Pages

Sunday, November 2, 2014

ජනපතිවරණය කල්යයි?

ජනාධිපතිවරණය ලබන මාර්තු මාසය දක්‌වා කල් දැමෙනු ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ "දිවයින ඉරිදා සංග්‍රහය" ට වාර්තා විය. ජනවාරි මස මුල් සතියේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ජනාධිපතිවරණය මෙලෙස කල් දැමෙනුයේ ආණ්‌ඩුව සමඟ දැනට කටයුතු කරන ජාතික හෙළ උරුමය සහ වාමාංශික පක්‍ෂවල ඉල්ලීමත්, ශුද්ධෝත්තම පළමුවැනි ෆ්‍රැන්සිස්‌ පාප්වහන්සේ ජනවාරි මාසයේ මෙරටට පැමිණීමත් හේතුවෙන් බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ජනාධිපතිවරණය මාර්තු මාසය දක්‌වා කල් දැමීමෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දැනට විවිධ පාර්ශ්වවලින් තිබෙන සහාය තවත් වැඩිකරගත හැකි බව දේශපාලන විද්වත්හු පෙන්වා දී ඇති බව ද දැනගැනීමට ඇත.

ජාතික හෙළ උරුමයේ 12 වැනි මහ සමුළුවේදී ප්‍රකාශයට පත්කරන ලද කරුණු 35 කින් යුතු ලියවිල්ල මුල්කර ගනිමින් රජයේ විශේෂ නියෝජිත පිරිසක්‌ හා ජාතික හෙළ උරුමයේ නියෝජිත පිරිසක්‌ අතර පසුගියදා සාකච්ඡා ආරම්භ විය.

එහිදී ජාතික හෙළ උරුමයේ නියෝජිත පිරිස තම දේශපාලන යෝජනා තිස්‌පහෙන් ජනාධිපතිවරයාගේ විධායක බලය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම, කැබිනට්‌ මණ්‌ඩලය සීමා කිරීම, ස්‌වාධීන කොමිෂන් සභා පත්කිරීම, තොරතුරු දැනගැනීමේ පනත සුරක්‍ෂිත කිරීම, ජනාධිපති දරන අමාත්‍යාංශ ගණන සීමා කිරීම, ජාතික සැලසුම් කමිටුවක්‌ පත්කිරීම හා උතුරු නැගෙනහිරින් පලවා හැරි සිංහල ජනතාව එහි යළි පදිංචියට යාන්ත්‍රණයක්‌ සකස්‌ කිරීම යන යෝජනා 8 මුලින්ම ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දී ඇත.

ජනාධිපතිවරණයට පෙර මෙම යෝජනා සැලකිල්ලට නොගන්නේ නම් වෙනත් විකල්ප දේශපාලන ක්‍රියාදාමයකට අවතීර්ණ වීමට ජාතික හෙළ උරුමය පසුබට නොවන බව ද හෙළ උරුම නියෝජිත පිරිස පවසා ඇත.

පසුගිය දින කිහිපය පුරාම ඒ යෝජනා සම්බන්ධයෙන් හමු වී කතාබහ කළ දෙපාර්ශ්වය අවසානයේ එකඟතාවයකට පැමිණ ඇත්තේ එම යාන්ත්‍රණය සාදාගන්නට කාලයක්‌ අවශ්‍ය බව පවසමිනි.

ජාතික හෙළ උරුමයේ සහාය හා රටේ වාමාංශික බලවේගවල ආශිර්වාදය ලැබ ශක්‌තිමත්ව ජනාධිපතිවරණයකට ඉදිරිපත්ව ජයග්‍රහණය ලැබීමට නම් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජයට කඩිමුඩියේ ජනවාරියේ මැතිවරණය නොපවත්වා ඊළඟ මාර්තුව දක්‌වා ජනාධිපතිවරණය කල් තැබීම හැර වෙනත් විකල්පයක්‌ නැතැයි දේශපාලන නිරීක්‍ෂකයෝ පෙන්වා දෙති.

බුලිත ප්‍රදීප් කුමාර
http://www.divaina.com/2014/11/02/news01.html

Pic Source

0 comments: