Pages

Tuesday, November 18, 2014

අදමිටු උප්දෙස් නිසා වීර මහසෙන් රජුත් අධාර්මික වූවා. යහපත් උපදෙස් ලැබ නැවත නිවැරදි වී අමරණීය වූවා. ඔබත් එසේ වූ පින්වතෙක්. යළි යහමඟට පිවිසෙන්න! - ඕමල්පේ සොභිත හිමි මහින්දට දන්වයි

මහජන උද්ඝෝෂණ පසමිතුරු බලවේග ලෙස නොව හිතමිතුරු බලවේග ලෙස සිතා හදිසියේ මැතිවරණ පවත්වන්නට කලබල නොවී තම නිල කාලය ප‍්‍රයෝජනයට ගනිමින්, සාවධානව, තැන්පත් ව, සිතා බලා කටයුතු කරන මෙන් ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සොභිත හිමියෝ ජනපති මහින්ද රජපක්‍ෂ මහතාට  විවෘත සංදේශයක් යවමින් ඉල්ලා සිටිති.

අතීතයේ රජකම් කළ ‘මහසෙන් රජු’ දේවත්වයෙන් සලකන්නා සේම අනාගතයේ දේවත්වයෙන් පුද පූජා ලැබීමට සුදුසුකම් සපුරාගත හැකි භාග්‍යවන්තයෙකු සේ සැලකිය හැකි පුද්ගලයෙකු ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා තමන් ද දකින බව ඒ හිමියෝ කියති. ඒ බව විවෘත සංදේශය ඔස්සේ පවසන ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ මේ තීරණාත්මක මොහොතේ කේවට්ටයන්ගේ සහ පාපාකාරීන්ගේ පසමිතුරු බස්වලට නොරැවටී ‘ළඟ නොබලා දුර බලා’ හදවතට එකඟ තීරණයක් ගන්නැයි ඉල්ලා සිටිති.

සෝභිත හිමි  ජනාධිපතිට යැවූ විවෘත සංදේශය මෙසේය.

මේදිනවල පවත්නා අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බන‍ධයෙන් මුලූ රටම යොමුවී ඇත්තේ වික‍ෂිප්තභාවයකටයි. ඔබතුමන්ගේ ආකල්පයන් හා ඔබතුමා සමග කටයුතු කරන හිතමිත්‍ර දේශපාලන කණ්ඩායම්වල ප්‍රතික්‍රියා මෙම අර්බුදකාරී තත්ත්වයට හේතු වී ඇත. විපක‍ෂයන්හි කණ්ඩායම් පමණක් නොව ඔබතුමන් හා ඒකාග්‍රතාවෙන් යුතුව කටයුතුකළ පාක‍ෂිකයින්ද එක්ව කරන පොදු ඉල්ලීම බවට පත්ව තිඛෙන්නේ ජනාධිපති පදවිය සතු බලතල සීමාකරන ලෙසයි.

මේ ඉල්ලීම විශේෂයෙන්ම ජාතික හෙළ උරුමය ඇතුලූ ඔබතුමන්ගේ රජයේ පාර්ශවකරුවන් විසින්ද, දිගින් දිගටම ඉල්ලා සිටින්නේ එකරුණ පොදු මහජන උවමනාවක් වශයෙනි. ඒ හැරෙන්නට ඔබතුමාට අහිතකර අනර්ථකාරී කුමන්ත්‍රණයක් වශයෙන් නොවේ.  ඇත්ත වශයෙන්ම මේ යෝජනා රටට ඉදිරිපත් කොටඇත්තේ ඔබතුමන් විසින්ම ම ය යන්න නිහතමානීව සිතනවිට පෙනී යන සත්‍යයයි.

2010 වසරේ ඔබතුමන් රට ඉදිරියට තැබූ ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම‘ නැමැති ප්‍රතිපත්ති මාලාවේ අංක 50, 52, 53 යන පිටුවල දක්වා ඇති කොටස් ස්මරණය කරණු මැනවි. ඒ අනුව ඒ ඉල්ලීම් ඉටුකිරිම ඔබතුමාගේම ගෞරවය පිනිස හේතුවන, අවංකභාවය පිනිස හේතුවන, කරුණක් මිස වෙනකක් නොවන බව පැහැදිලිය.

ජාතික හෙළඋරුමය ඇතුලූ ඔබතුමන්ට හිත පක‍ෂපාතව කටයුතු කරන මිත්‍ර කණ්ඩායම් මගින් සිදුකරණ ඉල්ලීම් මාලාව පිළිබ`දව සාවධානව යළි සිතන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒ හැරෙන්නට වර්තමානයේ පවත්නා බලය පිළිබඳ අධි තක්සේරුවකින් නොසිතනු මැනවි. එසේම ඔබතුමාගේ බලය යටතේ අයථා ලාභ ප්‍රයෝජන ලබන අඤ්ඤදත්තූහර (ගසා කෑමේ චේතනාවෙන් යුතු) වචීපරම (මුලා බස් තෙපලන) අපාය සහායක (පාපකාරී වැරදිවලට පොළඹවන) ආදි පාප මිතුරන් විසින් කරනු ලබන පෙළඹවිම් අනුව ද, පියවර නොතබනු මැනවි. මා ද, ඇතුළත් කණ්ඩායම් විසින් ඉදිරිපත්කරන ලද කරුණු යොමු කෙරුණේ ඔබතුමාවෙත පවත්නා හිතවත්කමට ය.

මෙබදු සිදුවීම් සම්බන‍ධ සාධක අපේ ඓතිහාසික වාර්තාවන්හිද ප්‍රකටය. මහසෙන් රජතුමා සිද්ධිය පිළිබඳව ඔබතුමාට මේ අවස්ථාවේදී සිහිපත් කරනු කැමැත්තෙමි. මහාවංශයේ 37 පරිච්ඡේදයේ සඳහන් පරිදි ක්‍රී:ව: 277දී රජ පදවියට පත් මහසෙන් රජතුමා අති විශිෂ්ට ජාතික මෙහෙවරක් කළ නරපතියෙකි. එහෙත්, රජතුමා පසුකාලීනව, ඝෝණ, සංඝමිත්ත වැනි ආත්මාර්ථකාමී පාපමිත්‍රයන්ගේ මෙහෙයවීම යටතේ, රජතුමා බොහෝ වැරදිවලට යොමුවිය.

මහා විහාරය විනාශ කොට, ආගම ධර්මය නොසලකා හැර, දූෂණයට හා දුරාචාරයට මග විවිරකොට සිදුකෙරුණ රජතුමාගේ දුර්දාන්ත ක්‍රියාවලියට විරුද්ධව බලවත් මහජන විරෝධයක් ගොඩ නැගුනි. මේ සම්බන‍ධයෙන් සිත්තැවුලට පත්, බුද්ධිමත් ඇමතිවරුන්ගේ අදහස් උදහස් ප්‍රතිෙක‍ෂ්ප කෙරුණි. ඒ නිසාම මහජන විරෝධතාවන්හි පෙරමුණ ගැනීමටද, හිතවත් මැති ඇමතිවරුන් පෙළඹුනි.


රජතුමාට එරෙහි සටනේ නායකත්වය ගනු ලැබුවේ මේඝවර්ණාභය නැමැති ඇමතිවරයා ය. දිනක් මේ අමතිවරයාට ඉතා රසවත් ‘වට්ටකමංස‘ ආහාරයක් ලැබුනි. ඇමතිවරයාට පළමුව සිහිපත් වූයේ තම හිතමිත්‍ර මහසෙන් රජු ය. මෙයට රජතුමා අතිශයින් රුචිකරන බවත්, එබ`දු අවස්ථාවල එවන් රසවත් ආහාර ඛෙදාගෙන අනුභව කළ ආකාරයත් ඇමතිවරයාට සිහිපත් විය.

ඒ නිසා මේ ආහාරය රජු හා ඛෙදා ගැනීමට තීරණය කළ ඇමතිවරයා, තනියම ගොස් රජතුමා හමුවිය. පුදුමයට පත් රජතුමා ‘ මට විරුද්ධව සටන් කරන්නට කවුරු බ සිටින ඔබ ඇයි මේ ආහාරයක් ඛෙදා ගන්නට තීරණය කළේ?‘ යැයි රජතුමා විමසීය.

‘හෙට දවසේ සටන් කරනවා. මා ආවේ අවසන් වතාවට ඔබතුමා සමග මේ රසවත් ආහාරය අනුභව කරන්නයි. ‘තවදුරටත් කරුණු දැක්වූ ඇමතිවරයා කීවේ, මේ සටන රජතුමාට පෞද්ගලිකව පහර දෙන්නට කරන සටනක් නොවන බවයි. තමන් තුළ පෞද්ගලික වෛරයක් නැතිබවත්, සියල්ලට වඩා රටත් ශාසනයත්, වටිනාකම වැඩි බැවින් ජනතාව සමග එක්වි කටයුතු කරන්නට එක්වූ බවත් ඔහු පැවසීය. ඇමතිවරයාගේ අවංකභාවයත්, හිතවත්භාවයත්, ඒ සියල්ලට වඩා රට ගැන ශාසනය ගැන, පවත්නා ඇල්මය සම්බන‍ධයෙන් විශ්මයට පත් රජතුමා, බුද්ධිමත් ලෙස ප්‍රත්‍යවේක‍ෂාවේ යෙදෙන්නට පටන් ගත්තේ ය.

තමන් රජකමට පත්වු සැටිත්, ඒ ස`දහා මේඝවර්ණාභය ඇතුලූ හිතවත් ඇමතිවරුන් උපස්ථම්භක වු සැටිත්, ඔවුන්ගේ උපදෙස් පරිදි, දිගු කලක් මහජන සේවාවේ යෙදුන සැටිත්, පසුව අලූත් මිතුරන් රැසක් තමන්ට ආසන්න වූ සැටිත්, ඔවුන්ගේ අදහස් අනුව සිදුකළ දෙයි මෙබ`දු විනාශකාරී ප්‍රතිඵලයක් අත්වි තිඛෙන සැටිත්, බුද්ධිය මෙහෙයවා කල්පනා කළ රජතුමාට මැනවින් වැටහෙන්නට විය.

සාවධානව මනා සිහිකල්පනාවෙන් යුතුව අතීතාවර්ජනය කරන්නට පටන්ගත් රජතුමාට ඇත්ත ඇති සැටියෙන් වැටහෙන්නට විය. තමා අතින් සිදුවුණු වැරදි සම්බන‍ධයෙන් කණගාටුව පළකළ රජතුමා වහාම වෙනස්වීමට ගන්නා ලද තීරණය යටතේ සිදුවන්නට ගිය මහා සටනක් ලේ වැගිරිමක් නැතිව නැවතුනි. රජුට පාපී මාර්ගය හෙළිකළ පවිටු මිතුරන් මහජනතාවගේ දඬුවමට ගොදුරු වූහ. මහසෙන් රජතුමා යළිත් වරක් ජනන්දනීය අභිෂේකයෙන් යුතුව රටට සේවය සලස්වා  පූජනීයත්වයට පත්විය. අද මහසෙන් දෙවියන් ලෙසින් දේවත්වයෙන් පුදනු ලබන්නේ ඒ දූරදර්ශී පාලකයාය.

ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාද අනාගතයේදී දේවත්වයෙන් පුදනු ලැබීමට වුවද, සුදුසුකම් සපුරාගත හැකි භාග්‍යවන්තයෙකු බව අපේ වැටහීමයි. එහෙත් ඒ සඳහා ‘දීඝං පස්ස මා රස්සං‘ යනු කී හෙයින්, ‘ළග නොබලා දුරබලා ‘හදවතට එකගව තීන්දු තීරණ ගතයුතුව ඇත. වර්තමානයේ මේ ඉදිරිපත්වන මහජන උද්ඝෝෂණ,  පසමිතුරු බලවේගයන් ලෙස නොසිතුව මැනව. එය තමන්ගේ දියුණුවට මග සලසන හිතමිතුරු මගපෙන්වීමක් ලෙසින් සලකනු මැනව. ඒ නිසා හදිස්සියේ මැතිවරණ පවත්වන්නට,  කලබල නොවී තම නිලකාලයේ ඉදිරි කාල පරිච්ඡේදය ප්‍රයෝජනයට ගනිමින්, සාවධානව, තැන්පත් ව, සිතා බලා කටයුතු කරන ලෙස ශාසනාලය පෙරටුව මෙයින් කාරුණිකව ඉල්ලා සිටිමි.

http://www.lankadeepa.lk/index.php/articles/276135

Pic Source

0 comments: