Pages

Wednesday, July 30, 2014

උමා ඔය හරවන ඩයරබා උමග දිගේ

ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය, උඩවලව ජලාශ ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වැනි මහා පරිමාණ බහු කාර්ය ජලාශ යෝජනා ක්‍රම කිහිපයක්‌ම නිදහසෙන් පසු මෙරට ක්‍රියාවට නැඟිනි. ඒ මගින් ජල විදුලිය, කෘෂිකාර්මික කටයුතු සඳහා ජල පහසුකම් ලබාදීම මෙන්ම ජලය හිඟ ප්‍රදේශවලට ජල සම්පාදනය ද අරමුණු විය. 

එහෙත් දැන් අප ගෙවා දමමින් සිටින්නේ මෙවන් ජල හා ජල විදුලිබල ව්‍යාපෘතිවල අවසන් කාලයයි. ඉහළ කොත්මලෙන් පසු ඉදිවන "බ්‍රොඩ්ලන්ඩ්" වැනි ජල විදුලිබල ව්‍යාපෘතිවලින් පසු මෙරටේ මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ ජල විදුලිබල ව්‍යාපෘති අවසන් වනු ඇතැයි කියෑවිණි. එනමුත්, ජලය හිඟ ප්‍රදේශවලට ජල සම්පාදනය මූලික අරමුණු කරමින් තවත් වැදගත් ජල යෝජනා ව්‍යාපෘති කිහිපයක්‌ වර්තමාන රජයේ මහින්ද චින්තන වැඩසටහනට සමගාමීව ක්‍රියාවට නැඟේ. 

යාන් ඔය, දැදුරු ඔය, මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘති හැරුණු විට වර්තමානයේදී මෙවන් අරමුණකින් ක්‍රියාවට නැඟෙන යෝධ ව්‍යාපෘතියක්‌ වන්නේ "උමා ඔය" සංවර්ධන වැඩසටහනයි. 

මෙම සංවර්ධන කාර්යය " උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය" නමින් විවිධාංගීකරණයට ලක්‌ වූ අරමුණු කිහිපයක්‌ වෙනුවෙන් ක්‍රියාවට නැඟෙයි. 

උමා ඔය ව්‍යාපෘතියේ තෙවසරක ප්‍රගතිය

පෙර සඳහන් කළාක්‌ මෙන් මෙය ජලය හිඟ ප්‍රදේශවලට ජල සම්පාදනය කෙරෙන ව්‍යාපෘතියක්‌ පමණක්‌ නොවේ. මධ්‍ය පරිමාණ ජලාශ තුනක්‌ද, ප්‍රධාන උමං හතරක්‌ සහිත උමං සංකීර්ණයකින්ද යුතු මෙම ව්‍යාපෘතියේදී පොළෝගර්භය තුළ ඉදිවන විදුලි බලාගාරයකින් විදුලිය මෙගාවොට්‌ 120 ක්‌ ද ජනනය කෙරේ.

අනතුරුව වැල්ලවායේ අලිකොට ආරට මුදා හැරෙන ජලය අලිකොට ආර, කුඩා ඔය, හා හඳපානාගල ජලාශ වෙත මුදාහැර කිරිඳිඔය ඔස්‌සේ ලුණුගම්වෙහෙර දක්‌වාද පැමිණේ. මේ අනුව බලන කල දැනටමත් ක්‍රියාවට නැඟෙන, ආරම්භ වී තෙවසරක ප්‍රගතියක්‌ පෙන්වන හා නිහඬව ක්‍රියාවට නැගෙන මෙම උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය මෑත කාලයේදී ක්‍රියාත්මක දැවැන්තම සංවර්ධන යෝජනා ක්‍රමය ලෙස හැඳින්වීම වරදක්‌ නොවේ.

වාරි මාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2011 වසරේ මැයි මාසයේදීය. ඊට අදාළ ගිවිසුම්ගතවීම 2008 වසරේ අප්‍රේල් මස 28 වැනිදා සිදු කෙරෙන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ ඉරාන රජයේ මූල්‍ය ආධාර යටතේය. එසේම ව්‍යාපෘතියේ ඉහළ නිම්නයේ වැඩ එරටෙහි සමාගම්වල සහයෝගයෙන් කිරීමටත් මෙම ගිවිසුමෙන් එකඟතාවකට පැමිණේ. ඒ අනුව වැලිමඩ, ඌවපරණගම, හාලිඇල, ඇල්ල - වැල්ලවාය, තණමල්විල, හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල ඉහළ සහ පහළ නිම්න වශයෙන් කොටස්‌ දෙකකින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ඉහළ නිම්නයේ ඉදිකිරීම් භාරව කටයුතු කරන්නේ µdරබ් (FARAඊ) නමැති ඉරාන ඉදිකිරීම් සමාගමයි.

ව්‍යාපෘති සැලැස්‌මට අනුව වැලිමඩට නුදුරු පුහුල්පොලදී, උමා ඔය හරස්‌කර තැනෙන පුහුල්පොල ජලාශය සඳහා වන වේල්ලත්, ඩයරබා හිදී මහතැටිල්ල ඔය හරස්‌කර ඩයරබා ලෙස ඉදිවන ජලාශයේ වේල්ල සහ පුහුල්පොල ජලාශයේ අතිරික්‌ත ජලය ඩයරබා වෙත ගෙන එන කිලෝ මීටර් 4.5 ක්‌ දිග උමගත්, සාදන්නේ මෙම ඉදිකිරීම් සමාගම මගිනි.

එසේම, ඩයරබා සිට වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඇල්ල - වැල්ලවාය පාරට උඩින් කුරුල්ලන්ගල කන්ද දක්‌වා කිලෝමීටර් 15 1/2 ක උමඟක්‌ තනා ජලය ගෙන එන්නේද, එතැන් පටන් (තනි) සිරස්‌ව මීටර් 760 ක්‌ පොළෝගැබ සිදුරු කර, ඇල්ල වැල්ලවාය පාරට යටින් කිලෝමීටර් දෙකක පමණ දුරක්‌ මග ගෙවාගෙන පොළෝගැබ තුළට ගියවිට හමුවන ස්‌ථානයකට එක්‌වන උමගය තුළ නිර්මාණය වන විදුලි බලාගාරය නිර්මාණය කරන්නේද අදාළ ඉරාන සමාගම් මගිනි.

තවද, විදුලි බලාගාරයෙන් මෙගාවොට්‌ 60 බැගින් වූ ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කර මුදාහැරෙන ජලය තවත් උමගකින් කිලෝ මීටර් තුනක්‌ මග ගෙවා ඇල්ල වැල්ලවාය පාරට යටින් ගොස්‌ අලිකොට ආරට මුදාහැරෙන ටේල්රේස්‌ (ඕසකර්ජැ) උමගයද නිර්මාණය කරනු ලබන්නේ ඉරාන ඉදිකිරීම් ලෙසය.

මෙම සමස්‌ත ව්‍යාපෘතිය ආරම්භ වී දැන් වසර තුනක්‌ ගත වී අවසානය. ඉදිකිරීම් කටයුතුවලින් සියයට 30 ක්‌ පමණ නිමා වී තිබේ. උමං හතරක කටයුතු සිදු වෙමින් පවතී. ඩයරබා ජලාශ වේල්ල ඉදිවෙමින් පවතී. උමං ජල විදුලි බලාගාරය දක්‌වා ප්‍රවේශ මාර්ගය කැණ අවසන් අතර බලාගාර පරිශ්‍රයේ මූලික කැණීම් කටයුතු සිදු වෙමින් පවතී. එබැවින් තෙවසරක ප්‍රගතිය වැදගත් තැනක ඇත. මෙම තෙවසරක ප්‍රගතිය මැන බැලීමේ විශේෂ නිරීක්‍ෂණයක්‌ සඳහා පසුගියදා අපි වැලිමඩ, බණ්‌ඩාරවෙල, ඇල්ල වැල්ලවාය ව්‍යාපෘති ප්‍රදේශවල සංචාරයක නිරත වීමු. මේ එහිදී අප දුටු කාරණය.

නුවරඑළිය නගරය පසුකර අප මීළඟට වැලිමඩ නගරයට සේන්දු වූ අතර පළමුව ගියේ පුහුල්පොල හා ඩයරබා ජලාශවලින් අවතැන් වූ ජනතාවගේ කටයුතු සොයා බලනු පිණිසය. ඒවායේ කටයුතු සිදු වෙතත් පවතින හොඳ හා නරක ගැන කතා කිරීමට වෙනමම ලිපියක්‌ ඒ සඳහා වෙන් කළ යුතුව ඇත. එබැවින් මෙම ලිපියෙන් සංවර්ධන කටයුතුවල ප්‍රගතිය මැන බැලීමට පළමුව අපි යොමු වීමු.

පුහුල්පොල පසුකර ඩයරබා ජලාශ වැඩබිමට ගිය අපි එම ජලාශ වේල්ලේ බිම් මට්‌ටමේ කොන්ක්‍රීට්‌ ආස්‌තරණ කටයුතු නිරීක්‍ෂණයෙන් අනතුරුව, එතැන් සිට පුහුල්පොල දක්‌වා කණිනු ලබන උමගයේ සංචාරයකට පෙරවරුවේ එක්‌වීමු. ඉරාන සහ ශ්‍රී ලංකා ඉදිකිරීම් හා කැණීම් ඒකාබද්ධ වැඩසටහනක්‌ වශයෙන් හඳුනාගත් මෙම වැඩ බිමේදී ශ්‍රී ලංකා රජයේ අධීක්‍ෂණයෙන් ඉරාන "µdරබ්" (FARAඊ) සමාගමේ කැණීම් කටයුතු අප නිරීක්‍ෂණ කළෙමු. එම සමාගමේ නිලධාරීන්ගේ සංග්‍රහශීලී පිළිගැනීමෙන් අනතුරුව දැනටමත් මීටර් 800 ක්‌ පමණ සාම්ප්‍රදායික ලෙස මිනිස්‌ ශ්‍රමයෙන් එහෙත්, යන්ත්‍ර සූත්‍රද භාවිතයෙන් කණිනු ලබන උමගේ කටයුතු විමසා බැලුවෙමු. කිලෝ මීටර් 4.5 ක්‌ වන මෙහි දැනටමත් කිලෝ මීටරයකට ආසන්න දුරක්‌ කැණ අවසන් කර තිබේ.

මෙම උමං විවරයට මුහුණලා ජලාශයේ එපිට ඉවුරෙන් තවත් උමගක්‌ ආරම්භ වේ. ඒ වැල්ලවාය දක්‌වා දිවෙන කිලෝ මීටර් 15 1/2 ක උමගයයි. ඩයරබා සිට තවමත් කැණීම් කටයුතු ආරම්භ කර නැති මෙම උමගේ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින්, එනම්, වැල්ලවායේ කුරුල්ලන්ගලින් ඩයරබා දෙසට උමං හෑරීමේ කටයුතු දැනටමත් ආරම්භව විශාල ප්‍රගතියක්‌ අත්කරගෙන ඇත. එනම්, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සමස්‌ත උමගයන් යෝධ කැණීම් යන්ත්‍රයක්‌ ආධාරයෙන් හාරනු ලබන්නේ මේ උමගයේ නිසා බැවිනි. ජර්මනියේ නිෂ්පාදිත, ඉංග්‍රීසි ඕඩය හරහා පවා උමං තැනීමට භාවිත කරන ලද මෙම කැණීම් යන්ත්‍රය ටී. බී. එම්. (ඔමබබ්ක ඊදරසබට පැජයසබැ) ලෙස හැඳින්වේ. මෙවන් යන්ත්‍ර දෙකක්‌ උමා ඔය ව්‍යාපෘතියේ දැන් ක්‍රියාවට නැඟෙන අතර, "ටේල්රේස්‌" හා "කුරැල්ලන්ගල" යන ස්‌ථානවල සේවයට යොදවා ඇත.

සටහන සහ ඡායාරූප, ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2014/07/22/feature03.html

කුරුල්ලන්ගල සිදුරු කරන විශ්වකර්ම යෝධයා දකින්නට ගිය ගමන 

ඩයරබා ජලාශ උමගය නිරීක්‍ෂණයෙන් පසු මීළඟට අප තීරණය කළේ වැල්ලවාය කුරුල්ලන්ගල ගම්මාන ප්‍රදේශයේ ඉහළ කඳුබෑවුමේ සිට ඩයරබා දෙසට හාරනු ලබන ටී. බී. එම්. වැඩබිම නිරීක්‍ෂණය කිරීමටය. මේ සඳහා අප සමඟ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ද එක්‌ව සිටියහ. දහවල් ආහාරයෙන් පසු අප වැඩි කල් නොඇර කුරුල්ලන්ගල වැඩබිමට සේන්දු වූයෙමු. එහිදීද ඉරාන ඉදිකිරීම් සමාගමේ නිලධාරීන් විසින් අප සුහදශීලීව පිළිගනු ලැබිණි. 


ඒ ගිය අපට ඩයරබා උමගය මෙන් නොව කුරුල්ලන්ගල උමග විවරය අවට ඉඩකඩ සහිත දැවැන්ත වැඩබිමක්‌ සේ සංවර්ධනය කර ඇති බව දැකගන්නට ලැබිණ. මුළු ප්‍රදේශයක්‌ පුරා අඩසඳ ආකාර කොන්ක්‍රීට්‌ ඵලක අතුරා ගොඩගසා තිබෙනු දකින්නට ලැබුණු අතර ඒවා නිෂ්පාදනය සඳහා වූ කර්මාන්ත ශාලාවක්‌ද ඒ ආසන්නයේ විය. කාර්යාල සංකීර්ණයට අමතරව උමං විවරයේ සිට මීටර් 150 - 200 ක්‌ පමණ වට ප්‍රදේශය දුම්රිය අංගනයක සිරි ගත්තේය. උමං කට තුළට දුම්රිය මාර්ග දෙකක්‌ ගමන් ගන්න, පරිදි මාර්ගය සකසා තිබුණත් උමං කට ආශ්‍රිත ප්‍රදේශයේ දුම්රිය මං සන්ධියක්‌ මෙන් දැකගන්නට ලැබුණේ නිරන්තරයෙන් උමඟය තුළ හා සම්බන්ධවන දුම්රිය හසුරුවනු පිණිසය. ඉතා කුඩා ප්‍රමාණයේ දුම්රිය ඇන්ජිමකින් හා මගී ප්‍රවාහන පෙට්‌ටි තුන හතරකින්ද, භාණ්‌ඩ ප්‍රවාහනය සඳහා සැකසුණු විවෘත පෙට්‌ටිවලින් සමන්විත මෙම කුඩා දුම්රිය තුනක්‌ පමණ එකවර උමගයේ කටයුතුවලට සම්බන්ධව ප්‍රවාහනයේ යෙදෙන අතර උමගය හාරනු ලබන ටී. බී. එම්. නමැති උමං හාරනු ලබන විශේෂ එමෙන්ම යෝධ යන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ මෙසේ දුම්රියක්‌ සේ පීලි මත ගමන් කරමිනි. මීටර් හයක්‌ පමණ උසද පළලද ඇති මෙම උමගයේ වක්‍රාකාර ප්‍රදේශයක්‌ එකවර සිදුරුකරමින් මෙම යන්ත්‍ර රාජයා කඳු ශිඛරය විදගෙන ඩයරබා දෙසට කිලෝමීටර 15 1/2 ක්‌ ගමන් ගන්නා අතර එහිදී කැබිලිවලට පත්වන පාෂාණ කොටස්‌ රැගෙන එනු ලබන්නේ මෙම දුම්රිය පෙට්‌ටි මගිනි. එසේම යන්ත්‍රයේ සේවයේ යෙදී සිටින කම්කරුවන් ප්‍රවාහනය ඊට අවශ්‍ය ඉන්ධන, ජලය කොන්ක්‍රීට්‌ සිලින්ඩර ආදිය නිරතුරුව රැගෙන ඔබ මොබ දුවන්නේ මෙම දුම්රිය මගිනි.

ඌව - වෙල්ලස්‌සේ කුරුල්ලන්ගල කඳුවැටිය එදා පාළු හුදකලාවේ වැතිර දිගාමඬුල්ල දෙස නෙත් යොමා බලා සිටියේ 1818 දී ඉංග්‍රීසීන්ට එරෙහිව යුද වැදී කැරලි කෝලහාල සිදු කළ ලක්‌ දෙරණේ රණශූරයන්ගේ එඩිබව මෙන්ම, එහිදී ජීවිතදානය දුන් දහස්‌ සංඛ්‍යාත දේශයේ සුජාත දූ පුතුන් පිළිබඳ කඳුළු සඟවාගෙනය. වෙහෙර විහාර මෙන්ම, වැව් අමුණු බිඳ දමා එදා සුද්දා වෙල්ලස්‌ස වැනසූ හැටිත්, යළිත් කවරදාකවත් වෙල්ලස්‌සේ පිබිදීමක්‌ ඇති නොවන බවත් ඇය කඳුලු සැලුවා විය හැකිය. එහෙත් වත්මන් රජයේ පිබිදෙන වෙල්ලස්‌සට සමගාමීව ඇරඹුණු උමා ඔය දකුණට හැරවීමේ ව්‍යාපාරය නොහොත් උමා උය බහුකාර්ය සංවර්ධන යෝජනාක්‍රමය මේ දුක්‌ඛ දොaමනස්‌සයන්ට සෙතක්‌ ශාන්තියක්‌ වනු ඇතැයි පෙනෙන්නට තිබේ. උමා ඔය දකුණට හරවා වෙල්ලස්‌සේ දියවර වැඩිකර කුඹුරු අස්‌වද්දවා ලබන ජලමූලික ආර්ථික ක්‍රමයෙන් ගොවිතැන බත මෙන්ම, පරිසරයද සුවපත්වී සතා සිව්පාවාට මෙන්ම දෙපා සතාටද අස්‌වැසිල්ලක්‌ වන දිනය ඈතක නොවේ. මේ සඳහා උමා ඔය ව්‍යාපෘතිය ලහි ලහියේ ඉදිවෙමින් පවතී. දැනටමත් වසර තුනක්‌ ගෙවී අවසාන මෙම සංවර්ධන ව්‍යාපෘතියේ ටී. බී. එම්. මැෂින් දෙකකින්ම උමං දෙකක්‌ සිදුරු කිරීම සිදුකෙරේ.

මේ වන විට උමඟ හෑරීමේ ජර්මනියේ නිෂ්පාදිත මෙම විශේෂිත යන්ත්‍ර උමඟ තුළට ඇතුළුකර ගල විදීම සිදුකරගෙන යයි. විෂ්කම්භය මීටර් හතරක්‌ පමණ වන, උමඟ හෑරීම සඳහාම යොදාගනු ලබන මෙවන් යන්ත්‍ර ලංකාවේ මෙසේ යොදා ගනු ලබන්නේ ප්‍රථම වරටය. "ටේලර් රේස්‌" සහ කුරුල්ලන්ගල කන්දේ දෙතැනක විදීම් සිදුකරන මේ අපූරු යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය නැරඹීමට යාමට දැන් කටයුතු සියල්ලම සුදානම්ය.

ව්‍යාපෘතියේ නිලධාරීන් සමග මෙම චාරිකාව සම්බන්ධීකරණය කරනු ලැබු මාධ්‍ය සම්බන්ධීකාරක ප්‍රවීණ මාධ්‍යවේදී ඩේවිඩ් අතුකෝරළ මහතාත්, ව්‍යාපෘතියේ කළමනාකාර සහකාර සුගීෂ් එම්. ජී. ලියනගේ මහතාත් ප්‍රමුඛකරගත් අප කණ්‌ඩායම පළමුව සිදුකරන ලද්දේ වැඩබිමේ නීති - රීතිවලට අවනත වෙමින් ආරක්‍ෂක හිස්‌වැසුම් පාවහන් සේම කබා යනාදියෙන් සැරසීමය. මොහොතකින් මෙසේ ආරක්‍ෂක ඇඳුම් ඇඟ ලා ගත් අප මීළඟ දුම්රියෙන් කුරුල්ලන්ගල තුළට යාමට එහි "දුම්රිය ස්‌ථානයට" රොක්‌වීමු. මඳ වේලාවකින් උමඟයට ගෙනයන ආම්පන්නද සහිත ඩක්‌කුවලින් සමන්විත කුඩා දුම්රියක්‌ එහි නැවතුනේ අප සමඟ උමඟය තුළට යන ඉරාන ජාතික ආරක්‍ෂක නිලධාරියාගේ විධානය පරිදිය. කුඩා මගී පෙට්‌ටි කිහිපයක්‌ සහිත මෙම දුම්රිය මැදිරිවලට අප ලහි ලහියේ නැග අකුලා තිබූ කුඩා සීට්‌ දිගහැර කැමරා ආම්පන්න අටවා ගත්තේ මේ සොඳුරු අත්දැකීම විද්යුත් ඇසින් දැක සනිටුහන් කරගැනීමේද අවශ්‍යතාවෙනි.

කුරුල්ලන්ගල සිදුරු කරන ප්‍රධාන උමං විවරයෙන් උමං දෙකක්‌ ආරම්භ වේ. දකුණු පස උමඟ තරමක්‌ දකුණට වක්‍රාකාරව ගොස්‌ එහි වෙනම වැඩබිමක්‌ සේ ක්‍රියාකරයි. ඩයරබා සිට උමඟ ඔස්‌සේ පැමිණෙන ජලය සිරස්‌ උමඟයකින් මීටර් 760 ක්‌ පහළට යෑවෙන්නේ මෙම වැඩ බිමෙනි. මෙහි සිට යන්ත්‍රානුසාරයෙන් කණිනු ලබන සිරස්‌ උමඟය පිහිටියේ එහිය.

වම්පසින් පිහිටන්නේ කුරුල්ලන්ගල සිට ඩයරබා දක්‌වා දිවෙන යෝධ උමඟයයි. කිලෝමීටර් 15 1/2 ක්‌ හෑරෙන මේ උමඟයේ දැනට හාරා ඇති කිලෝමීටර් දෙකක පමණ දුර යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය දකින්නටයි අප මේ යමින් සිටින්නේ. අප ගමන් ගන්නා රේල් පාරට අමතරව තවත් රේල් පාරක්‌ එහි වම්පසින් දිවේ. වෙනත් උමඟ මෙන් නොව (ඩයරබා) මෙම උමඟයේ බිත්ති ඉතා මට සිළුටුය. යන්ත්‍රයකින් කපා, ඇතැයි බැලු බැල්මට කිව හැකිය. මීටර් 15 - 20 ක්‌ පමණ දුරින් දුරට විදුලි බල්බ සවිකර ඇත. ආලෝකය මැදින් අපගේ දුම්රිය ඉදිරියට ඇදෙයි. ආරක්‍ෂාව සලසා ඇති බැවින් දුම්රියේ අවම තරමින් (වා) සුළං සිදුරක්‌වත් නැත. දොර වසා දැමූ පසු එහි කුඩා පෙට්‌ටිවල ගමන් කිරීම අපහසු වන්නේ ඉහින් කණින් දහදිය බේරෙන නිසාය. එහෙත්, ආරක්‍ෂාව පළමුවට තබා තරමක්‌ දුෂ්කර එහෙත් අත්දැකීම් බහුල උමඟේ තුළ දුම්රිය ගමනට සමවැදි අප ගමන් කළෙමු.

මඳ වේලාවකින් දුම්රිය නැවතුණේ ඈත තියාම අප දුටු රක්‌ත වර්ණ සංඥවන්ට අවනත වෙමිනි. ඉන්පසු ආරක්‍ෂක නිලධාරියාගේ විධානය පරිදි අප දුම්රියෙන් බැස උමඟය තුළ රේල්පාරට බැස ගමන් කර මඳ දුරකදී මීළඟ දුම්රිය මාර්ගයේ වූ දුම්රිය වේදිකාවකට ගොඩවැදුනෙමු. එහි ඉරාන ජාතික කම්කරුවෝ වැඩ කටයුතුවල නියුක්‌තව සිටියේය. ඔවුන් පසුකර, දුම්රිය වේදිකාවේ විටින් විට පටු හා පළල් ස්‌ථානවලින් ගමන් කරමින් හා යන්ත්‍ර සූත්‍ර අතර ගෑවී නොගෑවී කැමරා ආම්පන්නද රැගෙන තවත් මීටර් 50 ක්‌ පමණම අප ගමන් ගන්නේ තේරුම් ගත නොහැකි යන්ත්‍රයක කඨෝර හඬ මධ්‍යයේය. අවසන තවත් කම්කරුවන් පිරිස්‌ රැඳී සිටි මෙහෙයුම් මැදිරියක්‌ පසුකර ගිය විට අපට දකින්නට ලැබුණේ අප පැමිණි දුම්රිය මාර්ගයේ ඉදිරියෙන් තිබූ දුම්රිය ඩක්‌කුමතට කඩා හැලෙන ජලය මිශ්‍රිත කුඩා කළුගල් සමූහයකි. ඒ කුරුල්ලන්ගල සිදුරුකරන යන්ත්‍රයේ මුහුණතින් ඇද ගන්නා පාෂාණ කැබලිය. නොහොත් ගල සිදුරු වීමේදී කැඩෙන සුන් බුන්, පටියක්‌ (බෙල්ට්‌) මතින් පැමිණ ඩක්‌කු පුරවාලන බවය. මෙම ඉසව්වද පසුකර යන්ත්‍රයේ ඉදිරියටම එනම් යා හැකි උපරිම ස්‌ථානයට ගොස්‌ ඡායාරූප ගැනීමට ඉරාන ජාතික මැෂින් ක්‍රියාකරවන්නෝ අපට ඉඩකඩ ලබා දුන්හ. මේ අවස්‌ථාව හොඳින් ප්‍රයෝජනයට ගත් අප යන්ත්‍රය මතින් මෙන්ම පැතිකඩින්ද එහි ළඟා වී කුරුල්ලන්ගල සිදුරු කරන මේ අපූරු එහෙත්, විශ්මිත යන්ත්‍ර රාජයා දැක එහි ඡායාරූප ලබා ගනිමු. පාෂාණ සිදුරුවන අයුරු හෝ පාෂාණ කැබලි ඇදගන්නා ඒ යන්ත්‍ර මුහුණත නොපෙනුනත් ගොරහැඩි හඬක්‌ නගමින්, දූවිලි වලාවක්‌ නගමින් ගල සිදුරුකරන ඒ විශ්මිත ක්‍රියාකාරිත්වය එහි සිට අප හරි අපූරුවට දැකගත්තෙමු. එය අපට මහත් ආශ්වාදයක්‌ මෙන්ම නැවුම් අත්දැකීමක්‌ද විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට යන්ත්‍රයක්‌ මගින් උමඟක්‌ කපන මේ විශ්මිත සිද්ධිය දකින්නට දැන් අපි මෙහි පැමිණ සිටියෙමු. යන්ත්‍රයේ නියමුවන්ගෙන් වැඩිදුර තොරතුරු දැනගත් අපි ඊළඟ කනිසමේදී වැඩ වැරූ කම්කරුවන්ද එකතු කරගෙන පැමිණි දුම්රියෙන්ම කුරුල්ලන්ගල විවෘත වැඩබිමට ආවේ උමග කැණීමේ තාක්‍ෂණය මොනතරම් දියුණුවකට පත්ව ඇත්තේද යන්න හිත තුළ රුවාගෙනය. එදින අප කුරුල්ලන්ගලින් බැස ඇල්ල - වැල්ලවාය පාරේ වැල්ලවායට නුදුරු උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති වැඩබිමට සේන්දු වූයේ එහි නැවතී පසුදින තවත් කටයුතු ආරම්භ කරනු පිණිසය.

සටහන - ඡායාරූප, ජගත් කණහරආරච්චි
(විශේෂ ස්‌තුතිය, උමා ඔය ව්‍යාපෘතියේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී ඩේවිඩ් අතුකෝරළ මහතාට)
http://www.divaina.com/2014/07/29/feature03.html

කුරුල්ලන්ගලින් මීටර් 760 ක්‌ පොළෝගැබේ තැනෙන ජල විදුලි බලාගාරය දකින්නට ගිය ගමන ලබන සතියේ

0 comments: