Pages

Friday, November 28, 2014

අයුක්තියෙන් යුක්තිය සොයන ව්‍යවස්ථාව අහෝසි කළ යුතුයි - මහාචාර්ය අමරසිරි සොයිසා

අයුක්තියෙන් යුක්තිය සොයන අසාධාරණයෙන් සාධාරණය සොයන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් විධායක ජනාධිපති ක්‍රමයත් අහෝසි කිරීමේ කාලය එළැඹ ඇතැයි පේරාදෙණි විශ්වවිද්‍යාලයේ  දේශපාලන විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය අමරසිරි සොයිසා මහතා 25වන දින මහනුවරදී සඳහන් කළේය. මහනුවර පුරවැසි හවුල සංවිධානය කර තිබූ විපක්ෂයේ ‍පොදු අපේක්ෂකයාගේ ජය තහවුරු කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ජනබල පෙළ ගැස්ම සම්මන්ත්‍රණය අමතමින් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම විධායක ජනාධිපති ක්‍රමය අපට අලුත් දෙයක් වුවත් ලොවට එය අලුත් දෙයක් නොවන බවයි. ලොව පවතින රටවල් 80කට අධිකව මෙම විධායක ජනාධිපති ක්‍රමය තුළින් ජාතික සමගිය ගොඩනගමින් ආර්ථික දියුණුව ඇතිකරගෙන ඇති බවයි. නමුත් අප රට ඒ සඳහා අ‍පොහොසත් වීම හේතුවෙන් මෙම විධායක ජනාධිපතික්‍රමය හා ව්‍යවස්ථාව වෙනස් කිරීමට අප පෙළ ගැසිය යුතු බවද මහාචාර්යවරයා පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ හිටපු මහාධිකරණ විනිසුරු හා පළාත් සභා මන්ත්‍රී ඩබ්.ටී.එම්.පී.බි. වරාවැව මහතා පවසා සිටියේ අද රටට අවශ්‍යව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට පෙළ ගැසීම සතුටට කරුණක් බවද වරාවැව මහතා සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරයේ නීතිඥ සහ මහනුවර හිටපු නගරාධිපති හරින්ද්‍රනාත් දුනුවිල මහතා මෙහිදී සඳහන් කළේ ජනාධිපතිවරුන් දෙදෙනකු මෙම විධියක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ‍පොරොන්දු වූවත් එය තවම සිදුනොවූ බවයි. දාහත් වන සංශෝධනය අහෝසි කර දහඅට වන සංශෝධනය තුළින් එම බලතල සියල්ල ජනාධිපතිවරයා පවරා ගත්තේයැයි අද පාර්ලිමේන්තු හා අධීකරණය රූකඩයක් වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය. ජනාධිපතිවරයාට නැවත තරග කරන්න හැකිද යන මත විමසුම අග විනිසුරුගේ තනි තීරණයක් යැයිද සෙසු විනිශ්චයකරුවන්ට කිසිදු මතයක් ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇතැයිද මෙම මැතිවරණය ඉතා දරුණු මැතිවරණයක් විය හැකියැයිද හරීන්ද්‍ර දුණුවිල මහතා කීය.
එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා සඳහන් කළේ මෙම අවස්ථාව රට බේරාගැනීමට ඇති එකම අවස්ථාව බවයි.කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සහ හිටපු පළාත් සභා මන්ත්‍රී රාජා උස්වැටකෙයියාව මහතා පැවැසුවේ මෙම විධායක ජනාධිපති ක්‍රමය මගින් රට සංවර්ධනය කිරීමට හා සුළු ජාතීන්ගේ අයිතීන් තහවුරු කිරීමට නොහැකි වූ බවයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා වෙනුවට 18 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රට තුළ තිබූ ප්‍රජාතන්ත්‍රවාදයද අහෝසි කළ බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‍ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමේ ජාතික ව්‍යාපාරයක නියැළී සිටින මෙවන් මොහොතක සියලු දෙනාම එයට සහයෝගය දැක්වීම අප කාගේත් යුතුකමක් බවද හෙතෙම පැවැසීය.

ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පළාත් සභා මන්ත්‍රී අධිනීතිඥ ලාල් විජේනායක මහතා පවසා සිටියේ ඉතිහාසයේ පළමු වරට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව කටයුතු කරන බවයි. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ශිෂ්ට සමාජයක නිදහස් පුරවැසියන් ලෙස අප ජීවත් වනවාද නොමැතිනම් අශිෂ්ට සමාජයක එක පවුලක් යටතේ වහලුන් ලෙස අප ජීවත් වනවාද යන්න සිතා බැලිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්.රාජරත්නම් මහතා කියා සිටියේ සුළු පක්ෂවල හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ගෙන දාහත් වන සංශෝධනය අහෝසි කිරීමෙන් ජනතාව මහත් පීඩාවට පත්වූ බවයි.ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී චන්න ගලප්පත්ති මහතා කියා සිටියේ මෙම අවස්ථාව විපක්ෂයේ බලය පෙන්වීමට කදිම අවස්ථාවක් බවය. අපේ දරුවන් ගැනවත් සිතා මෙම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සියලු දෙනා පෙළ ගැසිය යුතුබව හෙතෙම සඳහන් කළේය.

මහජන පක්ෂයේ තිසර විජේරත්න මහතා පැවසුවේ සියලු  පක්ෂවලට එකට ගොනුවීමේ හැකියාව දැන් උදා වී ඇති බවයි.තැපැල් වෘත්තීය සමිති නියෝජනය කරන නීතිඥ එච්.එම්. නවරත්න මහතා කියා සිටියේ මේ රට තුළ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවයි.

මාධ්‍යම පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ජේ.ජෙයිනුලාබ්දීන් මහතා සඳහන් කළේ පරාජයෙන් වියරු වැටී වෙඩි තබමින් මෙම ජනාධිපතිවරණය ජයගත නොහැකි බවයි. ‍පොදු විපක්ෂයට මුස්ලිම් කොංග්‍රසය සහයෝගය ලබාදුන්නත් නැතත් මෙවර ‍පොදු අපේක්ෂකයා දිනන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

හිටපු කම්කරු කොංග්‍රස් පළාත් සභා මන්ත්‍රී ඩබ්ලිව්.රත්නම් මහතා පැවසුවේ අද බොහෝ පක්ෂ ආණ්ඩුවට විරෝධය දක්වන බවය. මහනුවර දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ මුස්ලිම් ජනතාව ‍පොදු අපේක්ෂකයා වටා රොක්වී සිටින බවද හෙතෙම පැවැසීය.මහනුවර දිස්ත්‍රික් ජාතික නීතිඥ සංගමයේ ‍ලේකම් චන්ද්‍රසිරි සෙනවිරත්න මහතා පැවැසුවේ මෙම අරගලය ගෙන යන්නේ රට බේරා ගැනීමේ ‍පොදු අරමුණින් මිස කිසියම් පුද්ගලයෙකු ඉලක්ක කරගෙන නොවන බවයි.කපිතාන් විමලසේන මහතා කියා සිටියේ රණ විරුවන් ‍පොදු අපේක්ෂකයා දිනවීම සඳහා පෙළ ගස්වන බවය.මහනුවර ඩෙවෝන් හෝටලයේ පැවැති මෙම සම්මන්ත්‍රණය මහනුවර පුරවැසි හවු‍ලේ සමකැඳවුම්කරු සුදන්ත සේනානායක සම කැඳවුම් කරු වී.බි. ගාමිණී ජයවීර යන මහත්වරුන් විසින් සංවිධානය කර තිබිණි.

ගයා වන්නිආරච්චි - ලක්බිම

0 comments: