Pages

Thursday, July 17, 2014

පිච්ච මල් පලස්‌ අතුරා සමිදු පිදූ - මහ පිංකමේ අනුහස්‌ මේ ඇසින් දුටූ

බෞද්ධාලෝක මාවතේ අතුරු පාරක්‌ අයිනේ 'ශාන්ති පදනම' නම් තැන්හී, බෝමැඩ ඉදිරියේ සිටිමින් උන්වහන්සේගේ කතාව අසන මගේ සිතේ මැවෙන්නේ බුද්ධ කාලයේ විසූ සුමන මල් වෙළෙන්දාය. එදා රජ මැදුරේ මලාකාරයා (මල් සැපයුම්කරු) වූ දුප්පත් සුමන, රජුට පුදන්නට තිබූ පිච්චමල් නැලි අට භාග්‍යවතුන් වහන්සේට පිදූ පිනෙන් එම ආත්මයේදීම සියලු සැප සම්පත්, රාජ සම්මාන ලබන්නේය. කල්ප ලක්‍ෂ වාරයක්‌ සුගතියේ උපත ලබන්නට වරම් ලබන්නේය. කෙළවර 'සුමන'යන නමින් පසේ බුදුවරයෙක්‌ වන්නට විවරණ ලබන්නේය. ඔහු උදෙසා එදා බුදුරජාණන් වහන්සේ දෙසූ දම් අසා අසූහාරදහසක්‌ සෙනග සෝවාන් වන්නේය.

අද අපට පිච්ච මලින් පුදන්නට භාග්‍යවතුන් වහන්සේ ජීවමානව නැත. එනමුත් උන්වහන්සේගේ ගුණකඳ තවමත් ජීවමානය. දස දහසක්‌ ලෝක ධාතුව කම්පා කරවමින් උන්වහන්සේ බුද්ධත්වය ලබද්දී පිටදුන් බෝධියේ ශාඛාව අනුරපුර මැද යෙහෙන් වැජඹෙන්නේය. ජීවමාන බුදුරජාණන් වහන්සේව සුමන මල් වෙළෙන්දා පිච්ච මලින් පිදුවේ යම් සේද, අද අනුරපුරයේ ඒ අසිරිමත් ශ්‍රී මහා බෝධි මූලය පිච්චමලින් වසා මහත් ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් උදෙසා පූජා කිරීම පිණිස උන්වහන්සේ අපට අවස්‌ථාව සලසා දෙන්නේය.

සාධු.. සාධු...

ජය ශ්‍රී මහා බෝධි මූලයේ එකක්‌ දෙකක්‌, සීයයක්‌, දහසක්‌ නොව, කෝටි ගණනක්‌ පිච්චමලින් වැසීයන්නේය. ඒ අසිරිමත් බෝධිරාජයාගේ මූලය එකම පිචච් මල් ඇතිරිල්ලකි. පිචච් මල් කන්දකි. මේ සඳහා මලකින් හෝ දායක වීමට පැමිණෙන ශ්‍රද්ධාවත් ජනයාගෙන් ඒ වටා ඇති මහමෙව්නා උයන පිරී ගොසිනි. සුදු වතින් සැරසුණු ලක්‍ෂ ගණනක්‌ සැදැහැතියන්ගෙන් පිරුනු කල්හී මේ සුවිසල් මහමෙව්නාව එකම සුදු සේලයකින් වැසුණු අයුරකි. ඒ මැද රන් වැටෙන් වටවූ බෝ මැඩය. එය පාදයේ පිච්ච මල් ඇතිරිල්ලය. පසෙක සිටින රුවන්වැලි, ථූපාරාම, අභයගිරි ආදී චෛත්‍යරාජයානන් වහන්සේලා මේ අසිරිමත් මහා පිංකම දෙස බලාසිටිති. කුමන ආශ්චර්යයක්‌ද....

විටෙක අදහාගත නොහැකිය. නමුත් එය සිදුවන්නේය. මුළු රටම එක්‌වන්නේය. එබැවින් මෙය දැන් 'ජාතික පිච්ච මල් පූජාව' නම් වන්නේය .

එදා මාතර දිස්‌ත්‍රික්‌කයේ හද්දාපිටිසර ගමක්‌ වූ කොටපොළ මුගුණුමල්ලේ උපන් පිංවත් දරුවා ඉන් වසර 13 කට පසුව අමරකිත්ති නමින් සංඝ ශාසනයේ උපන්නේ මේ රටම පමණක්‌ නොව දස දහසක්‌ ලෝක ධාතුවම මේ උතුම් පිංකම වෙනුවෙන් ඒකරාශී කිරීමටම දැයි සිතේ.

ජාතික පිච්චමල් පූජාවේ නියමු කොටපල අමරකිත්ති හිමියන් යනු ශාසනය උදෙසා මහා ශාසනික කාර්යක්‌ කළ මෑත ඉතිහාසයේ බිහිවූ අධික ජවයකින් යුත් සංඝයාවහන්සේ නමකි. උන්වහන්සේ ශාසනයට පිදෙන්නේද නොසිතු මොහොතකය. 

'මගේ තාත්තා ඒ දවස්‌වල 'සිංහල බෞද්ධයා' පත්තරේ තැපෑලෙන් ගෙන්වගන්නවා. ඒ පත්තරය තමයි තාත්තගෙ ලෝකෙ. ධර්මපාලතුමා වගේ චරිත ගැන තාත්තා ඔය පත්තරෙත් තියාගෙන අපට කියාදෙනවා. ඔය අතරේ දවසක්‌ මේ පත්තරේ තිබුණා සේරුවිල පන්සල මේ රටට ආයෙත් උරුමකරපු දඹගස්‌ආරේ ශ්‍රී සුමේධංකර මහ නායක හාමුදුරුවො දාපු දැන්වීමක්‌. උතුරු නැගෙනහිර ධර්ම ප්‍රචාරයට කුල දරුවන් අවශ්‍යයි කියලා. මම තාත්තට කිව්වා ලියුමක්‌ දාන්න කියලා. ඊට පස්‌සෙ ලියුම් ගනුදෙනුවලින් උන්වහන්සේත් එක්‌ක සම්බන්ධතාව තිබුණා. උන්වහන්සේ අපිට ධර්ම පොත් පත් එව්වා. දවසක්‌දා හැන්දෑවේ 5 ට විතර හිතුවෙවත් නැති වෙලාවක උන්වහන්සේ අපේ ගෙදරට වැඩියා තව හමුදුරුවරු කිහිපදෙනෙක්‌ එක්‌ක. එදා උන්නාන්සේ මගෙන් ඇහුවා 'මොකද කරන්න කල්පනාව' කියලා. මම කිව්වා මම 'දැන් එනවා' කියලා. ඒ තරම් මට මහණකමට හදිස්‌සියක්‌ තිබුණා'

එසේ පැවිදි වූ උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය ලබා 1979 සේරුවිලම ගුරුපත්වීමක්‌ ලැබීය. ඒ සමගින් ශාන්ති පදනමද පිහිටුවා උන්වහන්සේ ශාසන සහ සමාජීය කාර්යය ඇරඹූහ. අවුරුදු 9 1/2කින් උන්වහන්සේ ගුරු සේවයට සමුදෙන්නේ ආගමික සහ සමාජීය සේවාවක්‌ වෙනුවෙන් සමස්‌ත කාලයම කැප කිරීමේ අදිටනිනි.

එදා ශාසනයේ දැවැන්ත චරිතයක්‌ නොවුණිද, දැවැන්ත කාර්යන් සිදුකිරීමේ ජවය අමරකිත්ති ස්‌වාමීන්වහන්සේගේ ජීවිතය තුළ නොඅඩුව තිබිණි. 

ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ පීඩිත මිනිසුන් වෙනුවෙන් සහනාධාරද, දරුවන්ගේ අධ්‍යාපන නැංවීමට ශිෂ්‍යත්වද ආදී වශයෙන් කාලීන වැඩසටහන් රැසක්‌ ක්‍රියාත්මක කර උන්වහන්සේ ගුවන්විදුලියේ ජනප්‍රිය වැඩසටහන් වූ 'ශාන්ති ළමා වැඩසටහන වසර 12 ක කාලයක්‌ පවත්වාගෙන ගියහ.

මේ අතරවාරයේ 1984 දී කොළඹට වැඩම කළ උන්වහන්සේ කොළඹ පාසල්වල දිනකට විනාඩි 30 බැගින් වූ භාවනා වැඩටසහන් කරමින් ළමා පරපුරට ධර්මය දායාද කරන්නට කැපවූහ. 

වෙසක්‌ උත්සවය අවිචාරමත් දේ සඳහා යොදාගැනෙමින් තිබූ නැඹුරුවට විරුද්ධව උන්වහන්සේ, සැබෑ වෙසක්‌ උළෙලක්‌ සඳහා රටම ආකල්පමය වශයෙන් දැනුවත් කිරීම අරමුණු කරමින් ඇරඹූ 'වෙසක්‌ මිහිර' ද අතිදැවැන්ත වැඩසටහනක්‌ විය.

කොටපළ අමරකිත්ති හිමියන් අතින්ම ලියෑවුණු වෙසඟේ අසිරිය සහ එහි හරය ගැන සඳහන් පද්‍ය රචනා, ටී.එම් ජයරත්නයන් සහ නෙලූ අධිකාරිගේ හඬින් කවි ගායනා බවට පත්ව දැවන්ත රිය පෙරහැරකින් ඒ හඬ රට පුරා ගෙනගියේය. ඔලුබක්‌කන් නටවන විකාරය, වෙසඟට විනාශයක්‌ බව කවියෙන් හදවතට දැනෙන සේ කියවූ උන්වහන්සේ වෙසක්‌ දිනට දින 7කට පෙර අරඹන එම රිය පෙරහර රටපුරා සංචාරයට සවිය දී යෝධ වැඩසටහනකින් යුගයේ අවශ්‍යතාවක්‌ ඉටුකළහ. සැබැවින්ම ඒවා එසේ මෙසේ කාර්යයන් නොවේ. 

මෙවන් දැවැන්ත සංවිධාන ශක්‌තියක්‌ නොවන්නට, මේ සටහනට නිමිති සපයමින්, ඉකුත් සතියේ පැවැති ජාතික පිච්ච මල් පූජාව 25 වැනි වරටත් සංවිධානය වන්නේ කෙසේද?

අපි උන්වහන්සේගෙන් එහි ඉතිහාසය විමසීමු

'මගෙ පුරුද්දක්‌ තිබුණා ජනවාරි 22 මගේ උපන්දිනයට පැරණි සිද්ධස්‌ථානයකට යන්න. 1990 මම මේ වෙනුවෙන් දායක මහත්වරු කිහිපදෙනෙක්‌ එක්‌ක ශ්‍රී මහා බෝධිය වඳින්න ගියා. ඒ යනකොට ශ්‍රී මහ බෝධියට ආසන්නයේ පාරෙදි මුණගැහුනා මිහිඳු ආරණ්‍යයේ වැඩ සිටිය ස්‌වාමීන්වහන්සේ නමක්‌ව අපි වාහනයට නංවාගත්තා. උන්වහන්සේගේ අතේ පිච්ච මල් බෑග් එකක්‌ තිබුණා. උන්වහන්සෙත් ශ්‍රී මහබෝධිය වන්දනා කරන්නයි වැඩියේ. පස්‌සෙ අපිට පුලුවන් වුනා උඩ මලුවට යන්න. එතැනට ගිහින් අර පිච්ච මල් ටික පූජා කරද්දී මට හිතුනා මේ වගේ තැනකට පිච්ච මල් එකක්‌ දෙකක්‌ නෙමෙයි, මේ වගේ උතුම් ස්‌ථානයක්‌ පිච්චමලින් පුරවන්න ඕනා කියලා. එහෙමයි මේ අදහස මතුවුනේ.'

උන්වහන්සේ ඒ වෙනුවෙන් පසුදා සිටම වැඩ අරඹන්නාහ. අනතුරුව එළඹි මැයි 5 වැනිදා ඒ පිච්ච මල් පූජාව තබන්නට උන්වහන්සේ දින නියමකර ගත්තාහ. අද වන විට ලක්‍ෂ 10 කට අධික ජනකායකගේ සහභාගීත්වය ලබන මේ අතිදැවැන්ත පූජාව උදෙසා 'දිවයින' ට සුවිශේෂී දායකත්වයක්‌ ඇති බව අමරකිත්ති හිමියෝ පවසති.

'එදා පළමුවෙන්ම පූජාවට දිනය ප්‍රසිද්ධ කරලා මල් හොයන්න පටන් ගත්තා. මේ ගැන රටම දැනුවත් කරපු පළවැනි පණිවුඩය දුන්නේ දිවයින පත්තරෙන්. සිරිමල් ෆොන්සේකා මහත්තයා තමයි මේ ප්‍රවෘත්තිය පළකරලා දුන්නේ. ඒ ප්‍රවෘත්තිය දැකලා මිනිස්‌සු මල් සූදානම් කරලා තිබුණා. පළවැනි පූජාවට 100 ක්‌ 150 ක්‌ විතර ඇවිත් හිටියා. අපි රුවන්වැලිසෑය ප්‍රදක්‍ෂිණා කරලා ශ්‍රී මහා බෝධියට යන්න කියලා හිතාගෙන හවස 2ට විතර මේ වැඩේ පළමුවෙන්ම පටන්ගන්න හදනකොට මහා අමුතු දෙයක්‌ සිද්ධවුනා. ගිනිගහන්න පායපු අව්ව බොහොම ඉක්‌මනින්ම කලු අහසක්‌ වුනා. හරියට කොලොන්නාවෙ තෙල් ටැංකිවලට කොටි ගහපු දවසේ තිබුණු අහස වගේ. වැහි බිංදු නෙමෙයි වතුර කැටයි කඩන් වැටුනේ. හරියටම පැයක්‌ මේ විදිහට නොහිතපු අනෝරා වැස්‌සක්‌ වැස්‌සා'

එය අමුතු විදිහේ ආශිර්වාදාත්මක ඇරඹුමක්‌ විය. මේ සමගින් වසරින් වසර වඩා වඩාත් සංවිධානාත්මකව මේ කටයුත්ත ඉදිරියට ගියේය. 'පිච්ච මල් වසන්තයේ ' සරු කාලය හෙවත් ජුලි මසට පූජාව යෙදිණි. නොසිතූ තරම් සැදැහැවතුන් මෙයට එක්‌වන්නට විය. 

මේ උදෙසාම පිච්ච මල් වවන ඇත්තෝ වෙති. ගංගාරාමයේ පොඩිහාමුදුරුවෝ මේ වෙනුවෙන්ම සූදානම් කළ පිච්චමල් පැළ ලක්‍ෂයක්‌ පමණ සැදැහැවතුන්ට බෙදා දෙති. අද මේ වෙනුවෙන් රටම සංවිධානය වේ. මෙය ජාතික පිච්ච මල් පූජාව වී ඇත්තේ එසේය.

මෙය කෙතරම් දැවැන්ත සංවිධානයක්‌ වී ඇතිද යත් පූජා සංවිධාන කමිටුව යටතේ අනු කමිටු 35 ක්‌ තිබේ. මල් කමිටුව, පෙරහැර කමිටුව, දන්සැල් කමිටු...... පමණක්‌ නොව අතුරුදන්වූවන් සොයාදෙන කමිටුව ආදී ලෙසිනුත් මිලියනයකට අධික ජනයා සහභාගීවන මෙම මහාපුෂ්පෝපහාරයේ එකී,මෙකී,නොකී සියලුතැන් ආවරණය වන සේ සංවිධානය සකස්‌වී තිබේ. මේ කමිටු පූජාව වෙනුවෙන් වැඩ අරඹන්නේ මාස 6කට පෙර සිටය.

'මේක පහසු වැඩක්‌ නෙවෙයි. ඒත් දැන් අවුරුදු ගණනාවක අත්දැකීමෙන් මේ සා ජනකන්දරාවක්‌ හසුරුවන එක අපිට හුරුවෙලා. ඒත් අපහසුතා නැතුව නෙමෙයි. අමාරුම දේ තමයි මේ මිනිස්‌සුන්ට සනීපාරක්‍ෂක පහසුකම් දෙන එක. අපි මේ වෙනුවෙන් වැසිකිලි 20ක්‌ තැනෙව්වා. ඒත් ඒක කොහොමටවත් ප්‍රමාණවත් නෑ. ආණ්‌ඩුවට, නගර සභාවට කිසිම බරක්‌ නැතිව තවත් වැසිකිලි පද්ධතියක්‌ හදන්න අපි ලෑස්‌තියි. ගංගාරාමෙ පොඩි හාමුදුරුවො වැසිකිලි 50ක්‌ හදන්න සූදානම්. ඒත් පුරාවිද්‍යාවෙන් අවසරයක්‌ නෑ. අපි පොරොන්දුවෙනවා මහත්තයො පුරාවිද්‍යා සාධක වලට වැලිඇටයක හානියක්‌ නොවෙන්න ඒවා හදන්න. ඒ සැලසුම් අපි ගාව තියෙනවා. ඒත් ඒ ගැන විමසන්නවත් පුරාවිද්‍යාවේ මහත්තුරු එන්නේ නැහැ. එක පුරාවිද්‍යා ලොකු මහත්තයෙක්‌ කියලා තිබුණා 'මිනිස්‌සු අනුරාධපුරේ එන්න ඔය කාරිය කරන්නමද ' කියලා. මේ මිනිස්‌සුන්ට තේරෙන්නේ නෑ ලක්‍ෂගණක්‌ මිනිස්‌සු රැස්‌වුනහම සනීපාරක්‍ෂක කටයුතු වෙනුවෙන් මිනිස්‌සු විඳින දුක......'

සෙනසුරාදා සන්ද්‍යාවේ පැවැත්වෙන මේ පූජාව වෙනුවෙන් සැදැහැවතුන් පැමිණෙන්නේ සිකුරාදාය. මහමෙව්නාවේ පුංචි ඉඩක්‌ මත ඉටිරෙද්දක්‌ අතුරා ඔවුහු පසුදා වනතුරුම එහි සිටිති. ඔවුන් විඳින ගැහැට සුලුපටු නැත. ඒත් මේ මහා පින්කම වෙනුවෙන් උපදින ශ්‍රද්ධාවන්ත හිතෙන් ඒ සියලු දුක්‌ යටපත් කරන්නේය.

'මේක මහ පුදුම පිංකමක්‌ මහත්තයා. හැම අවුරුද්දෙම පිංකම පටන්ගන්න හදනකොටම අර සැඩ අව්ව යටපත්වෙලා පරිසරයම නිමෙනවා. වෙලාව හවස 2 වුණාට ඉර දිහා බලන්න පුලුවන් ගානට පරිසරය වෙනස්‌වෙනවා. එක පිංකම් වෙලාවක බෝධීන් වහන්සේගේ මුල ඉඳලා ඉහළට මල්වෙඩි විසිරෙනවා වගේ රැස්‌මාලාවක්‌ විහිදුනා. තව දවසක හිටපු හැමෝගෙම සුදු ඇඳුම්වල කහ පාට තිත් තිත් වගේ පේන විදිහට අමුතුම ආලෝකයක්‌ වැටුනා. තවත් දවසක මල් පූජාව සිද්ධකරන වෙලාවේ එතැන හිටපු එස්‌. එස්‌. පී. බැද්දෙවෙල මහත්තයා දැකලා තියෙනවා බෝධීන් වහන්සේගේ කඳ දිගේ සුදුම සුදු නාගයෙක්‌ බිමට බසිනවා. ඒත් ළඟ හිටපු කෙනාට පෙන්නන්න කලින් නොපෙනී ගියාලු. ඒ මහත්තයා ඊට කළින් කවදාවත් අද්භූත දේවල් පිළිගත්තු කෙනෙක්‌ නෙමෙයිලු. මේ පූජාව වෙලාවට ආලෝක එහා මෙහා යනවා. මිනිස්‌සුන්ගේ විශ්වාසයක්‌ තියෙනවා ඒ වෙලාවට කරන යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා කියලා. සමහරක්‌ මානසික හැකියාවන් තියෙන අය කියලා තියෙනවා මේ පිංකමට දස දහසක්‌ සක්‌වලේ සිටින සියලුම දෙවි දේවතාවුන්වහන්සේලා වඩිනවා කියලා'

මේ සියල්ල මෙන්ම මේ මහා පූජාව සංවිධානය වීම අදටද තමන්ට සිතාගත නොහැක්‌කකැයි උන්වහන්සේ පවසති.

'මටම හිතාගන්න බැහැ මහත්තයා මේ දේ මේ තරම් දුරක්‌ ගියාද කියලා. සැදැහැවත්තු ලක්‍ෂ 10 ක 12කට අමතරව ස්‌වාමීන් වහන්සේලා 500ක්‌ විතර පූජාවට වඩිනවා. අද මේ වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සම්පූර්ණ සහයෝගය දෙනවා. ජනාධිපතිතුමත් සහභාගීවෙනවා. මේ වෙනුවෙන්ම කෝච්චි කොළඹින් යනවා. මේ පාර කෝච්චි 4ක්‌ ගියා. දන්සැල් 72 ක්‌ තිබුණා. බුත්ගමුව ඉස්‌ටේෂමේ, ඉස්‌ටේෂන් මාස්‌ටර් මහත්තයා දැන් අවුරුදු 2 ක්‌ තිස්‌සේ මුලු ගමම එකතුකරගෙන මේ පිංකමට ගිහින් එන කෝච්චි නතරකරලා මුලු කෝච්චියේම අයට කන්න බොන්න දෙනවා. ඒ වගේ ආශ්චර්යවත් මිනිස්‌සු මේ පිංකමෙන් මතුවුනා. පිංකමට සම්බන්ධවෙනවා. අලුත්ම පිච්ච මල් මේ සා ප්‍රමාණයක්‌ කොහෙන් ලැබෙනවද කියලත් හිතාගන්න බෑ. මේ පූජාවට මල් ලක්‍ෂ 20ක්‌ විතර ලැබෙයි කියලයි මම මුලින්ම හිතුවේ. ඒත් අද මල්කමිටුවෙන් පූජාවට හොඳම මල් තෝරාගෙනත් කෝටි ගාණක්‌ මල් ලැබෙනවා....'

එදා සුමන මල් වෙළෙන්දා බුදුන් උදෙසා ජීවිතයම පූජාකරමියි සිතා භාග්‍යවතුන් වහන්සේ වඩින මග සිට උන්වහන්සේට පූජා උදෙසා අහසට විසිකළ පිච්චමල් අහසේ වියනක්‌ව, භාග්‍යවතුන් වහන්සේ වේලුවනාරාමයට වඩිනාතුරු අහසින් ගමන් කළේ නම්, දස ලක්‍ෂයකට අධික සැදැහැවතුන් දහසකුත් එකක්‌ කැපකිරීමෙන් ශ්‍රද්ධාව උච්චස්‌ථානයකට රැගෙන උතුම් ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිසෑ පරිශ්‍රයෙහි රැස්‌වී බුදුන් උදෙසා කරන්නාවූ මේ පූජාවේ ප්‍රාතිහාර්යයන් නොවන්නේද? දෙව් බඹුන්ගේ උපකාරත් නොලැබෙන්නේද? මෙසිරිලක අදටත් මහා පිං බිමකි. මේ පින්බිමේ සිදුවන මෙවන් පිංකම්වල සාධුකාර හඬ දසදහසක්‌ සක්‌වල සිසාරා ඇසෙනු නියතය.

ඉන්ද්‍රජිත් සුබසිංහ, ඡායාරූපය- නිශාන් එස්‌ ප්‍රියන්ත
http://www.divaina.com/2014/07/13/feature04.html

0 comments: