Pages

Sunday, November 9, 2014

ලංකාවෙන් සුපිරි විද්‍යුත් මෝටර් රථයක් Code Gen International වෙතින්. දේශීය වෙළඳ පොළටත් විද්‍යුත් රථ නිපදවන බව කියයි!

ලංකාවෙන් සුපිරි විද්‍යුත් මෝටර් රථයක්. දේශීය වෙළඳ පොළටත් විද්‍යුත් රථ නිපදවන බව කියයිශ්‍රී ලාංකික සමාගමක් වන Code Gen International විසින් සම්පූර්ණයෙන්ම විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මක වන සුපිරි මෝටර් රථයක් නිෂ්පාදනය කරමින් සිටින අතර “Vega“ යනුවෙන් නම්කර තිබෙන මෙය ලබන දෙසැම්බර් මාසයේදී එළිදැක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඒෂියන් ට්‍රිබියුන් වාර්තා කරන්නේ මෙම ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ Code Gen සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, හර්ෂ සුභසිංහ මහතා බවයි.

ලාංකිකයින්ට මේ ආකාරයේ ව්‍යාපෘති සිදුකර සාර්ථකව භාරදිය හැකියැයි මෙම ව්‍යාපෘතියෙන් මනාව පැහැදිලි වනබව ඔහු සඳහන් කර තිබේ.
Code Gen යනු එමිරේට්ස්, වර්ජින් වැනි ලොව සුපතල ගුවන් සමාගම් සඳහා මෘදුකාංග සම්පාදනය කරන ප්‍රමුඛ සමාගමක් වන අතර එංගලන්තයේත් ශාඛාවක් පවත්වාගෙන යයි.

මෙම විද්‍යුත් මෝටර් රථය නිපදවීම සඳහා සුභසිංහ මහතා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශේෂඥයින් 25 දෙනෙකු සම්බන්ධ කරගෙන තිබෙන අතර ඔවුන් ඉංජිනේරු උපදේශකයින්ගේ සිට මෘදුකාංග ඉංජිනේරුවන් දක්වා පරාසයක් නියෝජනය කරයි.

මෙම මෝටර් රථය නිපදවීමේ කටයුතු ආරම්භ කර තිබෙන්නේ මේ අප්‍රේල් මාසයේදීයි.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැයකරන මුදල රුපියල් මිලියන 30 කි.

වාර්තාවන ආකාරයට මෙම ව්‍යාපෘතිය හේතුවෙන් සම්පූර්ණයෙන්ම විද්‍යුත් සුපිරි මෝටර් රථයක් නිපදවන දකුණු ආසියාවේ පළමු රට බවට පත් වන්නේ ශ්‍රී ලංකාවයි.

මෙම මෝටර් රථය තත්පර 04 කටත් අඩු කාලයකදී පැයට කිලෝමීටර් 100 ක් දක්වා වේගය වැඩිකළ හැකිවන සේ නිපදවන බවත් සැන්ෆ්‍රැන්සිස්කෝ හි, Tesla Roadster මෝටර් රථය තත්පර 3.9 කදී පැයකට කිලෝ මීටර් 100 ක් දක්වා වේගය වැඩිකළ හැකි බවත් සඳහන්ය.

මේ නිසා, මෙම මෝටර් රථය සමග තරග කිරීම සඳහා මේ ආකාරයෙන් වේගය වැඩි කිරීමේ අවශ්‍යතාවය තිබෙන බව මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටින විශේෂඥයින්ගේ අදහසයි.

මීට අමතරව, ලංකාවේ නිපදවන Vega මෝටර් රථය පැයකට කිලෝ මිටර් 220 ක වේගයෙන් ධාවනය කළ හැකි අතර එක් වරක් ආරෝපණය කිරීම මගින් කිලෝ මීටර් 240 ක් ධාවනය කළ හැකිබව සඳහන්ය.

Tesla Roadster විද්‍යුත් මෝටර් රථයේ උපරිම වේගය පැයකට කිලෝ මීටර් 201 ක් වන අතර එක් වරක් ආරෝපණය කිරීම මගින් කිලෝ මීටර් 245 ක් ගමන් කළ හැකිය.

මෙම මෝටර් රථය නිපදවීම සඳහා ඇමරිකාවෙන් ගෙන්වූ මෝටර් දෙකක් සහ බැටරි කෝෂය හැරුණු විට සියළු අමතර කොටස් ලංකාවේ අමුද්‍රව්‍ය වලින් මෙරටදී නිපදවීම සුවිශේෂී වේ.

මෙම මෝටර් රථය අශ්වබල 900 ක ධාරිතාවයකින් යුතු අතර මෙය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මෘදුකාංගයක් මගිනි.
මෝටර් රථයේ සම්පූර්ණ බඳ නිපදවන්නේ කාබන් ෆයිබර් වලිනි.

මෝටර් රථය “Vega“ යනුවෙන් නම්කර තිබෙන්නේ සිංහලෙන් “වේගය“ යන අරුත ගැබ්වන අයුරින් වන අතර මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසුව දේශීය වෙළඳ පොළට විද්‍යුත් මෝටර් රථ හා ත්‍රි රෝද රථ නිපදවීම සඳහා මෙම සමාගම සැලසුම් කර තිබෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.

adaderana

0 comments: