Pages

Monday, November 17, 2014

සීවලි හංසසාර රත්වත්ත (1923-2014)

උපාලි සමූහ ව්‍යාපාරයේ සභාපති තැන්පත් දොස්‌තර සීවලි හංසසාර රත්වත්ත මැතිතුමාගේ අභාවය පිළිබඳ මහත් වූ සංවේගය මෙසේ සටහන් කරනු ලැබේ. අනුබද්ධ දේශීය සමාගම් විස්‌සක පමණ ද, ලංකාවේ වැවිලි ඉඩම් අක්‌කර විසිනව දහසකින් සමන්විත වූ වැවිලි සමාගමක ද, සිංගප්පූරුවේ සහ මැලේසියාවේ පිහිටි සමාගම් කිහිපයක ද හිමිකාරයා වූ උපාලි සමූහ ව්‍යාපාරයේ පුරෝගාමී සභාපති උපාලි විජයවර්ධන මැතිතුමා 1983 පෙබරවාරි 13 වැනිදා අතුරුදන් වීමෙන් පසු මහත් අර්බුදයක්‌ ඇති විය. මෙහිදී සිංගප්පූරුවේ සහ මැලේසියාවේ තිබූ උපාලි සමාගම් විසුරුවා හැර බංකොලොත්භාවයෙන් වළකා ගැනීමේ කාර්යභාරය උපාලි සමූහයේ උප සභාපති ආර්. මුරුගයියා මැතිතුමාට භාර විය. ලංකාවේ පිහිටි උපාලි සමාගම් බංකොලොත් වීමට නොදී පවත්වාගෙන යැමේ වගකීම උපාලිගේ කිට්‌ටු මිතුරකු සහ ඥතියකු වූ දොස්‌තර සීවලි රත්වත්තේට භාර විය. වෘත්තීය වෛද්‍යවරයකු වූ දොස්‌තර රත්වත්ත මැතිතුමා ඒ වන විට සිටියේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතයකු ලෙස නේපාලයේ කත්මන්ඩු නගරයෙහි කීර්තිමත් වෘත්තියක නිරත වෙමිනි. එහෙත් පැය විසිහතරක්‌ තුළ සිය ඉල්ලා අස්‌වීම එක්‌සත් ජාතීන්ට භාරදුන් රත්වත්ත මැතිතුමා ශ්‍රී ලංකාවට පැමිණ උපාලි සමූහ ව්‍යාපාරය පවත්වාගෙන යැමේ දුෂ්කර වූද අභියෝගාත්මක වූද වගකීම භාර ගත්තේ ය. ඒ වන විට අපි බරපතළ දේශපාලන පළිගැනීම්වලට ලක්‌වෙමින් තිබූ ආයතනයක්‌ වීමු. එහෙත් දොස්‌තර සීවලි රත්වත්තේ මැතිතුමාගේ පුරෝගාමී ව්‍යායාමයට අනුව සිය ව්‍යාපාරික ගමන ගිය උපාලි සමූහ ව්‍යාපාරය උපාලි විජයවර්ධනයන්ගේ අභාවයෙන් තිස්‌එක්‌ අවුරුද්දකට පසු අදටත් සෘජුව සිටියි. එම සමාගම් සමූහයේ කොටස්‌කාර සමාගමක්‌ වන උපාලි පුවත්පත් සමාගම "දිවයින" සහ "දි අයිලන්ඩ්" පුවත්පත් ප්‍රකාශයට පත් කරමින් රටට, ජාතියට හා රටේ ඒකීයත්වයට කරන මෙහෙවර උත්තුංග ය. උත්තරීතර ය. ඒ සියල්ල නියමාකාරයෙන් සිදු කිරීමට 1983 දී දොස්‌තර සීවලි රත්වත්ත මැතිතුමා විසින් උපාලි සමූහ ව්‍යාපාරය ශක්‌තිමත් කරනු ලැබීම විශාල ලෙස බලපෑවේ ය.

සීවලි හංසසාර රත්වත්තේ මැතිතුමා මේ රටේ දේශපාලනයට හැම අතින්ම උරුමකම් කිවූ නමුත් කිසි කලෙකත් ක්‍රියාකාරී දේශපාලනයට අනුගත නොවූ කෙනෙකි. එතුමාගේ පියා වූ බාන්ස්‌ රත්වත්ත (1883 - 1957) මහ දිසාපතිතුමා බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පිහිටුවන ලද සෙනෙට්‌ සභාවට පත් වූ පළමු සිංහල බෞද්ධයා ය. ඔහු සබරගමුවේ දිසාපති හෙවත් මහ දිසාවේ විය. බාන්ස්‌ රත්වත්ත මැතිතුමාගේ සහෝදරයකු වූ කුඩා රත්වත්ත මැතිතුමා අධිකාරම් තනතුරකින් පිදුම් ලැබූ අතර මහනුවර පුරපති විය. අනෙක්‌ සහෝදරයා වූ හැරිස්‌ ලෙව්කේ රත්වත්ත, මහනුවර ශ්‍රී දළදා මාළිගයේ පසළොස්‌වන දියවඩන නිලමේතුමා විය. බාන්ස්‌ රත්වත්ත මැතිතුමා විවාහ කරගත්තේ බලංගොඩ මහවලතැන්නේ රටේ මහත්තයාගේ දියණිය වූ මහවලතැන්නේ කුමාරිහාමි ය. මේ යුවළට පිරිමි දරුවෝ සිව්දෙනෙක්‌ ද ගැහැනු දරුවෝ දෙදෙනෙක්‌ ද වූහ. සීවලි හංසසාර රත්වත්ත ඒ අතුරින් අයෙකි. ගැහැනු දරුවන්ගෙන් අයකු වූ සිරිමාවෝ රත්වත්ත මැතිනිය පසු කාලයේදී මේ රටේ අගමැති වූ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩරනායක මහතා සමඟ විවාහ වී, පසුව අවස්‌ථා කිහිපයකදීම අගමැතිනිය වී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග සහ හිටපු කථානායක අනුර බණ්‌ඩාරනායකට මව වූ කීර්තිමත් කාන්තා චරිතයකි. දේශපාලනය කිරීමට ඕනෑ තරම් අවස්‌ථාව තිබූ නමුත් අගමැති වූ සිය සහෝදරියට උපකාර කිරීමට වැඩි යමක්‌ සීවලි රත්වත්තේ මැතිතුමා තෝරා ගත්තේ නැත. එතුමා නිතරම උනන්දු වූයේ වෘත්තියවේදියකු වීමට ය. යුනිලීවර්ස්‌ සමාගමේ ආයතනික වෛද්‍යවරයා ලෙස සේවය කළ හෙතෙම 1973 ශිෂ්‍යත්වයක්‌ ලැබ ඇමරිකාවේ World Trade Institute සංවිධානයට ගොස්‌ අධ්‍යාපනය ලබා එම තත්ත්වය ලද පළමුවැනි ලාංකිකයා බවට පත්විය. පසුව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් මහකොළඹ ආර්ථික කොමිසම ඇති කළ විට එහි අධ්‍යක්‍ෂවරයකු ලෙස පත්විය. ඉතා මෘදු ගති පැවතුම් තිබූ හෙතෙම වියපත්ව රෝගීව එක්‌තැන් වන තුරුම උපාලි සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයට පැමිණ වැඩ කළේය. දොස්‌තර සීවලි රත්වත්ත යනු මේ රටේ ඉතිරිව සිටි උත්තුංග, ජාතික හැඟීමක්‌ ඇති බුද්ධිමත් දෙතුන්දෙනාගෙන් කෙනෙකි. මෙවැනි විශිෂ්ට මිනිසුන් යළි පහළ වීමට නව ලෝක අනුක්‍රමය (New World Order) යටතේ ඇති ඉඩකඩ සීමිත ය.

http://www.divaina.com/2014/11/17/editor.html

Pic Source

සබැඳි ලිපි -[සූක්‌ෂම මාධ්‍ය පරිපාලකයකු වූ සීවලි රත්වත්තේ දොස්‌තර මහත්මයාhttp://denethharinna.blogspot.com/2014/11/blog-post_16.html
]

0 comments: