැටුම් බහුලය.

වත්මන් පරපුර නෑකම් හඳුනන්නේ නැත. වත්මන් පරපුරට හැම වැඩිහිටියෙක්‌ම අංකල් කෙනෙකි. නැත්නම් ඇන්ටි කෙනෙකි. හැම මහල්ලෙක්‌ම පුරාවිද්‍යා වස්‌තුවකි. නැත්නම් "සෝමපාල" කෙනෙකි.

වත්මන් සිසුවට පාසල තුළදී ගුරුවරයා "සර්" කෙනෙකි. මගතොටේදී සමාජ සමානාත්මතාවය කරපින්නාගෙන ඒ ගුරුවරයාම ටීචර්කාරයා ය. නැත්නම් ගුරාය. ගුරුතුමාට වඳිතොත් නැතත් වැඩිහිටියකුට නොවැඳ බැරිනම් ඒ සඳහා පසඟ පිහිටුවන්නේ නැත. වැඳීමේ අලුත් කලාවක්‌ තිබේ. එය විදෙස්‌ සමාජයකින් බෝවූවකැයි සිතමි. රූපවාහිනියේ තොරතෝංචියක්‌ නැතිව දිගහැරෙන ටෙලිනාට්‍ය නිසා වත්මන් පරපුරට පත පොත කියෑවීමේ රුචියක්‌ නැත. පොතක්‌ කියවා ආශ්වාදයක්‌ ලැබිය නොහැක්‌කේ සාහිත්‍යය නොදත්කම නිසාය. සරසවියේවත්, පාසලේවත් සාහිත්‍යය නැති නිසා දඩබ්බර වූ සමාජය තුළ කුඩුකාරයන්ගේ බෝවීම වර්ධනය වෙමින් පවතී. ළමා පරපුරට පාසලේදී සාහිත්‍යය ප්‍රගුණ කළේ නම් ආශ්වාදය සඳහා මතට හුරු පුරුදු වන්නේ නැත. රටේ අධ්‍යාපන ඇමැතිවරයා සාහිත්‍යධරයකු වූයේ නම්, ගුරුවරයා ද, සරසවි ඇදුරාද, සරසවි සිසුවාද සාහිත්‍යයට නැඹුරු වෙති. එවිට ජීවත් වන ජන සමාජය නොකිළිටිය. සුවඳවත්ය.

මුළු සමාජයම කුණු අඹ ගොඩකැයි ද නැතොත් හැම මිනිහෙක්‌ම පාහේ කුණු මාළු වෙළෙදෙකැයි යන අරුත ඇති නිසදැසක්‌ ජී. බි. සේනානායක ශූරින්ගේ පොතක තිබුණු බව මට මතකය. ඒ 20 වැනි සියවසේ අදහසකි. 21 වැනි සියවසේදී එය සත්‍යය වී ඇති බවක්‌ද දක්‌නා ලැබේ. පාසල් ගුරුවරයා සිසුවකු අපචාරයට ලක්‌ කරන බවටත්, සරසවි ශිෂ්‍යයන් විසින් සිය ගුරුවරයා අඩස්‌සියේ තබන බවටත් වාර්තා පළ වේ. එහෙම වන්නේ අප යට සඳහන් කළ දෙලොවක දර්ශනයේ ගැටුම නිසා නොවෙයිද?

ආදරයෙන් පරාජිත පෙම්වතා සිය පෙම්තියට පිහියෙන් ඇන මරා දමන්නේ මනස විකෘතිව කෙරෙන අධ්‍යාපනය නිසා යෑයි තර්ක කළ නොහැකිද? හැට හැත්තෑ වියේ පසුවන වැඩිහිටියා වත්මන් සමාජය දකින්නේ පිස්‌සන් කොටුවක්‌ ලෙසිනි. වත්මන් තරුණයා පශ්චාත් සමාජය දකින්නේ කෞතුකාගාරයක ලෙසිනි. මේ ගැටුම අසාධ්‍ය රෝගයක්‌ බවට පත්වෙමින් පවතී. සරසවි සිසුවා ඉගෙනීම පසෙකට දමා සමාජය හදන්න යැම බල්ලා වලිගය සෙළවීමක්‌ නොව වලිගය විසින් බලු කඳ සෙළවීමට දරණ ප්‍රයත්නයක්‌ නොවේද?

යමක්‌ පරණ වූ පලියට එය ඉවත නොදැමිය යුතුය. එහෙත් යල් පැනගිය විට එය වළලා දැමිය යුතුය. ඒ න්‍යාය මේ කලියුගයේදී කණපිට හැරෙමින් පවතී. සමාජය අපට ඔරොත්තු නොදෙන තැනක්‌ බවට පත්ව ඇත්තේ එය තේරුම් ගැනීමට බැරි නිසාය. පරිසරයට සාර්ථක ලෙස මුහුණ දෙන්නට බැරි තරමට මිනිසුන්ගේ ආත්ම ශක්‌තිය පිරිහී තිබේ. කෙනකු කරන වරදක්‌ හෙළා දැකීමට හෝ නිවැරැදි කිරීමට උනන්දුවක්‌ නැත. ඇඟ බේරා ගෙන කටයුතු කිරීමට පුරුදුව ඇත. අතීතයේ එසේ නොවේ. කාගේ හෝ දරුවකු නොපනත්කමක්‌ කරනු දුටු විට වැඩිහිටියා ඔහුට තර්ජනය කරයි. සමාජයට වූ බිය නිසා අපේ ළමා කාලයේදි බීඩියක්‌ උරන්නටත් පසු බෑවෙමු. මට මෙතැනදී අපූරු සිදුවීමක්‌ මතක්‌ වේ. මේ සිද්ධිය වූයේ නගර මධ්‍යයේය. එක්‌තරා උමතු ස්‌ත්‍රියක්‌ නිරුවත්ව කාටදො බැණ වැදුණාය. ඇගේ නිරුවත් හැසිරීම නිසා හැමකෙනකුම ඉවත බලාගෙන එතැනින් ගියා මිස එයට පිළියමක්‌ කළේ නැත. එහෙත් පදික වේදිකාවේ වෙළෙඳාමේ යෙදී සිටි වට්‌ටි අම්මා කෙනෙක්‌ එතැනට පැමිණ උමතු ළඳ අමතා, සීජු උඹ උදේට මොකවත් කෑවාදැයි ඇසුවා. එතෙක්‌ කුසගින්නේ සිටි උමතු ස්‌ත්‍රිය ඒ බසට කීකරු වී "නැත" යන අරුත වෙනුවට හිස සැලුවාය.

"මාත් තාම උදේට කෑවේ නැහැ. එහෙනම් යමු ආප්පයක්‌ දෙකක්‌ කන්න අර කඩේට".

ඇගේ ආරාධනයට උමතු ස්‌ත්‍රිය කීකරුව යුහුසුළු වූවාය.

"ඔහොමත් පුළුවන්ද බං කඩේකට යන්න ඉඳා මේක ඇඳගනින් කී වෙළෙන්දිය ඇය උඩට ඇඳ සිටි චීත්තය ගලවා උමතු ස්‌ත්‍රියට දුන්නාය. (අදත් ගැමිළියෝ ගමනට චීත්ත දෙකක්‌ අඳිති).

ඒ නිදසුන ඉදිරිපත් කළේ පරිසරයට ඔරොත්තු දෙන අයුරින් ජීවත් විය යුතු සැටි පාසලේ සිට ඉගැන්විය යුතු බව පසක්‌ කිරීමටය. වත්මන් අධ්‍යාපනය යටතේ සමාජයේ ජීවත්වීමට අවශ්‍ය ගුණධර්ම ගැන ඉගැන්වෙන විෂය ධාරාවක්‌ නැත.

ඒ නිසා වත්මන් බාල පරපුරේ බොහෝ දෙනෙක්‌. වැඩිහිටියනට ආමන්ත්‍රණය කළ යුතු හැටි නොදනිති. අනුන්ගේ මතය ඉවැසීමට නොදනිති. දෙවැන්නට ගරු කිරීම නොදනිති. යටත් පිරිසෙයින් පාරේ යන හැටිවත් නොදනිති. අනුන් කෙරෙහි නොසැලකිලිමත් වන රියෑදුරන් නිසා සිදුවන රිය අනතුරු පිළිබඳව වැඩියෙන් වාර්තා වන්නේ ඒ නිසාය.

අධ්‍යාපන විෂය මාලාව මනුෂ්‍යත්වයෙන් පෝෂණය කරන තුරු මිනිස්‌ වර්ගයාගේ නොමිනිස්‌කම් පිටු දැකිය නොහැකිය.

ආචාර්ය පියසේන රතුවිතාන
http://www.divaina.com/2014/11/10/feature.html

0 comments: