Pages

Tuesday, November 11, 2014

චීන වාණිජ සවිය ඉදිරිපිට හඬා වැළපෙන ඇමරිකාව

ආසියාවේ යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා ආයෝජනය කළ හැකි ප්‍රාග්ධනයක්‌ චීනය සතුව පවතී. ඊට අමතරව ආසියාව මර්දනකාරීව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ ව්‍යාපෘති සඳහා අසමසම විශේෂඥ දැනුම් සම්ප්‍රදායක්‌ද චීනය සතු වේ. පසුගිය දශක දෙක තුළ ඉතිහාසයේදී ඔවුන් ඉටුකර ඇති විශිෂ්ට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති තුළින් එය මනාව සනාථ වේ. ආසියාවේ යටිතල පහසුකම් සංවර්ධනයට මැදිහත් වීම තුළින් චීනයට අත්වන්නා වූ ප්‍රතිලාභ එමටයි. එසේම ප්‍රත්‍යක්‍ෂයි. ආසියාවේ යටිතල පහසුකම් සංවර්ධනයේදී ප්‍රමුඛතාවය ගැනීම තුළින් ආසියා කලාපීය ආර්ථික කේන්ද්‍රයෙහි තමන්ගේ අභිප්‍රායන් තහවුරු කර ගැනීමටත් යහපත් වාතාවරණයක්‌ නිර්මාණය වන බව චීනය හොඳින් අවබෝධ කරගෙන ඇත. 

චීනයේ බිජිං නුවර පසුගිය සතියේ විවෘත කරන ලද නව ආසියානු යටිතල ආයෝජන බැංකුව පිළිබඳව ඇමරිකාව පසුතැවිල්ලට පත්වීම වරදක්‌ නොවේ.

නැගෙනහිර හා දකුණු චීන මුහුදෙහි චීනය අනුගමනය කරනු ලබන බිය සැක නැති හමුදා ප්‍රයෝගයක්‌ සේම මෙම ආර්ථික පියවරද ඇමරිකාව විසින් සාම්ප්‍රදායිකව ආසියාවෙහි පවත්වාගෙන යන්නාවූ පෙරමුණ අබියස ඔවුන් හට අභියෝගයක්‌ බවට පත්වනු ඇත. නමුත් ඇමරිකාව ප්‍රමුඛ පාක්‍ෂිකයන්, චීනය විසින් දියත් කරන ලද මෙකී ආර්ථික පියවර (බැංකුව) කෙරෙහි එරෙහිවීම වැරදි සහගත වන්නේ එසේ එරෙහිවීම තුළින් ඔවුන්ගේ දුබල බව පෙනී යන නිසාවෙනි.

මෙම බැංකුව පිහිටුවීම ආර්ථික සාධකයක්‌ පමණක්‌ බැව් මොහොතකටවත් සිතිය යුතු නැත. ඇමරිකා එක්‌සත් ජනපදය දශක ගණනාවක්‌ පුරා පවත්වාගෙන යන්නාවූ සිය දේශපාලන හා උපායමාර්ගික ක්‍රියාදාමයන්හි මූලික පැතිකඩ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයන් වන ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකු විෂය පථයෙහි අන්තර්ග්‍රහණය කර ඇත. ඒ අනුව චීනයට ඔවුන් පිහිටවූ මෙම බැංකුවෙහි (AIIB) කාර්ය භාරයක්‌ හරහා ආසියාව තුළ ඔවුන්ගේ ආර්ථික අරමුණු පමණක්‌ නොව දේශපාලන හා උපාය මාර්ගික බලපෑම් සහිත න්‍යාය පත්‍රය ආසියාව තුළ දියත් කර ගැනීමේ හැකියාව පිළිබඳ ඇමරිකා එක්‌සත් ජනපදයට නිසි අවබෝධයක්‌ තිබීම අමුතුවෙන් කිව යුතු නොවන්නේය. ආර්ථික පදනම එවැනි ආයතනයකට දැඩි ශක්‌තියක්‌ බවට සැකයක්‌ නැත. යෝධ යටිතල සංවර්ධනයක්‌ ඇති නොවුවහොත් ඉදිරි දශක කීපය තුළ ආසියාවෙහි ආර්ථික වර්ධනයට දැඩි ලෙස බාධා පැමිණිය හැකිය. ඉදිරි වසර හය සඳහා පමණක්‌ නැගෙනහිර ආසියාවට එහි විභවයක්‌ (සංවර්ධන හැකියාවක්‌) යථාර්ථයක්‌ බවට පත්කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 8 ක්‌ (US $ Trillion) පමණ අවශ්‍යවන බව සමහර ඇස්‌තමේන්තු පෙන්වා දී ඇත.

එම මුදලින් සුළු කොටසක්‌ සැපයීම සඳහා වුවද ප්‍රාග්ධන පහසුකම් දැනට පවත්නා නියෝග හා වාතාවරණයක්‌ තුළින් ලබාගත නොහැක. එපමණක්‌ නොව ඉදිරියේ ඇති අත්‍යවශ්‍ය ඉල්ලුම සපුරාලීමට හැකිවන පරිදි අදාළ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට පරිපාලනමය වශයෙන්ද හැකියාවක්‌ නොපෙනේ. ආසියානු සංවර්ධන බැංකුව (ADB) නිලධාරීන්ගේ මන්දගාමී තීරණ ගැනීමේ ස්‌වරූපය පිළිබඳවද ඇත්තේ යහපත් ප්‍රතිචාරයක්‌ නොවේ.

ආසියාවේ යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා ආයෝජනය කළ හැකි ප්‍රාග්ධනයක්‌ චීනය සතුව පවතී. ඊට අමතරව ආසියාව මර්දනකාරීව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ ව්‍යාපෘති සඳහා අසමසම විශේෂඥ දැනුම් සම්ප්‍රදායක්‌ද චීනය සතු වේ. පසුගිය දශක දෙක තුළ ඉතිහාසයේදී ඔවුන් ඉටුකර ඇති විශිෂ්ට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති තුළින් එය මනාව සනාථ වේ. ආසියාවේ යටිතල පහසුකම් සංවර්ධනයට මැදිහත් වීම තුළින් චීනයට අත්වන්නා වූ ප්‍රතිලාභ එමටයි. එසේම ප්‍රත්‍යක්‍ෂයි. ආසියාවේ යටිතල පහසුකම් සංවර්ධනයේදී ප්‍රමුඛතාවය ගැනීම තුළින් ආසියා කලාපීය ආර්ථික කේන්ද්‍රයෙහි තමන්ගේ අභිප්‍රායන් තහවුරු කර ගැනීමටත් යහපත් වාතාවරණයක්‌ නිර්මාණය වන බව චීනය හොඳින් අවබෝධ කරගෙන ඇත. ආසියාව අනිකුත් කලාපයන් සමග ඇති සම්බන්ධතාවයන් පිළිබඳවද අවධානය යොමු කළ හැකි වන්නේය.

චීන සමාගම්වලට කොන්ත්‍රාත් ලබා ගැනීමටත් එමගින් ඔවුන්ට ප්‍රයෝජන අත්කර ගැනීමටත් විශිෂ්ට අවස්‌ථාවක්‌ මේ තුළින් සැලසෙනු ඇත. සත්‍ය වශයෙන්ම චීනයට සිය දේශපාලනික බලපෑම් තමන්ගේ අසල්වැසි රාජ්‍ය තුළ වර්ධනය කර ගැනීම සඳහා පුළුල් අවකාශයක්‌ද මේ තුළින් ලැබෙනු ඇත. නව ආයතනයක්‌ පිහිටුවීමට වඩා ණය දෙන පැරැණි ආයතනයන්හි මුදල් ආයෝජනය කිරීම හා ඒවා ප්‍රතිසංස්‌කරණ යකිරීම චීනය දිරි ගැන්වීම ඇමරිකාව සිය අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සිදු කළා නම් වඩා යහපත් විය හැකිව තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව යන ආයතනයන්හි පාලක මණ්‌ඩල තුළ වැඩි ඡන්ද බලයක්‌ ඉල්ලා සිටීම නිරන්තරයෙන්ම වළක්‌වාලමින් ආසියානු යටිතල ආයෝජන බැංකුව බිහි කිරීමට ඇමරිකාව විසින් චීනය දිරිගන්වා ඇත. ඒ අනුව එකී බැංකු කාර්යයන්හිදී චීනයට වැඩි අවස්‌ථාවක්‌ හිමිවන්නේද නැති අතර එසේ නොමැති කල්හි චීනයේ කාර්ය සාධනය පුළුල් අයුරින් සාර්ථක කර ගැනීමට චීනයට ලැබෙන අවකාශයද අල්පය. නමුත් චීනයේ ඒකාන්ත නිගමනය වූයේ පැරැණි මූල්‍ය ආයතන පසෙක ලා තමන්ගේම නව මූල්‍ය ආයතනයක්‌ පිහිටුවා ගැනීම තුළින් තම අවශ්‍යතා යහපත් ලෙස ඉටුකර ගැනීමේ අවකාශ තිබෙන බවය.

ආසියානු යටිතල බැංකුව තුළින් අනිකුත් ආසියානු රටවල්වල අවශ්‍යතාවයන්ද මනා ලෙස ඉටුකර ගැනීමේ හැකියාව පවතී. එහෙත් සැගකිල්ලට ගතයුතු අවාසි සහගත තත්ත්වයන් කිහිපයක්‌ද නැත්තේ නොවේ.

චීනයෙහි බලය නැගී ඒමත් සමගම ආසියාවෙහි සෑම රටක්‌ම දෙයාකාරයකින් ආකර්ෂණය වේ. ආසියාවේ සෑම රටක්‌ම චීනයේ බලය ව්‍යාප්ත වීම තුළින් ලැබෙන්නා වූ අතිමහත් ආර්ථික අවකාශයන් පිළිගන්නා සේම එසේ ධනය හා බලය වැඩෙත්ම චීනය නියත ලෙසම කලාපීය වශයෙන් සිය බලපෑම වඩාත් උත්සන්න කරන බවද ඔවුන් දනිති.

එහෙත් ඔවුන් සියල්ලන්ම චීන සෙවණැල්ලට මුවා වී ජීවත්වීමට බියවන අතර චීනය කේන්ද්‍රය කරගත් කලාපීය ක්‍රමවේදයක්‌ තුළට අනුගත වීමෙන් වැළකීමටද ඔවුන් හට අවශ්‍ය වනු ඇත. මේ පිළිබඳව අවබෝධ කරගත් වොෂිංටනය ආසියානු රටවල් චීනය පිහිටුවනු ලැබූ ආසියානු යටිතල ආයෝජන බැංකුවට සම්බන්ධවීම අධෛර්යවත් කිරීමට කටයුතු කිරීමේ මෙහෙයුමක්‌ ආරම්භ කිරීමට උත්සාහ දරා ඇත. පරිභෝජන ක්‍රියාවලිය පාලනය සඳහා වැඩි අවධානයක්‌ යොමු කරනු ලැබ තිබුණද එහි ණය දීමේ ප්‍රතිපත්ති තුළින් පාරිසරික හා සමාජයීය ප්‍රමිතීන් සම්බන්ධයෙන් දැඩි බලපෑමක්‌ සිදුනොවන බව වොෂිංටනය පෙන්වා දීමට වෑයම් කර ඇත.

මේවා සැබෑ ගැටලුකාරී තත්ත්වයන් වුවද ආසියානු අග නගරයන්හි ඒ පිළිබඳව අර්බුදකාරී තත්ත්වයක්‌ මතුපිටින් පෙනෙන්නට නොමැත. බටහිරින් පනවන ලද සම්මතයක්‌ තුළින් ආසියාවට ඉමහත් සෙතක්‌ සැලසී ඇති බවක්‌ නොපෙනෙන අතර 1990 අග භාගයේදී පමණ සිදුවූ නැගෙනහිර ආසියානු මූල්‍ය අර්බුද සමයේදී සැලසුම් සහගත නොවූ අයුරින් වොෂිංටනය විසින් බලපවත්වන ලද භූමිකාව හේතුවෙන් පැරැණි මූල්‍ය ආයතන ලබා තිබූ කීර්තිය නැවත අත්කර ගැනීමට එම ආයතනවලට කිසි දිනක නොහැකි විය.

පසුගිය සතියේදී පිහිටුවනු ලැබූ නව ආසියානු යටිතල ආයෝජන බැංකුවෙහි සාමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රියාදාමයෙන් බොහෝ ආසියානු රටවල් මගහැරවීමට වොෂිංටනය දැක්‌වූ සැලකිල්ල කිසිදු අයුරින් සාර්ථක වූ බවක්‌ පෙනෙන්නට නැත. ඒ වගේම සාමාජිකත්වය ලබා ගැනීමෙන් වැළකී සිටී ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල් දිගු කලක්‌ එසේ වැළකී සිටීද යන්න පිළිබඳව සැක සහිතය. ආසියානු යටිතල බැංකුව පසුපස පවතින ගම්‍යතාවය වැළැක්‌විය නොහැකි තරමට ප්‍රබලය. ආසියාවෙහි දේශපාලන හා උපාය මාර්ගික වාසිය සඳහා ආර්ථික ශක්‌තිය යෙදවීමට වොෂිංටනය දැරූ වෑයම බිඳ වැටීමක්‌ පෙන්නුම් කරයි. ඇමරිකා එක්‌සත් ජනපදයට ආසියාව ආකර්ෂණය කර ගැනීමට හැකි ප්‍රවේශය වන්නේ ශාන්තිකර සාගර වෙළෙඳ හවුල බව ඔබාමා පරිපාලනය නිරීක්‍ෂණය කර ඇත. චීන අභියෝගය පසෙක ලමින් එය ආසියා කලාපීය ආර්ථිකයෙහි කේන්ද්‍රය වශයෙන් නැගී ඒම වළක්‌වාලීමට මෙම හවුල ඇමරිකාවට උපකාරී වේ යයි අදහස්‌ කර ඇත.

ශාන්තිකර සාගර වෙළෙඳ හවුල මේ වසරේදී අවසන් කිරීමට අදහස්‌ වී ඇති අතර මෙම අරමුණ පෙරදැරිව ඉහළ ඇමැති මට්‌ටමේ සාකච්ඡා පැවැත්වෙයි. නමුත් බැරෑරුම් හා සමථයකට පත්කර ගැනීමේ දුෂ්කර ගැටලුවලට එය දැන් මුහුණපා ඇත. එකී ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට හැකි වුවත් නැගී එන පුළුල් චීන ආර්ථික හැකියාව හා බලවත් දේශපාලන ශක්‌තිය "එය කිරීමට තරම් සමත්වන්නා වූ වෙළෙඳ රටාවකට යොමුවීමට හැකිනොවනු ඇත.

එබැවින් චීනය පිහිටුවා ඇති ආසියා යටිතල බැංකුවට විරුද්ධ වීමට ඇමරිකා එක්‌සත් ජනපදය ගත් තීරණය තදබල උපාය මාර්ගික වරදක්‌. ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම තුළින්ම මෙම ගැටලුව පිළිබඳ ඔවුන්ගේ අදක්‍ෂ බව සනාථ වී ඇත.

ඒ හැර චීනයේ නැගී එන ආර්ථික හා හමුදා ශක්‌තිය මෙන්ම නව අත්දැකීම් ඒකරාශි කර ගැනීම සඳහා ඔවුන්ගේ අධිෂ්ඨානය නොසලකා හරිමින් ආසියාවෙහි කලාපීය පර්යාය වෙනස්‌ වෙමින් පවතින බවත් එසේ සිදුවීම නොවැළැක්‌විය හැකි බවත් පිළිගනිමින් ඇමරිකා එක්‌සත් ජනපදය ඔවුන්ගේ මිථ්‍යා සිතිවිල්ලෙන් බැහැරවී ඒ පිළිබඳව නිර්මාණශීලීව හා යථාර්ථවාදීව සිතීමෙන් තම බලපෑම් තම ආසියා පර්යාය තුළ වර්ධනය කර ගැනීමට හැකිවනු ඇත. ආසියාවෙහි අපගේ සියලු දෙනාගේම අපේක්‍ෂාව එසේ සිදුවේය යන්නයි. ආසියානු යටිතල ආයෝජන බැංකුව නව ආරම්භයක්‌.

<--- ආසියානු යටිතල ආයෝජන බැංකුවෙහි ආරාධිතයින් සමග චීන ජනාධිපති ෂීජින්පෙං (මැද) ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

ඔස්‌ටේ්‍රලියාවේ කැන්බරාහි ජාතික විශ්වවිද්‍යාලයෙහි උපායශීලී අධ්‍යයන පිළිබඳ මහාචාර්යවරයෙකුගේ ලිපියක්‌ ඇසුරිනි.

සැකසුම: ඩබ්ලිව්. පී. එන්. දයාරත්න
http://www.divaina.com/2014/11/11/feature01.html

0 comments: