Pages

Thursday, January 24, 2013

බුදුදහම විශ්ව යථාර්ථය බවට පිළිගන්නා මෑත අනාගතය දක්වා එය ආරක්ෂා කර ගැනුම - දිවයින කතුවැකිය

"සූකර සංග්‍රාමය"
Dinner - Nirvana Style - cozy Buddha bar lounge |  Buddhha bar longe music & international
Pic copied from - Bodu Bala Sena Jalaya (FB)



























මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨතම විමුක්‌තිදායකයාණන් වහන්සේ හෙවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප අපගේ මහත් ගෞරවයත්, භක්‌තියත් හැම මොහොතකම පුද කර සිටින්නේ උන්වහන්සේ දෙසූ දහම සරණ ගිය මහා ලෝක සමාජයක සාමාජිකයන් වශයෙනි. එසේම, රටක්‌ සහ ජාතියක්‌ වශයෙන් ද උන්වහන්සේ කෙරෙහි මහත් සේ කෘතඥතා පූර්වක වීමට අපට හේතුවක්‌ තිබේ. ඒ, අද අප මේ භුක්‌ති විඳින ජීවිතය සකස්‌ කළ සහ එයට පදනම සැපයූ ජීවන දර්ශනය ද අනෙකක්‌ නොව උන්වහන්සේ දෙසූ දහම ඇසුරෙන්ම ගොඩනැඟුණක්‌ වීම ය.


එය එක්‌තරා ඥාන ධාරාවක්‌ වශයෙන්ද, ඒ ඥාන ධාරාව ඇසුරු කරමින් සහ පෝෂණය කරමින් වසන්නා සිංහල බෞද්ධයා වශයෙන් ද හඳුන්වනු ලැබේ. රටේ සභ්‍යත්වය සේම ඉතිහාසය ද ගොඩනැඟූ සිංහල බෞද්ධයන්ගෙන් රටේ ජීවත් වූ සිංහල නොවන්නකුට හෝ බෞද්ධ නොවන්නකුට තබා කුරා කුහුඹියකුටවත් වරදක්‌ සිදු වූයේ ද නැත. මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔවුන් අපේක්‍ෂා කළ ජාතික සහජීවනය යටතේ ආක්‍රමණිකයන්ට වෙසෙන්නට නො හැකි වුව ද, බොහෝ ජාතීන් බොහෝ කලක පටන් සිංහලයා සමඟ මෙහි ජීවත් වූයේම ය. වෙනත් ඕනෑම ආගමකට ගරු කිරීම යන විශිෂ්ට ආකල්පය යටතේ සිංහල බෞද්ධයෝ ඕනෑම ආගමිකයකුට මෙහි පැවතෙන්නටත් වර්ධනය වෙන්නටත් ඉඩකඩ ලබා දුන්හ.
බුද්ධ බාර් යනු දැනට කලක පටන්ම ලෝකය මුළුල්ලේ ක්‍රියාත්මක වන බෞද්ධ ධර්මයට එරෙහි අති නූතන වූත්, අති වනචාරී වූත් ව්‍යාපාරයකි. තම ව්‍යවස්‌ථා පොත පෙරළමින් මානව හිමිකම් ගැන ද ආගමික නිදහස සහ ගෞරවය ගැන ද පුදුම දේශනා පවත්වන බොහෝ බටහිර රටවල් තම රටවල් තුළ ක්‍රියාත්මක 'බුද්ධ බාර්' පිළිබඳව වදනකිනුදු විරුද්ධ නොවේ. තම ආගමට අපහාස කළේ යෑයි ඕනෑම කෙනකුගේ බෙල්ලටම වැඩේ දෙන්නට පුල පුලා බලා සිටින ඇතැම් අරාබි රටවල් ද බුද්ධ බාර් පවත්වාගෙන යන්නේ මහත් අභිරුචියෙන් බව පෙනේ.

ඒ කෙසේ වෙතත් ලෝකයේ මොනම රටකවත් ලෝකයේ වෙනත් මොනම ආගමික ශාස්‌තෘවරයකුගේa නමින් කසිකබල් බාර් හෝ හෝටල් හෝ පවත්වාගෙන යන්නේ නැත. එහෙත් අද ලෝකයේ ප්‍රධාන පෙළේ යුරෝපීය රටවල ද ඇතැම් අරාබි රටවල ද බුදුන් වහන්සේට අපහාස කිරීමේ පරම අරමුණින් බිහි වූ හෝටල්, සමාජ ශාලා, කැරොකේ ශාලා, විනෝද ශාලා තිබේ. මත්ද්‍රව්‍ය සහ නිර්වාණය එකක්‌ ලෙස සලකන සංගීත කණ්‌ඩායම් ද තිබේ. නොයෙකුත් පාරිභෝගික භාණ්‌ඩ සඳහා වන වෙළෙඳ නාමයන් ද බුද්ධ බාර් නමින් තිබේ. ලෝකයේ බොහෝ බෞද්ධ රටවල ජනතාව විසින් මේ පිළිබඳව විරෝධය දැක්‌වූ අවස්‌ථා කොතෙකුත් තිබේ. එහෙත් අදාළ කිසිදු රටක්‌ තම අසංස්‌කෘතික වනචරයන්ට ඒ අරභයා දුන් දඬුවමක්‌ තබා අවවාදයක්‌වත් නැත.

කුමන හේතුවක්‌ නිසා හෝ 'බුද්ධ බාර්' මෙතෙක්‌ කලක්‌ ශ්‍රී ලංකාවට පැමිණියේ නැත. ඒ මේ රටේ වෙසෙන බුදුන් වහන්සේට අතිමහත් ලෙස ගෞරවය, භක්‌තිය පුදන මිනිසුන්ගේ ඉවසීම ගැන සේම ඔවුන්ගේ ඉවසීමේ සීමාවන් ගැන ද බෞද්ධ විරෝධී උන්මත්තකයන් තුළ යම් දැනීමක්‌ තිබුණු නිසා විය යුතු ය.

එහෙත් පසුගිය 21 දා බේරුවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකින් වැඩේ අරඹා ඇති සෙයකි.

අදාළ හෝටලය තමන් විසින් සංවිධානය කළ රාත්‍රි සාදය නම් කර ඇත්තේ බුද්ධ බාර් යනුවෙනි. එහි ආහාර වට්‌ටෝරුව නිර්වාණ යනුවෙන් නම් කර තිබේ. මත්පැන් සඳහා වන කට ගැස්‌ම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි යනුවෙන් නම් කර තිබුණේ ද යනුවෙන් දැන ගන්නට නැතත් ඒවා සංවිධානය කරන්නේ එසේ කිරීමට බැරි අයියලා විසින් නොවන බවට සැකයක්‌a නැත.

කෙසේ වුවත් සිද්ධිය සැළ වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රධාන භික්‍ෂුන් වහන්සේ පිරිසක්‌ විසින් බුද්ධ බාර් සාදය වටලන ලද්දේ ය. බුදු දහමට අපහාස වන දැ පළ කිරීම, නිෂ්පාදනය කිරීම සේම ඊට අපහාස වන සේ කටයුතු කිරීම ද තහනම් කරන නීතියන් දැන් රටේ තිබේ.

අදාළ සාදය පිළිබඳව බොදු බල සේනා සංවිධානයට පෙර ආරංචි විය යුතුව තිබුණේ බේරුවල පොලිසියට වුවත් එසේ වූ බවක්‌ දැන ගන්නට නැත. ඒ නිසාම බොදු බල සේනා සංවිධානයේ මැදිහත්වීම පැසසීමට අපට සිදු වෙයි. ආගමික ශාස්‌තෲවරුන්ගේ නාමයෙන් කුණු සාද පවත්වන්නවුන් අයත් වන්නේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයකට යෑයි විශ්වාස කරන ගොබ්බයන් මේ රටේ සිටින්නට බැරි කමක්‌ නැත. එහෙත් ඒ 'සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය' තිබෙන රටවල වෙනත් කිසිදු ශාස්‌තෲවරයකු ඒ සඳහා තෝරා නොගෙන ඒ සඳහා බුදුන් වහන්සේම තෝරා ගන්නේ ඇයි ද යන්නට නම් පිළිතුරක්‌ ඔවුනට තිබෙන්නට පුළුවන්කමක්‌ ද නැත.

ආතර් සී. ක්‌ලාක්‌ වැනි ලෝක සම්භාවනාවට පාත්‍ර වූ මහා විද්වතුන් විසින් ද නූතන ලෝකයේ බොහෝ විද්‍යාඥයන් විසින් ද පසුගිය සතියේ පළ කරන ලද එක්‌තරා විද්‍යා අනාවැකියක්‌ තිබේ. එයට අනුව මුළු මහත් ලෝකය විසින් ම ඉදිරි වසර 50 කාලය තුළ බුදුÊදහම විශ්ව යථාර්ථය වශයෙන් එකහෙළා පිළිගනු ලබන්නේය.

අප සිතන්නේ ලෝකයේ සිටින සියලුම වර්ගවල මූලධර්මවාදීන් ඊට එරෙහිව ක්‍රමානුකූලව ගෙන යන සූකර සංග්‍රාමයේ පෙරමුණු බළ ඇණිය 'බුද්ධ බාර්' වැඩපිළිවෙළ බවය.

එය ශ්‍රී ලංකාව තුළට ගෙන ඒම නම් කොයි අමනයාටත් දහස්‌ වරක්‌ කල්පනා කර බැලිය යුතු ක්‍රියාවක්‌ බවට සැකයක්‌ නැත.
මූලාශ්‍ර - http://www.divaina.com/2013/01/24/editor.html


සබැඳි ලිපි -
තුන් ලොවට නයු වූ සම්මා සමිඳුන්ට අපහාස කළ 'බුද්ධ බාර්' හි 'නිර්වාණ' බුෆේ දුන් පාපතරයන් තවමත් නිදැල්ලේ
http://denethharinna.blogspot.com/2013/01/blog-post_23.html
'බුද්ධ බාර්', 'නිර්වාණ', 'අල්ලා බාර්' සහ 'කුරාණ්'
http://denethharinna.blogspot.com/2013/01/blog-post_6491.html
සමාන සිද්ධියකට අදාල පෙර ලිපිය -
හෙළ බොදුනුවන්ගේ මෙත් කරුණාව ගැන තවත් සහතික කුමට අවැසිද?
http://denethharinna.blogspot.com/2012/10/blog-post_15.html

0 comments: