Pages

Friday, November 28, 2014

විධායක ජනාධිපති ධුරයේ ප්‍රතිසංස්‌කරණ අවශ්‍යයි

විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ මාතෘකාව යළිත් සමාජ කථිකාවකට භාජන වෙමින් පවතී. 1977 විශිෂ්ට ජනවරමක්‌ ලබා අගමැතිධුරයට පත් ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා එම ජනවරම උපයෝගි කරගෙන 1978 දී ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුව තුළින් සම්මත කර එක්‌ පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගතවන පරිදි විධායක ජනාධිපති ධුරය නිර්මාණය කළේය. මෙම ක්‍රමය උගත් බුද්ධිමතුන්ගේ හෝ විරුද්ධ දේශපාලන පක්‍ෂ නියෝජිතයන්ගේ සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදීව ස්‌ථාපනය කරන ලද්දක්‌ නොවේ.

ජනාධිපති ක්‍රමය ආණ්‌ඩුක්‍රමය ලෝකයේ බොහෝ රටවල ක්‍රියත්මක වුවත්, එය ලංකාවේ ක්‍රියාත්මකව පවතින ක්‍රමය තුළ එම ධුරයට පත්වන පුද්ගලයාට කලක්‌ එම ධුරයෙහි කටයුතු කිරීමේදී පහසුවෙන්ම ඒකාධිපති ස්‌වරූපයකට යා හැකිය.

තිස්‌පස්‌ වසරක පමණ කාලයක්‌ රටේ ක්‍රියාත්මක වූ මෙම විධායක ජනාධිපති ක්‍රමය තුළින් පොදු මහජනතාවට මෙතෙක්‌ සිදුකරන ලද යහපත් ක්‍රියාකාරකම් හෝ අයහපත් ක්‍රියාකාරකම් තුළින් යම් නිගමනයකට එලඹෙනවා මිස සිය පෞද්ගලික වාසි හෝ ලාභ ප්‍රයෝජන අරමුණුකරගෙන යම් යම් නිගමනයන්ට පැමිණීම සුදුසු නැත.

මෙම ක්‍රමය රටට හඳුන්වා දුන් එක්‌සත් ජාතික පක්‍ෂයට විධායක ජනාධිපති ධුරය පාරාවල්ලක්‌ වී ඇති බව පෙනෙන්නට ඇත. තිස්‌පස්‌ වසක පමණ කාලයක සිට ක්‍රියාත්මක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙහිලා සටන් ව්‍යාපාර වරින්වර සමාජ හා දේශපාලන ක්‍ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වුවත් මේ දක්‌වා එය ඉටුකර ගැනීමට හැකි වී නොමැත.

සමහර විද්වතුන් පෙන්නා දෙන්නට උත්සාහ කරන්නේ වර්තමාන ජනාධිපතිතුමාට ද්‍රවිඩ ඊලාම් යුද්ධය දිනාගන්නට හැකි වූයේ මෙම විධායක ජනාධිපති ධුරය නිසා බවයි. එසේ නම් විධායක ජනාධිපතිවරුන් හතර දෙනෙකුගේ පාලන කාලයක්‌ තුළදී මෙම ඊලාම් යුද්ධය දිගින් දිගටම ඇදී ගියේ ඇයි? 2009 දී මෙම යුද්ධය වර්තමාන ජනාධිපතිතුමාට දිනාගැනීමට හැකිවූයේ එතුමා සතු පෞර්ෂය, දෙස්‌ විදෙස්‌ විරුද්ධ බලවේග මනා කළමනාකරණය කිරීමෙන් එයට මුහුණ දීමට තිබූ හැකියාව, ආරක්‍ෂක ලේකම්තුමා සහ යුද්ධ හමුදාපතිතුමාගේ මනා යුද්ධ සැලසුම් ක්‍රම සහ විරුද්ධ පක්‍ෂයේ ස්‌වල්ප දෙනකු හැර පොදු මහජනතාවගෙන් ලැබුණු සහයෝගය, යනු මගේ හැඟීමයි. එදා මෙන්ම අදත් එතුමාට එම ගෞරවය ලැබෙනු ඇත.

එසේම රට ස්‌ථාවරව තබා ගැනීමටත් දේශපාලන ස්‌ථාවරභාවය පවත්වා ගැනීමටත් මෙම විධායක ජනාධිපති ක්‍රමය අත්‍යවශ්‍ය බවත් තවත් සමහර විද්වතුන් අවධාරණය කරයි.

1956 දී අග්‍රාමාත්‍ය ධුරයට පත් බණ්‌ඩාරනායක මැතිතුමා එදා රටේ ප්‍රබල අභියෝගාත්මක සිද්ධින් වූ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළේත්, වරාය ජනසතු කළේත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩු ක්‍රමය තුළිනි. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය විදේශිකයන් සතු තෙල් කොම්පැණි ජනසතු කළේත්, ඉඩම් සීමාව අක්‌කර 50 කළේත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩු ක්‍රමය තුළිනි. මේ අවස්‌ථාවන්හිදී රටේ අස්‌ථාවර තත්ත්වයකට හෝ දේශපාලන අස්‌ථාවර තත්ත්වයකට පත් වූයේද නැත. නමුත් 1987 දී ඉන්දියාවේ බලහත්කාරය මත අප පිට පටවන ලද 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අවස්‌ථාවේදී රජයේ ප්‍රබල මැති ඇමැතිවරුන්ගේ විරෝධය ප්‍රකාශ කරද්දීත් රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරමින් ඉන්දීය අගමැති රජිව් ගාන්ධි තුමා සමඟ එම සංශෝධන ව්‍යවස්‌ථාවට අත්සන් කළේ එදා විධායක ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා නොවේද? එදා එතුමාට රටේ සාමකාමි ස්‌ථාවර භාවය ආරක්‍ෂාකර ගැනීමට හැකි වූයේද නැත. රට තුළ විශාල කැළඹීමක්‌ සිදුවිය. විධායක සතු බලතල ප්‍රයෝජනයට ගෙන පාර්ලිමේන්තුව රැක ගැනීමට හැකි වුවත්, එකල ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් වූ සිරිල් මැතිව් සහ ගාමිණී ජයසූරිය යන මහතුන් එක්‌සත් ජාතික පක්‍ෂයෙන් පමණක්‌ නොව සිය දේශපාලන දිවියෙන්ද සමු ගත්තේය.

විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව සමාජයෙන් එල්ලවන ප්‍රබල විරෝධය වන්නේ මෙම ක්‍රමය ප්‍රජාතන්ත්‍ර විරෝධී හා අසීමිත බල අධිකාරි ස්‌වරූපයක්‌ ගන්නා බවයි. එබැවින් එම ධුරයට පත්වන පුද්ගලයාගේ ස්‌වභාවය අනුව රටටත් ජනතාවටත් පීඩාවට පත්වන අවස්‌ථා ඇතිවීම නොවැළැක්‌විය හැකි බවයි.

විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට පොරොන්දු වෙමින් බලයට පත්වන නායකයන් එය අහෝසි නොකිරීමට හේතුවෙන්නේ එය වටාගොඩ නැඟෙන අසීමිත බල අධිකාරියයි.

වර්තමාන සමාජයේ වැඩිදෙනා අවධාරණය කර සිටින්නේ රටට දැන් ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණයක අවශ්‍යතාව තදින්ම බලපාන බවයි. නමුත් මෙය කුමන ක්‍රමයකින් ක්‍රියාත්මක වුවත් රටේ බුද්ධිමත් උගත් දේශපාලන නායකයන් සහ රටේ බහුජන සංවිධාන සමඟ සාකච්ඡා තුළින් ප්‍රජාතන්ත්‍ර විධිවිධානයන්ට යටත්ව ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණය ඇති කිරීම ඉතාමත් කාලෝචිතය.

හේරත් අබේකෝන්
http://www.divaina.com/2014/11/28/feature02.html

Pic Source

0 comments: