Pages

Sunday, November 9, 2014

පොදු අපේක්‍ෂකයකුට එජාපය එකඟ වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට අරමුණු කරගනිමින් පොදු වැඩපිළිවෙළක්‌ සඳහා එකඟවීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත. ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා පත්කොට ඇති එක්‌සත් ජාතික පක්‍ෂයේ විසිදෙනකුගෙන් යුත් කමිටුව ඊයේ (07 දා) සිරිකොතදී පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී මේ බව තීරණය කර තිබේ.

ඒ අනුව විපක්‍ෂයේ මෙම පොදු වැඩපිළිවෙළ සම්බන්ධව මෙම මස 12 වැනිදා කොළඹදී එජාප නායක රනිල් වික්‍රමසිංහ, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා, එ.ජා.ප. නායකත්ව මණ්‌ඩල සභාපති කරු ජයසූරිය ඇතුළු නායකයන් ප්‍රසිද්ධ වේදිකාවකට පැමිණීමට නියමිතය.

ප්‍රධාන කරුණු හතක්‌ සම්බන්ධව මේ වන විට එකඟතාවයකට පැමිණ ඇතැයි ද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු "දිවයින" ට පැවසීය.

පිවිතුරු හෙටක්‌ සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ ජනතා විමුක්‌ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ද ඒ සඳහා එක්‌කර ගැනීමට සාකච්ඡා පැවැත්වෙන බව ද එජාප මන්ත්‍රීවරයකු සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්‍ෂයෙන් නැවතත් පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි ද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ මාදුළුවාවේ සෝභිත, අතුරලියේ රතන යන හිමිවරුන් සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා ද වෙන වෙනම හමුවී සාකච්ඡා පවත්වා ඇත.

අකිත පෙරේරා
http://www.divaina.com/2014/11/08/news32.html

Pic Source

0 comments: