Pages

Tuesday, November 18, 2014

තෙවරක්‌ම බුදුන්ට පුදපු පින්බිමක්‌ නිසා මෙහි හැම බිම් අඟලකම දළදා හාමුදුරුවන්ගේ ආඥ චක්‍රය පවතිනවා - ඥනසාර හිමි

"....... මේ හැමෝම කොල්ලකන්නෙ බුද්ධ බෝග. මේක තෙවරක්‌ බුදුන්ට පුදපු මහා පින්බිමක්‌ දළදා හාමුදුරුවන්ගෙ ආඥ චක්‍රය මේ හැම බිම් අඟලකම පවතිනවා. ඒ බුද්ධ බෝග ආරක්‍ෂා කර ගැනීම අපි කාගේත් වගකීම. මේක කාටවත් කොල්ලකන්න දෙන්න බෑ. ඒ නිසා මේ හැමෝම අධිෂ්ඨාන කරගත යුතුයි එක බිම් අඟලක්‌වත් මගේ ජාතියෙන් පිට දෙන්නෙ නෑ කියලා."

බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉල් පොහෝ දින වෙල්පල්ල රද්දලතා පුරාණ විහාරයේ පැවැති දහම් සාකච්ඡාවකදී ඒ බැව් පැවසීය.

මතු කළ ප්‍රශ්නයකට තවදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ -

"දළදා පෙරහැරේ කොතරම් නැටුම් ගැයුම් වැයුම් තිබුණත් අපේ කාගෙත් වැඩිම අවධානය යොමුවෙන්නෙ සධාතුක කරඬුව වැඩම වන හස්‌තිරාජයා වෙත ඒක බිඳින්න බැරි සංකේතයක්‌. සිංහල ජාතිය නමැති හස්‌තියා මත බුද්ධ ධර්මය නමැති කරඬුව තමයි ඒකෙන් පිළිබිඹු වෙන්නෙ. අන්න ඒකයි අපි මේ කියන්නේ කරඬුව වැඩමවීමට හස්‌තියා ඉන්න ඕන වගේ තමයි බුදුදහම සුරකින්න සිංහලයො ජාතියක්‌ වශයෙන් රැකෙන්න ඕන කියලා. 

පවුකාර මිථ්‍යා දෘෂ්ටික බලවේග අද සිංහල ගම්බිම්වලට ඇවිත් මහා ගැටුම් නිර්මාණය කරමින් යනවා. ඒවායෙන් අපේ සතරපේරුවේ ප්‍රවේණිය රැකගන්න හාමුදුරුවො පෙරට ආ යුතුයි. දායකයන් ධර්මයට ලංකරවා ගන්න ඕන. මිනිසුන් නිරෝගී කිරීමේ වැඩපිළිවෙළක්‌ අවශ්‍යයි. රෝගී සමාජවලට බණ කියලා වැඩක්‌ නෑ. පුළුවන් තරම් අභියෝග හඳුනා ගන්න අවශ්‍යයි. තාක්‍ෂණය දැනුම සැමවිටම උපයෝගී කරගත යුතු වෙනවා.

ලෝකෙ ඉන්න එකම ජාතිය වෙන්න ඕන අපි තමන්ගෙ ආගමික නායකයො විවේචනය කරන, වැඩක්‌ කරන අය විවේචනය මහා නරක පුරුද්දක්‌ මේ පින්වන්ත බිමේ සිංහල බෞද්ධකම නැතිකරන්න සංවිධාන 400 ක්‌ ක්‍රියාත්මක වෙනවා. අනතුරක්‌ දැකලා ජාතික මෙහෙවරේ යෙදෙනවා නම් හාමුදුරුනමක්‌ හෝ දායකයෙක්‌ කිසි දවසක ඒක විවේචනයට ලක්‌ කරන්න එපා. ජාතිය රැකගන්න උන්වහන්සේලාට ශක්‌තිය දෙන්න.

පොලිසිය අපිට හරිම ආදරෙයි. අපි බණකට හෝ යනවා කියලා ආරංචි වූ වහාම පුදුම විදිහට එන්නෙ. බුද්ධි අංශ මහත්වරුන් දුවගෙන එනවා ඒක ඉතාම හොඳයි. අපි අගය කළ යුතුයි. ඒත් කෝ සිකුරාදා මුස්‌ලිම් පල්ලිවල දේශන පටිගත කරගන්න යනවා.

අද ලෝකෙටම හිසරදයක්‌ වෙච්ච අපි වසර 30 ක්‌ යුද්ධය කළා. දැන් අපි ඉන්නෙ සාමකාමී රටක, අපි මැරෙනකල් නැවත ලේ හැලීම් දකින්න කොහොමත් අකැමැතියි. 27000 යෞවනයෝ ජීවිත පූජා කරලා ඒ නිදහස අපට අරන් දුන්න බව පින් සිතින් සිහිකටයුත්තේ ඒකයි. අපට සැනසිල්ල උදා කරපු ඒ අයට අපි කරන ලොකුම ගෞරවය වෙන්නෙ මතු කිසි දිනෙක ලේ වැගිරීමකට තියන ඉඩකඩ අහුරන එකයි. ඒ වෙනුවෙන් අපි වැඩ කළ යුතුයි. ඒ ටිකවත් කියන්න අපිට මාධ්‍ය ඉඩ දෙන්නේ නෑ.

මෙම පිංකමට ඓතිහාසික මල්වතු විහාරයේ සාරානන්ද හිමි විහාරාධිපති බිබිලාදෙනියේ ධම්මප්‍රිය හිමි ඇතුළු ප්‍රාදේශීය මහා සංඝරත්නය ද උවැසි උවැසියන් සහ දහස ඉක්‌මවූ පිරිසක්‌ ද සහභාගි වූහ. 

කුලියාපිටිය - උපේන්ද්‍ර සේරසිංහ
http://www.divaina.com/2014/11/18/provin02.html

Pic Source

0 comments: