Pages

Sunday, November 9, 2014

සොඳුරු පවුල

හිරුගේ රශ්මියෙන් සහ ආලෝකයෙන් ප්‍රාණවත්වී සෞම්‍ය රැස්‌ විහිඳුවන සඳකිරණ රාත්‍රියෙහි මෝදුවෙන සෑම මලකටම ජීවය දෙන්නාක්‌ මෙන් දෙදෙනෙකු එක්‌වී ගොඩනගා ගන්නා සොඳුරු පවුල සහ ඉන් ජීවය ලබන දරු පැටවුන් සමාජයේ ඉතා වැදගත් කමක්‌ උසුලනවා.

ජීවිතේ කවියක්‌
ආදරේ සොඳුරුතම වදනක්‌
කඳුළැලි දිනා
හසරැලි පුදා
එකට එක්‌වූ විට දැනේ
පෙර නොවිඳි රසයක්‌...

ආදරණීය එක්‌වීමක ඉතාම චමත්කාරජනක සමාජ අවස්‌ථාවක්‌ නන්දා මාලනිය ඇගේ ගීතයකින් පෙන්වා දෙන්නේ විවාහය නම් වූ මේ අපූර්වත්වයෙන් යුත් මිහිරියාවම නොවේද.

එහෙත්, එවන් සුන්දර ජීවිතය පවුලක්‌ ලෙස අරුත්බර වන්නේ සියලු සමාජ සංස්‌ථාවන් ගේ පදනම වන උත්තරීතර පවුල් ඒකකය තුළින්මය. මිනිසාගේ මූලික අවශ්‍යතා ත්‍රිත්වය වන මානුෂික, කායික,හා සමාජීය අවශ්‍යතා ගොඩනගා ගන්නට මහෝපකාරි වන්නේ මෙම උතුම් පවුල නම් වූ ඒකකයයි.

කාලයක්‌ ආදරයෙන් බැඳී එකට එක්‌ව, අවසානයේ රන් හුයකින් ගැටගැසුනදා පටන් එතෙක්‌ හුවමාරු කරගත් තොරතෝංචියක්‌ නැති කතා, පටලවා ගත් රතැඟිලි, බෙදා හදාගත් කඳුළු, මේ සියල්ල නැවතුම් ගන්නා සීමාව 'විවාහය' දෝහෝයි සිතෙන තරමටම අද වන විට සමාජයේ විවාහය යනු ආදරණීයත්වය ආගන්තුකයකු කරන ස්‌ථානයක්‌, වී ඇත්දැයි සැක සිතේ.

ගැහැණියක්‌, ජීවිතයේ ලැබෙන සෑම කුඩාම අත්දැකීමක්‌ පවා බොහෝ අදහස්‌ වචන වලට හරවාගෙන කතා කරයි. පුරුෂයකු, තමන්ගේ අභිප්‍රායන් හා මනෝභාවයන් සමඟ නිහඩ ජීවන ගමනක සුවබර නැවතුමක්‌ සොයාගෙන යයි.

කෙසේ වුවද වර්තමානයේ ජීවිතයේ ප්‍රශ්න හා අභියෝග හමුවේ දික්‌කසාදය ඉතාමත් ක්‌ෂණික විසඳුමක්‌ වී හමාරයි. සමාජයේ ජීවත් වන පවුල්වලින් සත්‍ය වශයෙන්ම සොඳුරු ලෙස ජීවිතය ගෙන යන පවුල් තිබෙන්නේ ඉතාම අතලොස්‌සකි. කුමක්‌ හෝ අඳුරු කමකින්, වේදනා විඳිමින් 'බැඳගත්තු බෙරය ගහන' පවුල් අප සමාජයේ ඕනෑතරම් සිටී.

විවාහ වන්නට පෙරදී යුවළකට විවාහ උපදේශනය වැන්නකට යොමුවී සිය ජීවිතයට නව අරුතක්‌ එක්‌කර ගැනීමට අද වන විට බාධාවක්‌ නැත.

එහෙත් ඒවාට යොමුවීමේ ප්‍රවණතාවයක්‌ තවදුරටත් අඩු බව දක්‌නට ලැබේ. විවාහ උපදේශනය තුළින් පහත සඳහන් අරමුණු කිහිපයක්‌ අපේක්‌ෂා කෙරේ.

* විවාහ අපේක්‌ෂකයන් දෙදෙනෙක්‌ කෙතෙක්‌ දුරට ගැළපෙන්නේ දැයි සොයා බැලීම.
* විවාහ ජීවිතයේ සම්බන්ධ දුර්මත පවතීනම් ඒවා බැහැර කිරීම.
* විවාහ අපේක්‌ෂකයින්ගේ දුර්වලතා සන්නිවේදනය කිරීම.
* ගැටළුවලින් මිදීම සඳහා කුසලතා හා අභ්‍යන්තරික සම්පත් දියුණු කිරීම.
* තෘප්තිමත් භාවය හා සාර්ථකත්වය පිළිබඳ පොදු කරුණු සාකච්ඡා කිරීම.
* නව ඉලක්‌ක ගොඩනැගීම හා ඒවා කරා ළඟා වීමේ මාර්ග පෙන්වා දීම.
* විවාහයක්‌ තුළින් අපේක්‌ෂිත අරමුණු හඳුනාගෙන ඒ සඳහා වන කුසලතා වර්ධනය කිරීම.

අතීතයේ අපේ අම්මලා තාත්තලා සතුටින් පවුල් කෑවේ උපදේශනය මගින් දැ යි කිසිවෙකුට ප්‍රශ්නයක්‌ පැන නැගීමට ඉඩ තිබේ. එහෙත් වර්තමානයේ අපි භුක්‌තිවිඳින්නේ අපේම වූ සංස්‌කෘතියක්‌ නොවේ. එනම් පෙර අපර දෙදිගින් ම අහුලාගත් ආක්‍රමණය වූ මිශ්‍ර වූ අමුතුම සමාජයක්‌ තුළය. ළිඳට වැටුණු මිනිහා ළිංකටින්ම ගොඩ විය යුතුවාක්‌ මෙන් එවන් වූ සමාජයක තරුණ තරුණියන්ට මෙවන් වූ ආකල්ප තුළින් තමන් යන්නේ කොතනටදැයි නිවැරදිව දැනගෙන ගමන ආරම්භ කළ හැකි වනු ඇත.

විවාහ වී ජීවිතය ගතකරනා අපි සියලු දෙනාම තවත් ගැටලුවකට මුහුණ දෙනු ඇත. එයට වයස්‌ භේදයක්‌ නැත. විවාහයෙන් වසරකදී දෙකකදී හෝ වසර දහයකදී පහළොවකදී හෝ ඔබට මෙයට මුහුණ දෙන්නට සිදුවිය හැක.

එනම් අපි සියලු දෙනාම කථාකරන්නට කැමති අය වෙමු, අපි ගැන, අපේ ආශාවන් ගැන, අපේ සිතුම් පැතුම් ගැන, අභිලාෂයන් ගැන, එසේම ඒවා අගය කරනවා දකින්නට ද අපි කැමතිවෙමු, එසේම ඒවාට ඌණ පූරණයන් එකතුවෙනවා දකින්නට ද, ආදරණීය නිහඬව කෙනෙකු ඒවාට සවන්දෙනවා දකින්නට ද අපේ කැමැත්ත ඇත. එවිට අපිට මේ ලෝකේ තියෙන උතුම්ම වූ ආදරය ලැබෙනවා යන සිතතුවිල්ල අපට හැඟෙයි 

සමාජයේ සිටින සෑම කෙනෙකුටම ඇහුම් කන් දෙන්නෙකු අවශ්‍ය බව ඔබ දන්නේ ද..

කුඩා දරුවකු ලෙස ජීවත්වන විට අප සිටිනුයේ මව පියා සහෝදර සහෝදරයින්, ගුරුවරුන්, යහළුවන් ආදී බොහොමයක්‌ සාමාජිකයන් සිටින පවුලකය. එවන් වූ තැනක දරුවන්ට යම් තාක්‌දුරට ඇහුම්කන් දෙන්නෙකුගේ අඩුව සම්පූර්ණ වෙනු ඇත. එසේම, තරුණ වියෙහිදී එක්‌ එක්‌ අරමුණු කරා යමින්, යහළු මිත්‍රයන් සහ ආදරවන්තයන් හමුවේ තමන් හුදකලා නොවීම සාමාන්‍ය දෙයකි.

නමුත්, වඩාත් බියකරු ලෙස මෙම ප්‍රශ්නයට මුහුණ දෙන්නේ විවාහ වී වසර කිහිපයක්‌ ගතව යන විට කුටුම්භය තුළ එකිනෙකාගෙන් දුරස්‌ව තනිවන ගැහැණිය සහ පිරිමියාය.

රැකියාවේ කාර්ය බහුලත්වය, ජීවිතයේ කුදු මහත් වගකීම, සමාජ සබඳතා දරුවන්ගේ අවශ්‍යතා, ආර්ථික අභියෝග හමුවේ, නිරතුරුව හැල්මේ දිවයන සමාජය තුළ දෙදෙනාටම දෙදෙනාගේ විවාහ දිවියේ සහ පවුලෙහි අවශ්‍යතා පුරුදු පරිදි ඉටුකරගන්නට අවකාශ ලැබුණද, තනිවන හිත ඇතුළට එබී බලන්නට, එහි පවතින කඳුළු දකින්නට, වේදනාව සොයන්නට, වටිනාකම්වලට පැසසුම් කරන්නට, එකිනෙකාට අමතක වෙනු ඇත. වඩාත් භායානක වන්නේ මෙයයි. ලිංගික අවශ්‍යතා මෙන්ම අනිකුත් සියලු එදිනෙදා උවමනා එපාකම් කායික අවශ්‍යතා නිසාවෙන්, එයින් වෙන පුංචි පුංචි අඩුපාඩු පවා අවසානයේ ගොස්‌ නතර වන්නේ මනස තුළය, ඉන් හදවත ඉරී තැළී යනු ඇත.

'එයාට කියලා වැඩක්‌ නෑ'
'එයා මම කියන දේ අහන්නෑ'
'මාව දැන් එයාට ඇති වෙලා'

මෙවන් වූ අදහස්‌වලින් සිතුවිලි පුරවා ගන්නා පවුල ජීවිත ගත කරන අය තමන් ආදරයෙන් ආශාවෙන් බොහෝ මිල මුදල් වැය කොට තනාගත් කැදැල්ල තුළ තනිවනු ඇත. හුදෙක්‌ විවාහය සමාජ අවශ්‍යතාවයක්‌ ලෙස සලකා කරබාගෙන පවුල් ජීවිතය ගත කරනු ඇත. දෙදෙනාගෙන් කාර්ය බහුලනොවන වඩාත් සංවේදී කෙනාගේ වේදනාවද තවදුරටත් වැඩි වනු ඇත.

මෙම තත්ත්වය තරුණ සැමියන්ට හෝ බිරින්දෑ වරුන්ට පමණක්‌ ඇතිවන ගැටලුවක්‌ නොව, ජීවිතයේ සැඳෑසමය ගෙවන බොහොමයක්‌ දෙනාද මෙම ගැටලුවෙන් පීඩා විඳිති.

ඇහුම්කන්දෙන්නෙකු නොසිටීම සමාජයේ සිදුවන, බොහොමයක්‌ වූ ව්‍යසන සහ පවුල් ආරවුල්වලට සෘජුවම බලපාන ප්‍රශ්නයක්‌ ලෙස මෙය හඳුනා ගැනීමට හැකි වුවද, එයට හේතු සොයා ගන්නට අප ප්‍රමාද නොවිය යුතුය.

වසර ගණනාවක්‌ පෙමින් වෙලී සිටියද එම ඇහුම් කන්දෙන යුගය නිමාවී ගොළුවත රකින සැමියන්ට සහ බිරින්දෑවරුන්ට කියන්නට පණිවිඩයක්‌ ඇත. එනම් තමන්ට ඇහුම්කන්දෙන කිසිවකු තමන්ගේ පවුල තුළ නැත්නම්, එම හිස්‌තැන පුරවන්නට සමාජයේ කොතැනකින් හෝ කෙනෙකු ඉදිරිපත් වනු ඇත. එහෙත් එම අඩුව නැවත පිරවීමේදී බොහෝ දුරට කුටුම්භයේ දැවැන්ත කුළුණුවල ඉරි තැලීමක්‌ සිදුවනු ඇත. එම ඉරිතැලීම කෙමෙන් විශාල වී සියල්ල සුණු විසුණු වී යැමටද එතරම් කාලයක්‌ ගත නොවනු ඇත.

එහෙත් තම ජීවිතය සුන්දර කරන සහකාරිය හෝ සහකරුවාගේ ආදර වදන්වල දිග පළල දැනගෙන එම වදන්වලට අලුත් වටිනාකමක්‌ දෙමින් සවන් දෙන බොහොමයක්‌ ආදරබර සැමියන් සහ බිරින්දෑ වරුන්ද, අපේ සමාජයේ අතරින් පතර ජීවත්වෙනු ඇත. ඔවුන්ගේ ආදරබර ජීවිතවල සැබෑ රහස ද ජීවිතයේ නොයෙකුත් අභියෝග හමුවේ අනෙකාට ආදරණීය සවන්දෙන්නෙකු වීම ම විය හැක.

එහෙත් අපි අලුතින් සිතමු,

කුටුම්භය තුළ පැන නගින අබමල් රේණුවක හෝ වරදක්‌, සිත් තැවුලක්‌, මහා කන්දක්‌ වන්නට ඉඩ නොතබා එය හඳුනා ගන්නට අපි ඔබට සමීප වෙන්නමු. තමන්ගේ ලෝකය තුළම තමන් හුදකලා නොවීමෙන් ජීවිතයට ළංකරගත් ආදරණීය ම චරිතය සමඟ සතුටින් ජීවත් වෙන්න, බාධාවක්‌ වන සොඳුරු පවුලෙහි පුංචි පුංචි අමතක වීම්, තවදුරටත් අපි කතා කරමු.

ගඟක්‌ ගලාගෙන යනවිට අතරමගින් පැන නැගී ඇති දැවැන්ත වෘක්‌ෂයන් හමුවේ ගඟ නිසසලව ගලාගෙන යමින් තවත් සුන්දරත්වයක්‌ම එකතු කරගන්නවා සේම, ජීවිතය ඉදිරියට ගෙනයන්න අදිටන් කරගනිමු.

සංකල්පය සහ චිත්‍ර - අමාලි මංගේෂ්කා පෙරේරා
http://www.divaina.com/2014/11/09/feature11.html

0 comments: