Pages

Tuesday, November 25, 2014

ගොවීන් හිතවත් - ගොවීන්ට හිතවත් 'කොළ පොහොර'

කොළ පොහොර යනු පොහොර ලෙස භාවිත කරනු ලබන කොළ වර්ග වේ. මෙය ලංකාවේ බහුලව භාවිත කරනු ලබන කාබනික පොහොර වර්ගයකි. එසේම ලංකාවේ බොහෝ දෙනා තම ගෙවතු වගාවනට කොළ පොහොර භාවිතයට මහත් ඇල්මක්‌ දක්‌වති. ලෝකයේ රසායනික පොහොර හඳුන්වා දීමට පෙර වගාවනට පොහොර ලෙස යොදනු ලැබුයේ කාබනික පොහොර වේ. කාබනික පොහොර අතුරින් කොළ පොහොර භාවිතය ප්‍රධාන තැනක්‌ ගැනිණි. අපගේ මුතුන් මිත්තන් විසින් වී වගාවට ප්‍රධාන ලෙස කොළ පොහොර භාවිත කෙරිණ. එසේම වර්තමානයේ පවා ගෙවතුවල වගා කරන එළවළු, බුලත්, මිරිස්‌ හා පලතුරු සඳහා බහුලව කොළ පොහොර භාවිත කරනු ලැබේ. 

කෙසේ නමුත් කෘෂිකර්මාන්තය වාණිජකරණය වීමෙන් පසු ගොවීන් කොළ පොහොරවලින් පමණක්‌ නොව සමස්‌ත කාබනික පොහොර යෙදීමෙන් ඉවත්වී රසායනික පොහොර භාවිතයට නැඹුරුවිනි. කෙසේ නමුත් අදටත් තෙත් කලාපයේ කුඩා කුඹුරුවලට සීමාවී ඇති වී වගා ආශ්‍රිතව කොළ පොහොර භාවිතය සුලභව දැකිය හැකිය. වී සඳහා මෙම ප්‍රදේශයේ කුඹුරු ආශ්‍රිතව හා නියරවල වැවෙන කොළ පොහොර වර්ග සුලභව භාවිත කරනු ලැබේ. එසේම වෙනත් බොහෝ ප්‍රදේශවල ද විවිධ කොළ පොහොර වර්ග සුලභව දැකිය හැකි වුවත්, එමඟින් නිසි ප්‍රයෝජනය නොගන්නා බව පැහැදිලිය. 

මෙවැනි කොළ පොහොර ලෙස භාවිත කළ හැකි ශාක විශේෂ තම කුඹුරුවලට හෝ ගොඩ බෝග සඳහා සාර්ථකව භාවිත කළ හැකිය. මෙවැනි කොළ පොහොර වර්ග කාබනික පොහොර ලෙස භාවිත කිරීම වැදගත් වන්නේ පසේ සාරවත් බව වැඩි කිරීමට එය ප්‍රයෝජනවත් වන බැවිනි. අද කෘෂි කර්මාන්තයේ ප්‍රධාන ගැටලුවක්‌ ලෙස පසේ සාරවත් බව පිරිහීම සැලකිය හැකිය. මේ සඳහා කළයුතු සාර්ථක ප්‍රතිකර්මය නම් කාබනික පොහොර භාවිතයයි. 

එවැනි කාබනික පොහොර වර්ග භාවිතයේ ප්‍රධාන ගැටලුවක්‌ ලෙස කාබනික පොහොර දුලබතාවය සැලකිය හැකිය. එබැවින් එම ගැටලුවට එක්‌ පිළියමක්‌ ලෙස නිසි ප්‍රයෝජනයක්‌ නොගෙන නිකරුනේ විනාශ කර දමනු ලබන බොහෝ ශාක විශේෂ කොළ පොහොර ලෙස භාවිත කිරීම සැලකිය හැකිය. එවැනි කොළ පොහොර වර්ග වී වගාවේ මෙන්ම බොහෝ ගොඩ බෝගයන්හි සාර්ථකත්වයට පහසුවෙන්ම භාවිත කිරීම සැලකිය හැකිය. විශේෂයෙන් ගොඩ බෝග ආශ්‍රිතව දක්‌නට ලැබෙන පසේ සෝදා පාළුව අවම කර ගැනීමට මෙන්ම පසේ සාරවත් බව වැඩි කිරීමට කොළ පොහොර සාර්ථක ප්‍රතිකර්මයක්‌ වේ. විශේෂයෙන් කොළ පොහොර වර්ග වසුනක්‌ ලෙස භාවිත කිරීමෙන් පසේ සෝදා පාළුව අවම කර ගත හැකිවේ. මේ නිසා කොළ පොහොර වසුනක්‌ ලෙස පවා භාවිත කිරීමෙන් බෝග වගාවට බොහෝ ඵල ප්‍රයෝජන ලබාගත හැකිවේ. 

ගොවීන්ගේ රුචිකත්වය 

අපේ මුතුන් මිත්තන්ගේ සිට කෘෂිකර්මයේ භාවිත කළ සාර්ථකම කාබනික පොහොරයක්‌ ලෙස කොළ පොහොර සැලකිය හැකිය. දශක 2, 3 කට පෙර අප රටේ සීඝ්‍රව වර්ධනය වූ සත්ව කර්මාන්තය විශේෂයෙන් කුකුල් පාලනයට පෙර ප්‍රධාන කාබනික පොහොරයක්‌ ලෙස කොළ පොහොර භාවිත කෙරිණ. විශේෂයෙන් ගැමි ගොවි ජනතාව සත්ව පොහොරවලට වඩා කොළ පොහොර වැනි කාබනික පොහොර තම ආහාර බෝගවලට භාවිත කිරීමට ඇල්මක්‌ දක්‌වයි. එම පොහොරවල ඇති පිරිසිදුභාවය හා සනීපාරක්‌ෂාව මේ සඳහා ප්‍රධාන තැනක්‌ ගනී. මේ නිසා අද දවසේ පවා ගැමි ජනතාව තම ගෙවතු වගාවේ සුලභව භාවිත කරන කාබනික පොහොරක්‌ ලෙස කොළ පොහොර සැලකිය හැකිය. මේ නිසා වෙනත් බොහෝ කාබනික පොහොර හා සසඳා බැලීමේ දී කොළ පොහොර සඳහා ලැබෙන්නේ සුවිශේෂී ස්‌ථානයකි. බොහෝ දෙනා තම පරිභෝජනයට වගා කරනු ලබන කොළ ඵලදාව බුලත් හා වෙනත් ඵලදාව වැනි බෝග සඳහා විශේෂයෙන් කොළ පොහොර භාවිත කිරීමට වැඩි කැමැත්තක්‌ දක්‌වනු ඇත. 

කොළ පොහොරවල තවත් වැදගත් ලක්‌ෂණයක්‌ නම් ඒවා සාර්ථකව කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනයට භාවිත කිරීමේ හැකියාවයි. කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනයේ දී කොළ පොහොර භාවිත කිරීම ඉතා වැදගත්ය. එනම් කොළ පොහොර භාවිත කිරීමෙන් තත්ත්වයෙන් උසස්‌ කොම්පෝස්‌ට්‌ නිපදවා ගත හැකි බැවිනි. ඉතා ඉක්‌මණින් මෙන්ම සාර්ථකව කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනයට වෙනත් ශාක අමුද්‍රව්‍ය හා සත්ව පොහොර සමඟ කොළ පොහොර භාවිතය වැදගත් වේ. 

ග්ලිරිසීඩියා 

ශ්‍රී ලංකාවේ බහුලව භාවිත කරනු ලබන කොළ පොහොරයක්‌ ලෙස ග්ලිරිසීඩියා නැතහොත් ලාඩප්පා, මකුලන හෝ වැටහිර ලෙස විවිධ ප්‍රදේශවල හඳුන්වනු ලබන ශාක විශේෂය හැඳින්විය හැකිය. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය Ñග්ලිරිසීඩියා සෙපියුට්‌, වේ. මෙය ලංකාවේ බොහෝ ප්‍රදේශවල සාර්ථකව වැවෙන සුලභ කොළ පොහොරකි. කෙසේ නමුත් අධික ශීත දේශගුණයක්‌ දක්‌නට ලැබෙන උඩරට තෙත් කලාපයේ මෙය සාර්ථකව වර්ධනය නොවේ. මෙම ශාක විශේෂය වාතයේ නයිටි්‍රජන් තිර කිරීමේ හැකියාවක්‌ ඇති රනිල කුලයට අයත් වේ. මෙහි ඇති විශේෂත්වය මෙම ශාකය වෙනත් බොහෝ වගා සඳහා ආධාරකයක්‌ ලෙස පවා භාවිත කිරීමය. ගම්මිරිස්‌ වගා කරනු ලබන ප්‍රදේශවල ගම්මිරිස්‌ වැල් යෑවීමට ග්ලිරිසීඩියා සාර්ථකව භාවිත කරනු ලබන ආධාරක ශාකයකි. එසේම තේ වගාවේ සෙවන ලබාදෙන ශාකයක්‌ ලෙසත් වියළි කලාපයේ බෝග වගාවේ අව් රශ්මිය අඩුකර ගැනීමටත් වවනු ලබන ශාකයක්‌ ලෙසත් මෙය හැඳින්විය හැකිය. මෙම ශාකයේ කොළ ඉතා ඉක්‌මණින් දිරාපත් වීමේ හැකියාවක්‌ ඇත. එයට හේතුව එහි අන්තර්ගත සැලකිය යුතු නයිට්‌්‍රජන් ප්‍රමාණයයි. මේ නිසා එහි කොළවල කාබන් හා නයිට්‌්‍රජන් අතර අනුපාතය 10 ක්‌ පමණ වන අතර එය සැලකිය යුතු ලෙස අඩු ප්‍රමාණයක්‌ බැවින් දිරාපත්වීම ඉක්‌මනින් සිදුවේ. එසේම මෙම ශාකයේ වැදගත්ම ලක්‌ෂණයක්‌ නම් ඉක්‌මනින් වැඩීමේ හැකියාවයි. මේ නිසා සුළු කාලසීමාවක දී සැලකිය යුතු කොළ ප්‍රමාණයක්‌ ලබාගත හැකිවේ. අතු ලපටි අවධියේ කපා කොළ පොහොර ලෙස භාවිත කිරීම වැදගත්ය. ග්ලිරිසීඩියා කොළවල නයිට්‌්‍රජන් 4.5% ක්‌ පොස්‌පරස්‌ 0.2% ක්‌ හා පොටෑසියම් 2.0% ක්‌ පමණ අන්තර්ගත වේ. මෙම ශාකයේ රිකිලි කපා ප්‍රයෝජනයට ගැනීම මගින් නැවත නැවත අතු වැවීමට සලස්‌වා නිසි අවස්‌ථාවේ දී ළපටි අවස්‌ථාවේ භාවිත කිරීම වඩාත් ප්‍රතිඵල දායකය. 

වල්සූරියකාන්ත 

වල්සූරියකාන්ත තිත්ත හෝ තන්තසූරිය වැනි දේශීය නම් වලින් හඳුන්වනු ලබන වැලත් කොළ පොහොරක්‌ ලෙස භාවික කරනු ලබන ශාකයකි. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය Ñමයිතෝනියා ඩයිමර්සිපෝලියා නම් වේ. මෙහි වැදගත් ලක්‌ෂණයක්‌ නම් ඉතා දුෂ්කර නිසරු පාංශු තත්ත්ව යටතේ පවා සාර්ථකව වැඩීමේ හැකියාවයි. බොහෝවිට මීටර් 1.5 ක්‌ 2.0 ක්‌ වැනි උසකට පදුරු ලෙස වැවෙන මෙම ශාකය මධ්‍යම කඳුකරයේ උඩරට අන්තර් - මධ්‍ය කලාපයේ සාර්ථකව වැවේ. මෙහි කඳ දැඩි බවකින් යුක්‌ත වුවද කොළ වටිනා පොහොරකි. මෙහි සැලකිය යුතු නයිට්‌්‍රජන් ප්‍රමාණයක්‌ අන්තර්ගතවන අතර එය 4.6% ක්‌ පමණ වේ. මෙහි කොළ මෘදු බවකින් යුක්‌ත වන අතර එහි කාබන් නයිට්‌්‍රජන් අතර අනුපාතය 9 ක්‌ පමණ වේ. වල් සූර්යකාන්ත කොළවල 0.4% ක්‌ පමණ පොස්‌පරස්‌ ප්‍රමාණයක්‌ අන්තර්ගත වන අතර 3.2% ක පමණ පොටෑසියම් ප්‍රමාණයක්‌ ද අන්තර්ගත වේ. කහ පැහැති මල් විශාල ප්‍රමාණයක්‌ දැකිය හැකි මෙම ශාකය මඟ දෙපස කඳුවැටිවල සුලභව දැකිය හැකි වේ. මෙම පඳුරු නැවත නැවත වැවීමෙන් වැඩි ගුණාත්මයෙන් යුක්‌ත කොළ පොහොර නිරතුරුව ලබාගැනීමට හැකිවේ. 

එරබඳු 

මෙම ශාකයේ කොළ ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රචලිත කොළ පොහොරකි. මෙය බොහෝවිට වී වගාවේ දී කොළ පොහොරක්‌ ලෙස ගොවීන් භාවිත කරනු ලැබේ. පත්‍ර සැලකිය යුතු ලෙස මෘදු බවකින් යුක්‌ත වන අතර ඒවා තරමක්‌ විශාලය. තෙත් කලාපයේ සාර්ථකව වැවෙන අතර ලංකාවේ වෙනත් බොහෝ ප්‍රදේශවල සාර්ථකව වැවේ. ඖෂධීය ගුණයක්‌ ඇති එරබඳු දේශීය වෛµ ක්‍රමයේ ද සුලභව භාවිත කරන ශාකයකි. මෙහි කොළවල නයිට්‌්‍රජන් 5% ක්‌ පමණ ද පොස්‌පරස්‌ 0.3% ක්‌ ද පොටෑසියම් 2% ක්‌ පමණ ද අන්තර්ගත වන අතර කාබන් නයිට්‌්‍රජන් අතර අනුපාතය 8.5 ක්‌ වැනි අඩු මට්‌ටමක පැවතීම නිසා පහසුවෙන් දිරාපත්වීම සිදුවේ. අතු කපා දැමීමෙන් පසු සාර්ථක ලෙස නැවත නැවත අතු වැඩීම සිදුවන අතර මෙහි ළපටි මෙන්ම නොමේරූ කොළ ද පහසුවෙන් දිරාපත් වන නිසා කොළ පොහොර ලෙස භාවිත කළ හැකිය. මෙහි ඇති විශේෂත්වය නම් අත්තක්‌ කපාදැමූ පසුද එම කද කොටස පොළවට සම්බන්ධ වී නොතිබුණ ද ලියලා නැවත කොළ හට ගැනීමට ඇති හැකියාවයි. කප්පාදුවකින් පසු ඉතා ඉක්‌මනින් නැවත වැඩීමේ හැකියාවක්‌ ඇති බැවින් කොළ පොහොරක්‌ ලෙස භාවිත කිරීමේ දී එම ලක්‌ෂණය ඉතා වැදගත් වේ. 

කැප්පෙටියා 

මෙය උඩරට තෙත් කලාපයේ හැර ලංකාවේ බොහෝ ප්‍රදේශවල බහුලව වැවෙන කොළ පොහොරකි. මෙහි විද්‍යාත්මක නාමය Ñක්‍රෝටන් ලේසෙµර්, නම් වේ. මෙය මීටර් 1.5 - 2 ක්‌ පමණ කුඩා පඳුරු ලෙස වැවෙන අතර පත්‍ර වැදගත් කොළ පොහොරකි. මෙය බොහෝ ප්‍රදේශවල කෙසෙල් වැනි පලතුරු ඉඳවීමට ද භාවිත කරනු ලැබේ. මෙය විශේෂයෙන්ම බුලත් සහ එළවළු භෝග සඳහා කොළ පොහොරක්‌ ලෙස ගොවීන් බහුලව භාවිත කරනු ලැබේ. මෙහි පත්‍රවල නයිට්‌්‍රජන් 3.5% ක්‌ පමණ ද පොස්‌පරස්‌ 0.2% ක්‌ හා පොටෑසියම් 1.5% ක්‌ පමණ ද අන්තර්ගත වන අතර කාබන් නයිට්‌්‍රජන් අතර අනුපාතය 12 ක්‌ පමණ වේ. මෙම ශාකයේ පත්‍ර හෝ අතු එයට යෙදීමෙන් පසේ උෂ්ණත්වය යම්තාක්‌ දුරට වැඩි කිරීමේ සුවිශේෂී හැකියාවක්‌ ඇත. එය බෝග වගාවනට මෙන්ම පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය සඳහා ද වැදගත් වේ. 

වතුපාලු 

මෙහි විද්‍යාත්මක නාමය Ñටිකානියා කොරඩාටා, නම් වේ. මෙය වතුවල බහුලව වැවෙන වැල් ශාකයක්‌ වන අතර කඳේ ලපටි කොටස්‌ හා පත්‍ර ඉතා ඉක්‌මණින් වර්ධනය වේ. පඳුරු ලෙස වර්ධනය වන මෙම ශාකයේ පත්‍රවල නයිට්‌්‍රජන් 4.3 ක්‌ ද පොස්‌පරස්‌ 0.1% ක්‌ පමණ ද පොටෑසියම් 2.6% ක්‌ පමණ ද අන්තර්ගත වන අතර එහි කාබන් නයිට්‌්‍රජන් අතර අනුපාතය 9 ක්‌ පමණ වේ. මෙය බහුලව පහතරට තෙත් කලාපයේ එළවළු බෝග ආශ්‍රිතව භාවිත කරනු ලැබේ. 

එසේම වෙනත් බොහෝ ශාකවල කොළ වර්ග ද පොහොර ලෙස භාවිත කිරීමට හැකිවේ. මීට අමතරව කුඹුරුවල වී වගාවට පසු සන්හෙට්‌ වැනි කොළ පොහොර වර්ග වගාකර එයට ඒවා යටවනසේ පස පෙරලීමෙන් පසට කාබනික ද්‍රව්‍ය එක්‌වීම ද සිදු වේ. මේ නිසා කොළ පොහොර වර්ග වසුනක්‌ ලෙස යෙදීම කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනයට භාවිත කිරීම මෙන්ම පසට කලවම් කිරීම වැනි විවිධ ක්‍රියා බෝග වගා සඳහා භාවිත කළහැකි වේ. 

කොළ පොහොර යෙදීමේ දී සැලකිය යුතු කරුණු 

කොළ පොහොර මගින් ප්‍රධාන වශයෙන් සැපයෙන පෝෂ්‍ය පදාර්ථය නයිට්‌්‍රජන් වන අතර එහි පොස්‌පරස්‌ ඉතා සුළු ප්‍රමාණයක්‌ පමණක්‌ අන්තර්ගත වේ. මේ නිසා කොළ පොහොර භාවිත කළ ද බෝගයකට අවශ්‍ය පොස්‌පරස්‌ නිසි පරිදි පසට යෙදීමෙන් සාර්ථක අස්‌වැන්නක්‌ ලබා ගැනීමට හැකි වේ. කොළ පොහොර යෙදීමේ දී ඒවා පසට නිසි පරිදි කළවම් කිරීමෙන් එහි අන්තර්ගත නයිට්‌්‍රජන් විනාශවීම බොහෝදුරට අවම කළ හැකිය. එසේම කොළ පොහොර හා සසඳා බැලීමේ දී ඒවා දිරාපත්වී නැති නිසා යෙදූ විගස බෝග සඳහා ප්‍රයෝජන ගැනීමට නොහැකි වේ. මේ නිසා බෝගයක්‌ වගා කිරීමට සති 2, 3 කට පෙර පසට යෙදීමෙන් විශේෂයෙන් වී වගාව වැනි වගාවන් සඳහා එය ප්‍රයෝජනවත් වේ. එහිදී බලාපොරොත්තු වන්නේ යෙදූ කොළ පොහොර මගින් වගා කරනු ලබන බෝගයට උපරිම ප්‍රයෝජනයක්‌ ලබා ගැනීමට සැලැස්‌වීමයි. 

සමහර ශාකවල කොළ පහසුවෙන් දිරාපත් නොවේ. එවැනි අවස්‌ථාවකදී එවැනි කොළ පොහොර වර්ග භාවිත කිරීමේ දී බෝගය වගා කිරීමට පෙර ඒවා පසට යෙදිය යුතු වේ. එසේ නැතහොත් ඒවා යම්තාක්‌ දුරට දිරාපත් කිරීමෙන් හෝ භාවිත කර කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනය කිරීමෙන් පසු ද පසට යෙදිය හැකි වේ. කෙසේ නමුත් එවැනි කොළ වියළි කලාපයේ හෝ වෙනත් ප්‍රදේශවල වියළි කාලගුණයක දී වසුනක්‌ ලෙස භාවිත කිරීමට ද හැකි වේ. කොළ පොහොරවල ඇති තවත් ප්‍රධාන ගැටලූවක්‌ නම් විශාල ප්‍රමාණ සපයා ගැනීමට ඇති අපහසුව මෙන්ම සපයා ගැනීමට සැලකිය යුතු කම්කරු ශ්‍රමයක්‌ වැයවීමයි. මේ නිසා විශාල ලෙස පවත්වාගෙන යනු ලබන වාණිජ කෘෂිකර්මයේ සාර්ථකව භාවිත කිරීම යම් යම් අපහසුතා තිබුණ ද තම ගෙවත්තේ හා කුඩා පරිමාණයේ බෝග වගාවන් සඳහා කොළ පොහොර භාවිත කිරීමේ අපහසුවක්‌ නොමැත. තම වැටවල්වලට වෙනත් ප්‍රයෝජනයට නොගන්නා ස්‌ථානවල කොළ පොහොර වර්ග වගා ඇති කිරීමෙන් මෙය සාර්ථක කර ගත හැකි වේ. එවැනි කොළ වර්ග භාවිත කිරීමෙන් පසේ සාරවත් බව මෙන්ම වගා අස්‌වැන්න වැඩි කර ගැනීමට හැකි සාර්ථක ක්‍රමයකි. රසායනික පොහොර භාවිත කිරීම හේතුවෙන් වර්තමානයේ සිදුවී ඇති වියසනය සුළුපටු නොවේ. එබැවින් රසායනික පොහොර භාවිතය ක්‍රම ක්‍රමයෙන් අඩුකිරීම කාලෝචිත බැවින් කොළ පොහොර (කාබනික පොහොර) භාවිතයට ගොවීන් නැඹුරු කරවීම මෙම ලිපියේ මූලික අරමුණ වේ. 

සරත් විජය ගුණවර්ධන (පොතපත අසුරෙනි.)
http://www.divaina.com/2014/11/25/feature02.html

0 comments: