Pages

Friday, November 28, 2014

අප එන්.ජී.ඕ. නඩයකට, බටහිර කුමන්ත්‍රණකරුවන්ට යටවෙලා කියනවා! සැබෑව නම්, ජාවාරම්කාරයන් කිහිපදෙනකුට ආණ්‌ඩුව යටවෙලා - චම්පික

කුමන්ත්‍රණ, කුමන්ත්‍රණ කියා ආණ්‌ඩුව කෑ මොර දුන්නද සැබෑ කුමන්ත්‍රණය පවතින්නේ ආණ්‌ඩුව ඇතුළතම බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

ආණ්‌ඩුවේ ඇමැති මණ්‌ඩලය සිටින්නේ මැරි මැරී ඉපදෙමින් බවත් හොඳ දෙමාපියන් සිටින පවුල්වල දරුවන් ගෙදරින් පැන නොයන බවත් හෙතෙම පැවැසීය.

ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා ඊයේ (27 වැනිදා) එම අදහස්‌ පළ කළේ එම පක්‍ෂ ජාතික හමුව කොළඹ නව නගර ශාලාවේදී පැවැති අවස්‌ථාවේදීය.

"විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල ඉවත් කරනු, යහපාලනය සඳහා ස්‌වාධීන කොමිෂන් සභා ස්‌ථාපිත කරනු, ජනතාවට වගකියන මැතිවරණ ක්‍රමයක්‌ ඇති කරනු යන මැයෙන් මෙම ජාතික හමුව කැඳවා තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පාඨලී චම්පික රණවක මහතා

තහංචි තහනම්වලට ජාතික බලවේග නතර කළ නොහැකියි. ඒ බව සියල්ලන්ටම සිහිපත් කිරීමට කැමැතියි. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජාවාරම්කාරයෝ කිහිප දෙනකු ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් රට බේරා ගැනීමට මානුෂීය මෙහෙයුමක්‌ කරන්න අප තීරණය කළා.

අප ඒ වෙනුවෙන් කටයුතු කරනකොට අප එන්.ජී.ඕ. නඩයකට, බටහිර කුමන්ත්‍රණකරුවන්ට යටවෙලා කියනවා. අපගේ පාර්ලිමේන්තුවේ කැසිනෝ කාරයන් කිහිප දෙනකුගේ බලය වැඩි වුණා. ඉතින් එහෙමනම් පාර්ලිමේන්තුව තුළ සිට කරන්න පුළුවන් මොකක්‌ද? ඒ නිසයි අප තීරණය කළේ එළියට බැහැල සටන් කරන්න.

රජයට ඡන්දය දුන් හැට ලක්‍ෂයකගේ බලාපොරොත්තු ජාවාරම්කාරයන් කිහිපදෙනකුගේ බලය නිසා සුනුවිසුනු වී ගොස්‌ තිබෙනවා. රජයට ඡන්දය දුන් ජනතාව අමතක වුණාට අපට ඔවුන්ව අමතක කරන්න බැහැ. මේවා වෙනස්‌ නොකර ඔහොම යං ඔහොම යං කියලා වැඩක්‌ නැහැ. ඒ නිසයි මේ වෑයම.

සංවර්ධනය ගැන විශාල පම්පෝරියක්‌ ආණ්‌ඩුව ගසනවා. යම් යම් පැතිවලින් යම් සාර්ථකත්වයන් ළඟා කරගෙන තිබුණත් මුළු රටේ ආර්ථිකය කඩා වැටී ඇති බව අප පී. බී. ජයසුන්දරට මතක්‌ කර සිටිනවා. රට පටන් ගන්නේ ණයයි පොලියයි ගෙවලයි. මෝටර්සයිකල් දෙන්න, සහන දෙන්න, පාරවල් හදන්න වෙන්නේ පිටරටින් ණය අරගෙන.


<---පාඨලී චම්පික රණවක මහතා රැස්‌වූ පිරිස අමතමින්

මේ රට බංකොළොත් කළ අයට අප කුමක්‌ කළ යුතුද? සුදු කරපටි අපරාධකාරයන්ගේ ක්‍රියාවල ප්‍රතිඵල අද අප විඳගනිමින් සිටිනවා. සල්ලි නැතුව සියයට 7, 8 පොලියට ණය අරන් කරන එකේ බර කාටද යන්නේ. දකුණු අධිවේගී මාර්ගයේ නඩත්තුවට සහ පොලීවලට වාර්ෂිකව මිලියන හයදහස්‌ පන්සීයක්‌ දෙන්න ඕනා. නමුත් ආදායම ලැබෙන්නේ රුපියල් මිලියන දහයයි. රුපියල් මිලියන පන්දහස්‌ පන්සීයක්‌ අප ලෝකෙට ණයයි.

මේ රට දුවන්නේ ජනතාවගේ බදුවලින් සහ ණය ගැනීම්වලින්. අද ලෝක වෙළෙඳපොළේ තෙල් මිල බැහැලා. නමුත් ආණ්‌ඩුව සාමාන්‍ය ජනතාවට සහන ලබා දෙන්නේ නැහැ. ඇති හැකි එකාගෙන් බදු අයකර ගත්තට අපට කමක්‌ නැහැ. නමුත් පී. බී. ජයසුන්දර දුප්පත් ජනතාවගේ පොකට්‌ටුවට පහර දෙනවා.

තෙල් සංස්‌ථාව, විදුලිබල මණ්‌ඩලය පාඩුයි පාඩුයි කියලා ජනතාව හූරා කන එක නතර කළ යුතුයි. රටේ ප්‍රධාන බැංකු තුනම ණය කරලා අවසන්. තෙල් සංස්‌ථාව හා විදුලිබල මණ්‌ඩලයේ සරණින් තමයි පාඩු ලබන ආයතන දුවන්නේ. ඕනෑම ආණ්‌ඩුවේ නායකයකුට මේ සම්බන්ධව විවාදයකට එන ලෙස මා අභියෝග කරනවා.

ආණ්‌ඩුවේ ඇමැති මණ්‌ඩලය ඉන්නේ මැරි මැරීයි. ඔවුන්ගේ අවදිකළ නොහැකි හඬ අවදි කරන්නයි අප එළියට බැස්‌සේ. කුමන්ත්‍රණ කියලා ආණ්‌ඩුව කෑමොර දුන්නට කුමන්ත්‍රණ තියෙන්නේ ආණ්‌ඩුව ඇතුළෙමයි. හොඳ දෙමවුපියන්ගේ ගෙවල්වල ඉන්න ළමයි ගෙදරින් පැන යන්නේ නැහැ. අපි හැංගිලා වැඩ කරන්නේ නැහැ.

අපි එදත් අදත් පෙඩරල්, ලිබරල්වලට විරුද්ධයි. එහෙම දෙයක්‌ වෙනවානම් අප ඊට පටහැනිව ඉදිරියටත් කටයුතු කරනවා.

එදා පෙඩරල්වලට එරෙහිව කථා කළේ ජයසේන රාජකරුණා මහතා විතරයි. වෙන අය කටක්‌ ඇරියේ නැහැ. අප එදත් අදත් රට වෙනුවෙන් කතා කළා. රටට වින කරන්නන්ට එරෙහිව අප ඉදිරියටත් කටයුතු කරනවා. ඒකෙ වෙනසක්‌ නැහැ.

මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය හෝ වෙන යම් කෙනකු වුවත් යුද අපරාධ අධිකරණය හමුවට ගෙන යනවානම් ඊට එරෙහිව මුලින්ම එළියට බහින්නේ අපියි. අපට එහිදී දේශපාලනය වැඩක්‌ නැහැ. රටේ විදේශ ප්‍රතිපත්තිය ගැන කථා කිරීම අද කොන්ත්‍රාත් දීලා තිබෙනවා. විදේශ අමාත්‍යාංශය කොන්ත්‍රාත්කරුවන්ගේ තිප්පළක්‌ වී තිබෙනවා.

රටට අවශ්‍ය ඥති සංග්‍රහයෙන් මිදුණු බාල් නටා ගුටි ඇනගන්නා විදේශ ප්‍රතිපත්තියක්‌ නොවෙයි. යුද අපරාධ චෝදනා දිනා ගන්න බැරි වුණේ රජයේ ප්‍රතිපත්ති නිසයි. අපි කවුරු කා එක්‌ක සන්ධාන ගැහුවත් රටට, ජාතියට තිබෙන ආදරය ගෞරවය නැති වෙන්නේ නැහැ. අප ෆයිල්වලට බිය නැහැ.

රටට දැන් සමාජ ආර්ථික ප්‍රතිසංස්‌කරණයක්‌ අවශ්‍යයි. වත්මන් රජය තුනෙන් දෙකේ බලයෙන් සිදු කළේ ධුර කාලය වැඩිකර ගැනීම පමණයි. දෙමළ ඩයස්‌පෝරාව පෙන්න පෙන්නා රට ගිල ගැනීමට ඉඩ දිය නොහැකියි. රටේ ජනතාවට පොලිසිය, අධිකරණය ගැන විශ්වාසය නැතිවී යනවා අධිකරණයේ ස්‌වාධීනත්වය රටට අවශ්‍යයි.

බෞද්ධ ඡන්ද දෙකට කඩනවා කියන චෝදනාව අපට නැගෙනවා. එහෙම කඩන්න නම් බෞද්ධ ආණ්‌ඩුවක්‌ තියෙන්න ඕනා නේද? එහෙම එකක්‌ රටේ නැහැ.

මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සාකච්ඡාවට විවරව තිබූ දොරටු වැසී අවසන්. ඉදිරි දින දෙක තුන තුළ පොදු අපේක්‍ෂකයා සමඟ සාකච්ඡා කර අවසන් තීන්දුව ගන්නවා. එයට වැඩි කල් යන්නේ නැහැ. අප රටේත්, ජනතාවගේත් අවශ්‍යතා දන්නවා. අප කුමන තීරණයක්‌ ගත්තත් බෙදුම්වාදයට, සමාජ බෙදුම්වාදයට එරෙහිව නැගී සිටින්න මැලි වෙන්නේ නැහැ. එය එදත්, අදත් හෙටත් එහෙමයි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ජාතික හෙළ උරුමයේ උප සභාපති අතුරලියේ රතන හිමියෝ මෙසේද පැවැසූහ.

අපගේ දේශපාලන ගමනේ තීරණාත්මක තැනකට අප පැමිණ සිටිනවා. අප රට හමුවේ තිබූ ප්‍රශ්න ආණ්‌ඩුව සමග සාකච්ඡාවෙන් විස¹ගන්න බැලුවා. නමුත් ඒවා සාර්ථක වුණේ නැහැ. බලලෝභය නිසා ජනාධිපතිවරයා සියලු හොඳ දේ ඉවත් කළා. 

ජනාධිපතිවරයා රාජ්‍ය බලයෙන් උමතුවී සිටිනවා. ඔහුගේ හැසිරීම ඔහුටම කර්ම විපාක පල දී තිබෙනවා. ඔහුගේ ක්‍රියාකාරකම්වලට නපුරු භයන්කර පිළිතුරු ලැබී තිබෙනවා. අප ළඟ අවංක ආධ්‍යාත්මික ශක්‌තියක්‌ තිබෙනවා. එම ශක්‌තියට රටක්‌ වෙනස්‌ කළ හැකියි.

ඉදිරි ජනාධිපතිවරණය මත්කුඩු ජාවාරම්කාරයන්ට, කැසිනෝකාරයන්ට එරෙහි ඡන්දයක්‌. අපි ක්‍රියා කරන්නේ අධර්මයට එරෙහිව මිසක්‌ ධර්මයට එරෙහිව නෙමෙයි. අපගේ ශක්‌තිය යෝධ ජන බලය නතර කරන්න කිසිම ධන බලයකට නොහැකි වේවි. අප දැන් වැඩ ආරම්භ කර තිබෙනවා. දුම්කොළ සමාගම්වලින් සල්ලි ගෙන මෙරට දරුවෝ වඩා ගත්තට අපිට වැඩක්‌ නැහැ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නීතිඥ ප්‍රභාත් උදය ගම්මන්පිල මහතා-

අප ජාතිය තීරණාත්මක තැනකට පැමිණ තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ආලවක යක්‍ෂයා ඉදිරියට යන්න බිය වුණානම් ඒ යක්‍ෂයා දමනය කරන්න වෙන්නේ නැහැ.

අප මේ වැඩේට බැස්‌සේ චන්ද්‍රිකා දිනවන්න හෝ රනිල් දිනවන්න නෙමෙයි. අපගේ මේ උත්සාහය රටේ ජනතාවගේ ජයග්‍රහණයයි. අප මේ වැඩේට බැස්‌සහම ආණ්‌ඩුව කියන්නේ බටහිර කුමන්ත්‍රණයකට හසුවෙලා කියලා. අද ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ට "බටහිර කුමන්ත්‍රණ" යන වචනය තහනම් කළොත් කතා කරන්න දෙයක්‌ නැති වෙනවා. ඇමැති බිරිඳක්‌ ගැබ් ගත්තත් බටහිර කුමන්ත්‍රණ කියනවා.

අපි කන්නෙන් අඳින්නෙත් ණයට. අනෙක්‌ රටවලට තෑගි දෙන්නෙත් ණයට. සංවර්ධන ව්‍යාපෘතිත් ණයට. චීනය අපට ණය දෙන්නේ නිකන් නෙමෙයි. ඔවුන් අපි ණය උගුලකට හසුකර ගනිමින් සිටිනවා. අපගේ සම්පත් ටික පැහැරගන්න කටයුතු කරමින් සිටිනවා. චීනය සනසනකොට අපට ඉන්දියාවත් සනසන්න ඕන වෙනවා.

ජාතික හෙළ උරුමය ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ද මෙහිදී කතා කළේය.

මෙම ජාතික සභාවේ මුලසුන රන්පත්විල විමලජෝති හිමියන් දැරූ අතර එම අවස්‌ථාවට මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි බොහෝ පිරිසක්‌ එක්‌වූහ.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/11/28/news30.html

0 comments: