Pages

Sunday, November 9, 2014

විජේවීර මරාදමා අවුරුදු 25යි! ආයුධ පෙන්වීමට ගොස්‌ වෙඩි කා මියගිය ලංකාවේ පළමුවැන්නා රෝහණ විජේවීරය.

සඟවා තිබූ ආයුධ පෙන්වීම සඳහා පොලිසිය හෝ යුද හමුදාව සමඟ ගොස්‌ වෙඩි කා මළ මෙරට පළමුවැන්නා රෝහණ විජේවීරය. මෙයට වසර 25 කට පෙර එළැඹි 1989 නොවැම්බර් 13 වැනිදා පාන්දර බොරැල්ල කනත්ත පිටුපස ඇති ගොල්ෆ් පිට්‌ටනියට යාබද රේල්පාරේදී උපතිස්‌ස ගමනායක සමඟ එක පෙළට සිටුවා ඔහුට වෙඩි තබන ලදී. ආණ්‌ඩුවේ තුවක්‌කුකරුවන් දෙදෙනෙක්‌ මේ වෙඩි තැබීම සිදු කළ බවට සාක්‍ෂි තිබේ. ඔවුන්ට වෙඩි තබන ලද්දේ පසුපසින් සිටය. මෙය හඳුන්වන්නේ Poin Blank Range එකක සිට කළ වෙඩි තැබීමක්‌ ලෙසිනි. 

මරා දැමීමට පෙර විජේවීරට සහ උපතිස්‌ස ගමනායකට අධික ලෙස පහර දුන් බවටත්, අත් පා කඩා දමන ලද බවටත් පණ තිබියදීම බොරැල්ල කනත්තේ ආදාහනාගාරය තුළට විසි කර පුළුස්‌සන ලද බවටත් පසු කාලයේදී කතාන්දර පැතිර තිබුණද, එවැනි කිසිවක්‌ සිදු වූ බවට සාක්‍ෂි නැත. ජනතා විමුක්‌ති පෙරමුණෙහි පහළ කේඩරය කෙරෙහි යුද හමුදාව තුළ කිසිදු ගෞරවයක්‌ නොතිබුණ ද, විජේවීරට ඔවුහු ගරු කළහ. ඒ ගෞරවය ඔහු මරණ තෙක්‌ම පවත්වා ගැනීමට හමුදාවට හැකි විය. විජේවීර අත්අඩංගුවට ගත් හමුදා කණ්‌ඩායමේ ප්‍රධානියා කොළඹ උසස්‌ විදුහලක ඉංග්‍රීසි භාෂාවෙන් උගත් කෙනෙකි. ඔහු වෙතින් විජේවීර භාරගත් තැනැත්තා මේජර් ජනරාල් ජානක පෙරේරා ය. ඔහු ද කොළඹ ඉහළ සමාජයට අයත් අයෙකි.

සාමාන්‍යයෙන් මේ වර්ගයේ මිනිස්‌සු ධනේශ්වරයට සේවය කළ ද විප්ලවයට පෙම් කරති. එය අතිශය රහස්‌ ප්‍රේමයකි. මෙයට උදාහරණයක්‌ ලෙස චේගෙවාරා ඝාතනය දැක්‌විය හැකිය. ඇමරිකන් ගැති දක්‍ෂිණාංශික ආණ්‌ඩුවක්‌ තිබු බොලිවියාව නමැති ලතින් ඇමරිකන් රටේදී 1967 දී චේ ගෙවාරා විප්ලවයක්‌ කරමින් සිටියේය. ඔහු ඇල්ලීමට භාර වී තිබුණේ ඇමරිකාවේ සිට පැමිණි CIA ඒජන්තයකු වූ ෆීලික්‌ස්‌ රොඩ්රිගුවේස්‌ ය. 1967 නොවැම්බර් 8 වැනිදා චේ අත්අඩංගුවට ගැනීමට ෆීලික්‌ස්‌ රොඩ්රිගුවේස්‌ට හැකි විය. (චේ හා විජේවීර අත්අඩංගුවට ගත් ක්‍රමයෙහි සමානතාවන් තිබේ. මතු ලිපියකදී ඒවා සාකච්ඡා කෙරෙනවා ඇත.) CIA විනයට අනුව ක්‍රියා කළ උගත් හමුදා නිලධාරියකු වූ රොඩ්රිගුවේස්‌, චේ ගේ ඇඟට අතක්‌වත් තැබුවේ නැත. චේ අමතනු සඳහා රොඩ්රිගුවෙස්‌ යොදා ගත් පදය වූයේ යුද හමුදා නිලයක්‌ හඳුන්වන ස්‌පාඤ්ඤ වචනයක්‌ වූ Comadante ය. සෙබළකුට දිය හැකි ලොකුම ගෞරවය ඔහු දරන තනතුර සඳහන් කරමින් ආමන්ත්‍රණය කිරීම ය.

**** ***** *****

විජේවීර ඝාතනය කෙරුණු 1989 නොවැම්බර් 13 වැනිදා වූ කලී ප්‍රංශ විප්ලවයට වසර 200 ක්‌ සම්පූර්ණ වූ දිනයයි. උපතිස්‌ස ගමනායක සහ විජේවීර මැරීමෙන් පසු එවකට සිටි යුද හමුදාපති විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය මෙසේ ය. "කැරලිකරුවන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් ලැබුණු රහස්‌ තොරතුරු මත උලපනේ ඇතුළු ප්‍රදේශ ගණනාවක සෝදිසි මෙහෙයුම් කිරීමට යුද හමුදාව කටයුතු කළේය. 1989 නොවැම්බර් 12 වැනිදා සවස්‌ වරුවේදී උලපනේ ප්‍රදේශයේ මෙහෙයුම් සිදු කළ හමුදා කණ්‌ඩායමකට රෝහණ විජේවීර ලෙස සැක කළ හැකි පුද්ගලයකු හමුවිය. ඔහුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් කළ විමසීමේදී තමා රෝහණ විජේවීර බව පිළිගත් එම පුද්ගලයා තමා සමඟ සිටින සෙසු අය තම බිරිය සහ දරුවන් බව පිළිගත්තේ ය. රටේ නීත්‍යනුකූල ආණ්‌ඩුවට එරෙහිව හටගෙන තිබූ ප්‍රචණ්‌ඩ ක්‍රියා සහ වෙනත් පරපීඩක කටයුතුවලට රෝහණ විජේවීර සම්බන්ධ බවට සැකයක්‌ තිබුණු බැවින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. මේ මොහොතේදී විජේවීර අත්අඩංගුවට ගත් හමුදා පිරිසේ ප්‍රධානියාගේ තීරණය වූයේ කිසිදු ප්‍රසිද්ධියක්‌ නොදී ඉහළම ආරක්‍ෂාව සහිත ස්‌ථානයකට ඔහු රැගෙන යැම ය.

එදිනම රාත්‍රි 10.00 ට රෝහණ විජේවීර කොළඹ ගෙනෙන ලදී. රටේ තරුණ පරපුර අමතා කතාවක්‌ පැවැත්වීමටත් ප්‍රචණ්‌ඩ ක්‍රියා අත්හැර දමන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමටත් වැඩිදුර ප්‍රශ්නකිරීම්වලින් පසු විජේවීර ස්‌වෙච්ඡාවෙන් ම ඉදිරිපත් විය. එම කතාව වීඩියෝ කරන ලදී. ඉන් පසු ජවිපෙ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට අයත් ප්‍රධාන යුද මෙහෙයුම් මධ්‍යස්‌ථානය පෙන්වීම සඳහා පොලිසිය සහ යුද හමුදාව කැඳවාගෙන යැමට විජේවීර එකඟ විය. පසුදින එනම් 13 වැනිදා අලුයම ජවිපෙ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ යුද කටයුතු සහ ප්‍රචාරක මූලස්‌ථානය යුද හමුදාවට පෙන්වීමට විජේවීරට හැකි විය. මෙය කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පිහිටි තැනකි. මෙහිදී ජ.වි.පෙ. දේශපාලන මණ්‌ඩලයේ සාමාජික එස්‌. බී. හේරත් ට කතා කළ විජේවීර එම මූලස්‌ථානයේ තිබෙන සෑම දෙයක්‌ම හමුදාවට භාර දෙන ලෙස ඉල්ලා සිටියේ ය. ලියෑවිලි කිහිපයක්‌ හමුදාවට භාර දුන් හේරත් තවත් ලියෑවිලි සොයන බව හඟවමින් ක්‍ෂණයකින් ගිනි අවියක්‌ ඇද රෝහණ විජේවීර දෙසට වෙඩි තැබී ය. මෙහිදී යුද හමුදාව ද පෙරළා වෙඩි තැබී ය. වෙඩි හුවමාරුවේදී එයට මැදිව තුවාල ලද විජේවීර සහ හේරත් එතැනම මිය ගියහ. අනතුරුව හදිසි නීති රෙගුලාසි අනුව ක්‍රියා කළ හමුදාව උපරිම ආරක්‍ෂාව යටතේ එම මළ සිරුරු ආදාහනය කළේය. ජවිපෙ/ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ මූලස්‌ථානයෙන් පහත සඳහන් ගිනි අවි සොයා ගැනීමට හැකි විය. එනම්, 1. ඉන්දියාවේ සාදන ලද මි. මී. 9 පිස්‌තෝලයක්‌ සහ ජීව උණ්‌ඩ 7 ක්‌, (පිස්‌තෝලයේ අනු අංක මකා දමා තිබිණි.) 2. මි. මී. 9 හිස්‌ පතරොම් කොපුවක්‌. 3. අනු අංක මකා දැමූ බෝර 12 තුවක්‌කුවක්‌, 4. බෝර 12 ජීව උණ්‌ඩ 12 ක්‌, 5. රූපවාහිනි යන්ත්‍රයක්‌, වීඩියෝ ඩෙක්‌ එකක්‌ සහ පණිවුඩ හුවමාරු උපකරණ ඇතුළු ට්‍රාන්ස්‌ මීටරයක්‌. 6 කැසට්‌ ප්‍රතිවාදන යන්ත්‍රයක්‌ සහ කැසට්‌, 7. කැසට්‌ 7 ක්‌, 8 දේශපාලන මණ්‌ඩල වාර්තා සහ සාදා නිම නොකළ වාර්තා, 9. රුපියල් පනස්‌ ලක්‍ෂයක්‌ වටිනා රන් ආභරණ කිලෝ. 7.3 ක්‌."

එහෙත් ඇත්ත කතාව පෙර කී පුවත්පත් නිවේදනයට වඩා හාත්පසින් ම වෙනස්‌ ය. ජවිපෙ/ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ මූලස්‌ථානය යුද හමුදාව විසින් වටලනු ලැබ අවි ආයුධ සහ ලිපි ලේඛන අත්අඩංගුවට ගෙන තිබුණේ නොවැම්බර් 13 වැනිදාට කලිනි. අත්අඩංගුවට ගත් බවට ප්‍රසිද්ධ කෙරුණු රත්රන් සහ සෙසු බඩු ලැයිස්‌තුව සොයාගෙන තිබුණේ ජ.වි.පෙ. දේශපාලන මණ්‌ඩල සාමාජික ගුණරත්න වනසිංහ සැඟව සිටි ස්‌ථානයෙනි. වනසිංහ පක්‍ෂයේ භාණ්‌ඩාගාරිකය. ඔහු සැඟ වී සිටි තැන ගැන ඔත්තුව දුන්නේ ජ.විපෙ.ට රිංගාගෙන සිටි ඔත්තුකරුවෙකි. ඔහුට ඒ සඳහා ත්‍යාග වශයෙන් රුපියල් පන්ලක්‍ෂයක්‌ ගෙවන ලදී. එය ජනතා විමුක්‌ති පෙරමුණේ සාමාජිකයකු ඇල්ලීම සඳහා එතෙක්‌ මෙතෙක්‌ ගෙවන ලද විශාලතම වන්දි මුදලය.

(විජේවීර අල්ලා ගත් හැටි සහ ඔහුගේ අවසන් මොහොත පිළිබඳ සත්‍ය තොරතුරු ලබන සතියේ කියවන්න.)

අනුර සොලමන්ස්‌
http://www.divaina.com/2014/11/09/feature19.html

0 comments: