Pages

Friday, November 7, 2014

රට දැය සමය සැමවිට රැකුනේ දැයේ මුර දෙවියන් නිසාය! කාසාය චීවරය මව් බිමේ ශක්තියයි! දෙස්පලුවන් සිත්හි රුවා ගනිත්වා!

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතාණෝ මේ ළඟදී හොඳ කතාවක්‌ කළහ.

මේ මෑත කාලය තුළ නම් "හොඳ" කතා සඳහා එතරම් ජනප්‍රියභාවයක්‌ නො ඉසිලූ අග්‍රාමාත්‍යවරයා, පසුගිය 31 දා කතරගම, මයිලගම උපාලි ධර්මාශ්‍රම විහාරස්‌ථානයේ පැවති පුණ්‍ය මහෝත්සවයකදී සිදු කළ කතාව "හොඳ කතාවක්‌" වශයෙන් අප විසින් හඳුන්වනු ලැබුවේ එය අතිශය කාලෝචිත කතාවක්‌ ද නිසාය. අනෙක්‌ අතට මේ රටේ ඉතාම සුවිශිෂ්ට පිරිසක්‌ විෂයයෙහි කෙරුණු ගැඹුරු ආයාචනයක්‌ ද මේ කතාව තුළ අඩංගුව පැවති නිසාය.

දේශපාලනික හෝ සාමාජික හෝ හේතු මත මහා සංඝයාවහන්සේ බෙදුනහොත් එය මේ රටේ ආරක්‍ෂාවට මෙන්ම පැවැත්මට ද බරපතළ අභියෝගයක්‌ එල්ල කරනු ඇතැයි යන්න අග්‍රාමාත්‍යවරයා මෙහිදී කළ කතාවේ සාරය ය.

වසර දෙදහස්‌ පන්සිය පනහකට අධික කාලයක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාව ආරක්‍ෂා වූයේ මහා සංඝයා වහන්සේ විසින් කරන ලද කැප කිරීම් නිසාය යන්න මෙහිදී අවධාරණය කළ දි.මු. ජයරත්න මහතා, මේ රට ආක්‍රමණය කළ ඉතාම ශූර සහ සටකපට ආක්‍රමණිකයන් වූ එළාර, දාඨිය, පීඨිය මාඝ වැනි අයගෙන් රට බේරා ගැනීම සඳහා සටන් කළ හෙළ රජ දරුවනට ශක්‌තියත්, ධෛර්යයත්, උපදේශනයත් ලබා දුන්නේ මහා සංඝයා වහන්සේ විසින් බව ද අවධාරණය කළේය.

සංඝයා වහන්සේ යනු ආධ්‍යාත්මික ජීවිතයකට කැපවී සිටින පිරිසක්‌ වෙති. එහෙත් උන්වහන්සේ අපගේ ඉතිහාසයේ ආරම්භයේ පටන්ම රටේ සමාජ, දේශපාලන, සංස්‌කෘතික කටයුතු කෙරෙහි මහත් සේ බලපෑ පිරිසක්‌ ද වෙති. ඊට එක්‌ ප්‍රධාන හේතුවක්‌ නම් රටේ රාජ්‍ය ආගම වශයෙන් රට පාලනය කළ රජ දරුවන් විසින් නිසැකවම පිළිගනු ලැබූ බෞද්ධ දර්ශනයේ සාරයෙන් රටේ රාජ්‍ය පාලනය පෝෂණය වීමය.

අහිංසාව පදනම් කරගත් ඉතාම ගැඹුරු ලෝක දහමක්‌ තම රාජ්‍ය ව්‍යවස්‌ථාවනට ඉහළින් තිබීම පිළිබඳව රටේ රජවරුන් හෝ වැසියන් හෝ කොයි කාලයකවත් ප්‍රශ්නයක්‌ ඇතිකර ගත්තේ නැත. කලාතුරකින් එසේ ප්‍රශ්නයක්‌ ඇතිකර ගත්තකුට එක්‌කෝ රාජ්‍ය පාලකයා වීමේ අවකාශය නො ලැබුණේය. නැතහොත් වැඩිකල් රජකමේ සිටින්නට නොලැබුණේය. එපමණක්‌ නොවේ 10 වැනි සියවස පමණ වන විට රටේ ප්‍රචලිතව තිබූ මතය වූයේ ලක්‌ රජය කළ යුත්තේ බෝධිසත්වවරුන් විසින් පමණක්‌ය යන්න ද වේ. (4 වැනි මහින්ද රජුගේ සෙල්ලිපියේ මේ බව පැහැදිලිව සඳහන්ය.) 

කවර නව සියවසකට පා තබා තිබුණ ද කවර ජාත්‍යන්තර ප්‍රවණතාවකට ලක්‌ව තිබුණ ද ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයත් එහි දේශපාලන අනුප්‍රාණයත් බුදු සමය සමග පවත්වන හරයාත්මක බැඳීම තවම අබමල්රේණුවක තරම්වත් වෙනස්‌ කරගෙන නැත. බුදුන් ඇදහීම ගෙදරදී කරගෙන දේශපාලන තීන්දු තීරණ සඳහා හිස්‌ අතින් පැමිණෙන්නැයි තම දේශපාලන අනුගාමිකයනට ප්‍රකාශ කළ රටේ ඇතැම් දේශපාලනඥයනට හිස්‌ අතින්ම ගෙදර යන්නට සිදු වූ බව ද මෙහිදී සිහි කළ යුතු මනාය.

ලෝකයේ වඩාත් පැරැණි සහ ඓතිහාසික පූජනීය සංවිධානය වශයෙන් තවමත් සැලකෙන බෞද්ධ සංඝ සමාජය ශ්‍රී ලංකාව තුළ ද තවමත් එම විශිෂ්ටත්වයම හොබවන්නේය. කවර හේතු නිසා හෝ එය බේද වීම, ඒකීය නොවීම දි.මු. ජයරත්න මහතාගේ සිතට පමණක්‌ නොව මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවගේම සිත්වලට කනගාටුවක්‌, කම්පාවක්‌ මේ නිසා ඇතිවීම වළකනු නො හැකිය.

එදා ඉපැරැණි රජ දවස සේම, පසුගිය තිස්‌ වසරක්‌ තුළ පැවති ත්‍රස්‌තවාදීන් සමඟ යෙදුණු යුද්ධයේදී ද, භික්‍ෂූන් වහන්සේ මේ රට පාලනය කළ ඕනෑම නායකයකු සමග සිටි සේක. එදා ආක්‍රමණිකයන් හමුවේ සේම මෙදා එම ආක්‍රමණිකයන්ගේ භූමිකාවට අවතීර්ණව සිටින ත්‍රස්‌තවාදීන් හමුවේ ද රටේ නායකයන් නැඟී සිටින විට කොන්දේසි විරහිතව ඔවුනට අවශ්‍ය ශක්‌තිය ධෛර්යය සපයමින් ඔවුන් පිටුපස සිටියේ භික්‍ෂූන් වහන්සේය.

අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන්නා සේම අද මෙම භික්‍ෂූන් වහන්සේ බේද භින්න කිරීමේ උත්සාහයක්‌ තිබෙන්නට පිළිවන. එය පිටුපස තිබෙන උවමනාව යළිත් මේ රට බෙදා වෙන් කිරීමේ උවමනාව වීමට බැරිකමක්‌ නැත. 

අග්‍රාමාත්‍යවරයාගේ සංවේදී ප්‍රකාශය ඊට එරෙහිව නැඟුණකි. එය මේ රටේ සමස්‌ත සංඝරත්නයේම අවධානයට ලක්‌විය යුතු යෑයි අපි විශ්වාස කරමු.

http://www.divaina.com/2014/11/07/editor.html

Pic Source

0 comments: